දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය 21 දා

51

නවක මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා ලබන 14 දා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව දසවැනි පාර්ලිමේන්තුව ලබන 21දා රැස් වෙයි.

එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් 196 ක් සහ ජාතික ලැයිස්තුවෙන් පත් කර ගන්නා මන්ත්‍රීවරුන් 29 දෙනකු ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225කි. මෙසේ තේරී පත්වන මන්ත්‍රීවරුන් සහභාගි වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය අනුව ලබන 21 වැනිදා ආරම්භ වේ.

පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ පළමු දිනය ඉතා වැදගත් වන අතර එම පළමු දිනයේ සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම් පැවරෙන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියටය. පළමු දිනයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙළක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව හිමිවේ.

සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව රැස් වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබයි.

අනතුරුව අනුපිළිවෙළින් කථානායකවරයා පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිව්රුම ලබාදීම, තේරීපත්වූ මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිව්රුම ලබාදීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත්කර ගැනීම සිදු කරනු ලැබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment