දහඅටේ සිසුවා අධික වේගයෙන් පැදවූ රියට යතුරුපැදියේ ගිය 71 හැවිරිදි අය බිලි

83

කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි සිසුවකු ඊයේ (17දා) පෙරවරුවේ අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් යතුරු පැදියක ගැටී සිදුවූ මාරක රිය අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් 71 හැවිරිදි පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

බොරැල්ල කනත්ත අසල කිතුල්වත්ත මාර්ගයේදී අනතුර සිදුවී තිබේ.

තරුණයා සිය මෝටර් රථයේ ධාවන තත්ත්වය මිතුරෙකුට පෙන්වීමට යමින් සිටියදී අනතුර සිදුවී ඇති බවත්, සැකකරු නිවසේ කිසිවකුටවත් නොදන්වා මෝටර් රථය ධාවනය කර ඇති බවත් හෙළිවූ බව පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බොරැල්ල, ගෝතමී පාරේ පදිංචිව සිටි අයෙකි.

මෙම තරුණයා ඊයේ උදේ 7.30ට පමණ නාරාහේන්පිට දෙස සිට කිතුල්වත්ත පාර දෙසට අධික වේගයෙන් මෝටර් රථය ධාවනය කරවන අවස්ථාවේ වේගය පාලනය කරගත නොහැකිවී රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී පෙරළී පසුව ධාවනය වූ යතුරුපැදියේ ගැටී ඇතැයි පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ තරුණයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂණ ජනක විතානගේ මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සූරිය සූරියආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධම්මික සල්වතුර


advertistmentadvertistment