දහතුනේ ඇණේ බලාගෙනයි අනේ !

222

මේ සතියේ ජගත් සමාජ දේශපාලන අංශවල පමණක් නොව ශ්‍රී ලංකාවේ ද ප්‍රමුඛ අවධානය යොමුව තිබුණු පුවත වූයේ ඉන්දියාවේ මහ මැතිවරණයත් ඉන් හිටපු අගමැති නරේන්ද්‍ර මෝදිට හිමි වූ ජයග්‍රහණය පිළිබඳවත්ය. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ බහුතර ජනතාව විසින් භාරතයේ ඉරණම යළිත් මෝදිට පවරන ලද බව ඒ මැතිවරණ ප්‍රතිඵලය දෙස බැලූ විට පැහැදිලිය. එහෙත් එහි යථාර්ථය ඊට වඩා වෙනස්ය. මැතිවරණ ප්‍රතිඵලය විශ්ලේෂණය කළ ප්‍රාමාණිකයන් ඇතුළු සියලු දෙනා විසින්ම පළ කරන ලද අදහස්වල හරය වූයේ මෙවර මෝදි අගමැතිවරයාගේ ජනප්‍රියත්වය පසුබෑමකට ලක්ව තිබෙන බවය. පූර්ව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඇතුළු ඉන්දියාවේ ජනමාධ්‍ය පවා ප්‍රකාශ කළේ මෝදිගේ භාරත ජනතා පක්ෂයට ආසන 400යක ඉලක්කයට ළඟා විය හැකි බවය. එහෙත් ඔහුගේ පක්ෂයට හිමි වූයේ ආසන 240කි. 2014දී එනම් මුල්වරට ඉන්දියාවේ අගමැති ලෙස ඔහු පත් වූයේ ආසන 282ක් වැනි විශාල ජනවරමක් ලබා ගනිමින්ය. එහෙත් මෙවර ඔහු අගමැති වන්නේ සන්ධාන ආණ්ඩුවක් ලෙසය. චන්ද්‍රබාබු නායිදු (තෙලිඟු දේශම් පක්ෂ නායක) හා නිට්ෂ් කුමාර්ගේ සහාය ඔහුට හිමිව තිබේ. හින්දු ජාතිකත්වය මත පදනම් වූ මෝදිගේ දේශපාලන භූමිකාවට ඔහු අපේක්ෂා කළ ජනප්‍රසාදය හිමිවී නැති බව ද මෙවර මැතිවරණ ප්‍රතිඵලයේ ගැබ් වූ තවත් ඇඟවුමකි.

ඉන්දියාව යනු ලෝක ආර්ථික බලවතකු බවට පත්වීමේ සම්භාවිතාවකින් යුත් අපේ කලාපයේ ප්‍රබල රාජ්‍යයකි. funඳුම ආර්ථික බලවතකු ලෙස ලෝක අවධානයක් දිනා ගැනීමට චීනය ද සමත්ව සිටියි. මෙහිදී අපට වඩාත් වැදගත් වන්නේ ඉන්දියාවත් නරේන්ද්‍ර මෝදිගේ භූමිකාවත්ය. මේ වනවිටත් ඉන්දියාවේ මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ මැදිහත්වීම් සම්බන්ධයෙන්ද විවාදයක් තිබේ. විශේෂයෙන් අද්වානි වැනි ඉහළ ධන කුවේරයන්ට මෙරටේ ආර්ථිකයේ ආධිපත්‍යය හිමිවන බවට විවේචනයක්ද ඇත. එමතු නොව ලංකාව, ඉන්දියාවේ ප්‍රාන්තයක් විය හැකි බවට කෙරෙන අනතුරු ඇඟවීම්ද තිබේ. එහෙත් මේ රටට ආදරය කරන කිසිවෙක් ලංකාව ඉන්දියාවට හෝ වෙනත් බටහිර ආධිපත්‍යයකට හෝ නතුවීම නොඉවසති. දේශපාලන බලය සඳහා පාවාදීම්, වෙනත් ප්‍රතිලාභ උදෙසා මෙරටේ ස්වාධීනත්වය අනතුරකට පත් කිරීම් ආදි කිසිවකට මෙරටේ ජනතාව ඉඩ නොදෙන බව ඉතිහාසය විසින්ද තහවුරු කරනු ලැබ ඇත.

දහතුනේ ඇණේ බලාගෙනයි අනේ !

කෙසේ හෝ ගෝලීය ආර්ථිකය සමග මෙන්ම ඒ දේශපාලනය සමග ගනුදෙනු කිරීමට ලංකාවට ද සිදුවී තිබේ. එහෙත් අද අප මුහුණ දී සිටින විශාලම අර්බුදය වන්නේ රටට අවශ්‍ය නවීන සමාජ-ආර්ථික මෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ කිසිවක් සිදු නොවීමය. ලෝකය ඉදිරියට යද්දී ලංකාව එක තැන පල්වන රටක් වී තිබෙන බව අප්‍රමාණව කෙරෙන – ඇසෙන විවේචනයකි. හැට නව ලක්ෂයක ඓතිහාසික ජනවරමක් ලබාගත් ගෝඨාභය පාලන යුගය අවසන් කිරීමට තුඩු දුන් සමාජ බලවේගය පිළිබඳ විවිධ කියවීම් තිබේ. විශේෂයෙන් පවතින සම්ප්‍රදායි පාලනයට එයින් එල්ල වූ අභියෝගයට ඒ ප්‍රභූ දේශපාලන තන්ත්‍රයට මුහුණ දිය නොහැකි විය. එසේ වුවද එය නිර්දය ලෙස මර්දනය කළ පාලකයෝ යළිත් ඒ ගර්හිත දේශපාලන සංස්කෘතියම නඩත්තු කරමින් සිටිති. දසක ගණන් මෙරටේ පාලනයට සම්බන්ධ වූ අය මෙන්ම පාලන බලය හිමිකරත් සියලු දෙනාම පාහේ අඩු වැඩි වශයෙන් ජනතා අප්‍රසාදයට ලක්ව සිටිති.

මෙම මැතිවරණ ක්‍රියාදාමයේ ආරම්භයට නොගියත් හැත්තෑව දසකයෙන් ඇරඹි මේ දක්වා කාලය තුළ සිදුවූ ක්‍රියාකාරකම් දෙස බලන විට ද තහවුරු වන්නේ මෙරටේ දේශපාලනයේ පරිහානියත් ඒ ඒ නායකයන්ගේ දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධී මැදිහත්වීම් ආදියත්ය. ලංකාවේ ප්‍රථම වරට තමන්ගේම ආණ්ඩු ක්‍රමයක් පිළිබඳ අහස ඉදිරිපත් වූයේ 1972දී සම්මත කරගත් ව්‍යවස්ථාව සම්බන්ධයෙනි. එය ජනතාවගේ ද සංවාදයට ලක් වූවකි. එසේ වුවද 1978දී ජේ.ආර්. ජයවර්ධන ඉදිරිපත් කළ ව්‍යවස්ථාව ඔහුගේ අභිමතය පරිදි එජාපයේ ස්ථවරත්වය සඳහා සකස් වූවක් බව පැහැදිලිය. 72 ව්‍යවස්ථාව වෙනස් කිරීමට හෝ අහෝසි කිරීමට හෝ යෝජනා තිබුණේ ද නැත. එහෙත් ජයවර්ධන ඒ සඳහා දෙවරක් සිතුවේ ද නැත. එපමණක් නොව ජයවර්ධනගේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අගනා විශ්ලේෂණයක් කළ කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම එම ක්ෂේත්‍රයෙහි ප්‍රාමාණික විද්වතකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාගේ කෘතිය ජයවර්ධනගේ කිළිටි දේශපාලන අරමුණු පමණක් නොව එමගින් ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවිය හැකි හානිය ද පෙන්වා දී තිබේ. එබඳුම විද්වතකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා එම කෘතියට පෙරවදන ලියා තිබේ. එහි නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවේචනාත්මක විශ්ලේෂණයක් යන්නය.

අද මේ රටත් සමාජ දේශපාලන සංස්කෘතියත් ගැටගැසී තිබෙන්නේ එම ව්‍යවස්ථාව සමගය. එහෙත් අපේ රටට අවශ්‍ය සමාජ – ආර්ථික දේශපාලන හා සංස්කෘතික ප්‍රතිසංස්කරණ කිසිවක් ඉදිරිපත් කිරීමට මෙතෙක් බලයට පත්වූ කිසිදු පක්ෂයකට/ සන්ධානයකට නොහැකි විය. මේ ව්‍යවස්ථාව 21වරක් සංශෝධනය කළත් ඒවායේ සමාජ දේශපාලන ප්‍රතිඵල අපේක්ෂා කළ පරිදි යහපත් නොවූ බව කිව හැකිය. කුමක් වුවත් විධායක ජනාධිපති ක්‍රමය යනු දේශපාලන වේදිකාවල ප්‍රහාරයට ලක්වූ හොඳට පදම් වූ මුවහමක් වැන්න. එහෙත් විධායක පුටුව හෙබවූ සියල්ලෝම රිසි රිසි ලෙසින් එහි රස බලා සතුටින් නික්ම ගියහයි ද අපි දනිමු. පවතින ව්‍යවස්ථාව වෙනුවට රටට අවශ්‍ය සහ ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රැගෙන එන බවට කරන ලද ගෝඨාභයගේ ප්‍රකාශය ද අපට මතකය. ඔහුට ලැබුණු 69 ලක්ෂයේ ජනවරමෙන් පසු පාර්ලිමේන්තුවේ සැසිවාරය විවෘත කරමින් ඔහු කළ අවධාරණය ජනතාවගේ ප්‍රබෝධයට ද හේතු විය. ‘එක රටක් – එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වය දෙමින් නාස්තිය හා දූෂණය සම්පූර්ණයෙන් නතර කරන බවත් ඒවාට සම්බන්ධ අයට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් ඔහු සපථ කළේය. එහෙත් සිදු වූයේ කුමක් දැයි රටම දනී.

කෙසේ හෝ දැන් සමාජ දේශපාලන අංශවල ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේත් ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු ජනාධිපතිවරණය ඒ අයුරින්ම පැවැත්වෙන්නේ ද යන්නයි. ආණ්ඩුවත් එහි නායක ජනාධිපති රනිලුත් එළඹෙන ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණය ද මඟහැර තවදුරටත් බලයේ රැඳී සිටීමට කුමක් හෝ දේශපාලන සටකපට ක්‍රියාවක් කරනු ඇතැයි කල්පනා කරන සෑහෙන පිරිසක් ද සිටිති. ඒ සම්බන්ධයෙන් සමාජගත වී තිබෙන කරුණු සියල්ලම ඕපාදූප හෝ ව්‍යාජ පුවත් විය නොහැක. එයට එක් හේතුවක් වන්නේ ජනාධිපති රනිල්ගේ පාර්ශ්වයේම ඇතැම් දේශපාලන ප්‍රතිචාරය. එළඹෙන ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ලෙස රනිල් ඉදිරිපත් කෙරෙන බව ඔහුගේ සමීපතමයෝ ඍජුවද ඔහු වෙනුවෙන් ගොඩනැඟෙන සන්ධාන අනියම් ලෙස ද පවසති. දින කීපයකට පෙර ජනාධිපතිවරයාගේ සමීපතමයකු මෙන්ම ප්‍රධාන නිලධාරියකු වන සාගල රත්නායක පැවසුවේත් ජනාධිපති රනිල් එළැඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස බලහත්කාරයෙන් හෝ ඉදිරිපත් කරන කතාවකි. එය දේශපාලන අතිශයෝක්තියක් මෙන්ම සිදුවිය හැකි දෙයක් ද විය හැකිය.

ජනාධිපති රනිල්ගේ මැතිවරණ කටයුතු සඳහා මෙහෙයුම් කාර්යාලයක් ද විවෘතකර තිබෙන අතර ආසන මට්ටමින් සංවිධාන කටයුතු සිදුවන බව ද පෙනේ. මේ අතර ජනාධිපති රනිල් ඉකුත් 11වනදා පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා වූ තරුණ නියෝජිත හමුවකදී ඉතා ප්‍රවේශමින් වචන භාවිතකරමින් සඳහන් කළේ ද තමන්ගේ ආර්ථික වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් රටට ඉදිරිපත්ව නැති බවය. එහිදී ඔහු අවධාරණය කළේ රජයේ වැඩපිළිවෙළ සමග ඉදිරියට යායුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටින්නේ නම් එසේ කළ හැකි බවත් එසේ නොවුවහොත් යළි රටේ ආර්ථීකය කඩාවැටෙන බවත්ය. එබඳු දෙයක් සිදුවුවහොත් යළි පොහොර, ඉන්ධන, ගෑස් නැති පෝලිම්වල දුක්විඳින යුගයක් එන බව ද ඔහුගේ අවධාරණය විය.

ජනාධිපති රනිල්ගේ එම අවධාරණයන් දැන් සෑහෙන කලක සිට ඔහුගේ අනුගාමිකයන් විසින් විවිධ අවස්ථාවල ප්‍රකාශ කරන ලද ඒවාය. ඒවාට අමතරව ජනාධිපති රනිල් විශේෂ කරුණක් ද මතු කර තිබේ. වේදිකා මත විවිධ පොරොන්දු දෙන පිරිසට රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයෑමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත වරද යළි සිදු නොකරන ලෙස තමා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා පවසා තිබේ. එසේම රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයෑමේ අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට පක්ෂ භේදයකින් තොරව සහාය දෙන ලෙසට ඉල්ලීමක් ද කර ඇත.

මෙම ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වා අවස්ථා කීපයකදීම අදහස් දක්වා තිබිණි. ඔහුට අනුව එමගින් සිදුවන්නේ රනිල්ගේ ආර්ථික සැලසුම් පාර්ලිමේන්තු පනතකින් අනුමත කර නීතියක් බවට පත් කිරීමකි. එය බරපතළ ගැටලුකාරී තත්ත්වයකැයි ද ආචාර්ය හර්ෂ අනතුරු අඟවයි. මේවා එම ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයන් විසින් සාකච්ඡා කර ක්‍රියාත්මක කළ යුතු දේවල්ය. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් නම් මෙයට සාධනීය ප්‍රතිචාරයක් අපේක්‍ෂා කළ නොහැක. මන්ත්‍රීවරුන්ට තබා එහි නායකත්වයට ද ජනාධිපති රනිල්ගේ ආර්ථික දේශපාලන න්‍යායපත්‍රයට අභියෝගයක් එල්ල කළ හැකි දැයි අපි නොදනිමු. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ ආන්දෝලනාත්මක විදුලිබල පනත් කෙටුම්පතට පොහොට්ටුවේ නායක මහින්දත් සිය මන්ත්‍රීවරුන් සමග පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූවකි. එයට හේතු වූයේ පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් හා සම්පත් විකිණීම අරභයා මහින්ද විසින් නිකුත්කරන ලද නිවේදනයයි. රජයේ වත්කම් සහ ව්‍යාපාර විකිණීම සම්බන්ධයෙන් වූ තම ස්ථාවරය අමතක කළ මහින්දගේ එම ප්‍රතිචාරය අප තේරුම් ගන්නේ කෙසේද? එයින් ගම්‍යවන්නේ මේ වනවිට ජනාධිපති රනිල් පොහොට්ටුව ද සමනික්‍රමණය කර තිබෙන බව ද? එළඹෙන මැතිවරණයට පෙර තවත් පනත් 66ක් පමණ සම්මත කර ගැනීමට ද ජනාධිපති සූදානම් බව ද වාර්තා වේ. ඔහුට ඒ සඳහා සහායක් නොලැබේ නම් කිසිසේත්ම එබඳු කාර්යභාරයක් සඳහා ජනාධිපතිවරයා යොමු නොවනු ඇත.

දහතුනේ ඇණේ බලාගෙනයි අනේ !

ඇත්ත වශයෙන්ම ජනාධිපති රනිල්ට දේශපාලන ඇනුම්පදයක් වත් පැවසීමට හැකියාව ඇත්තේ පක්ෂයේ මහ ලේකම් සාගරටත් ජාතික සංවිධායක නාමල්ටත් පමණකැයි අපට ද සිතේ. එහෙත් ඉහත සඳහන් විදුලිබල පනතට පක්ෂව ඡන්දය දීමට නොපැමිණීයේ නාමල් පමණි. මේවා ඉබේ සිදුවන දේවල් නොව දේශපාලන ප්‍රතිචාර බව පෙනේ. කොහොමටත් ආණ්ඩුව තිබෙන්නේ පොහොට්ටුවේ සහායෙන් නොව රනිල්ගේ දේශපාලන පෞරුෂයෙන් බව ද අපට පෙනේ. පොහොට්ටුවේ සිටින දැඩි රාජපක්ෂවාදීන් මොන මොන කතා පැවැසුවත් ජනාධිපති රනිල් පොහොට්ටුවේ බහුතරයක් දිනා ගැනීමට සමත්ව සිටින බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක. පසුගියදා අම්බලන්තොට ජනහමුව රනිල්ට සහාය දක්වන සන්ධානයක් බව ද රහසක් නොවේ. ඒ සඳහා රාජපක්ෂවරුන්ට හෝ ඔවුන්ගේ සමීපතමයන්ට ඇරයුම් කර තිබුණේ ද නැත. විරෝධතාව අභියස රටින් ද පලාගිය ගෝඨාභයගේ පාලනය බිඳ වැටෙද්දී එය කෙළින් කරන ලද්දේ ජනාධිපති රනිල් විසින් බව පොහොට්ටුවේ සියල්ලෝම දනිති. ඒ ජනාධිපතිවරයා ඉක්මවා දේශපාලන ගේමක් දීමට හපනකු අද පොහොට්ටුවේ නැති බව ද ඔවුහු දනිති. ජනාධිපති අපේක්ෂකයකු පිළිබඳ දේශපාලන කපටි කතන්දර ප්‍රසිද්ධියේ කීවත් ඔවුන්ගේ තෝරා ගැනීම ද රනිල් වනු ඇත.

රටේ ආර්ථිකය බිඳ වැටීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් ද නම්කරමින් ශ්‍රේෂ්ඨාධීකරණය විසින් ලබාදෙන ලද නඩු තීන්දුවක් ද ඇත. එනිසා පොහොට්ටුවට ආර්ථික දැක්මක් හෝ ප්‍රතිසංස්කරණ සැලැස්මක් ඇති බව පිළිගන්නා අය පොහොට්ටුවේ සිටිත්ද? ණය ගැනීම හැර වෙනත් සැලැස්මක් ජනාධිපති රනිල්ට නැතැයි විවෘත චෝදනාවක් තිබුණත් එයට අදාළ විකල්ප යෝජනාවලියක් ද මෙතෙක් ඉදිරිපත්වී නැත. මේ ලියන මොහොත වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි ණය වාරකය ද අනුමත කර ගැනීමට ජනාධිපති රනිල්ට හැකිවී තිබේ. මේ ණය කන්ද කඩා වැටී ඇත්තේ ජනතා හිසමතටය. හෙට බලයට පත්වන ජනාධිපතිවරයකුට මෙන්ම ආණ්ඩුවකට ද ඒ ණය නොගෙවා පැහැරහැරීමට ඉඩක් නැත. එහෙම බලද්දී නම් රට හිරවී තිබෙන ණය උගුල බිහිසුණුය. එහෙත් ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ස.ජ.බ. හා ජා.ජ.බ. පක්ෂවල අවධානය බරපතළ ලෙස යොමු වී ඇතැයි ද කිව නොහැක.

අවසන් වශයෙන් ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානමින් සිටින සජබ නායක සජිත් හා ජාජබ නායක අනුර කුමාර යන දෙදෙනා විසින්ම එකඟවී සිටින 13වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධ ප්‍රතිඥාව පිළිබඳව ද අවධානය යොමුකළ යුතුය. දහතුන (13) ලෙස ප්‍රකටව තිබෙන මෙම සංශෝධනය සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ගැටලුව විසඳාගැනීම සඳහා අපේ නායකයන් අවංකව ප්‍රයත්නයක් දරා නැති බව පළමුවෙන්ම සඳහන් කළ යුතුය. 1987 දී ඉන්දියානු මැදිහත්වීම තුළින් අපේ ව්‍යවස්ථාවට ඇතුල්කරන ලද මෙම සංශෝධනය දකුණේ සිංහල බහුතරයකගේ අභිමතයට පටහැනිව ඉන්දියාවේ බලපෑම මත අපට පටවන ලද්දක් බව එදා ජාතිකවාදීන්ගේද අදහස විය. ඒ වනවිට හිස ඔසවමින් තිබුණු ත්‍රස්තවාදය මෙන්ම දෙමළ බෙදුම්වාදයට අනුග්‍රහ දැක්වූ විදේශ රටවල් ද විය. එමගින් යෝජිත ඉඩම් හා පොලිස් බලතල ලබාදීම ද ජයවර්ධන පාලනය ප්‍රතික්‍ෂේප කළේ ඒ සංකීර්ණ වාතාවරණය නිසාමය.

13වැනි සංශෝධනය අරභයා ඇති වූ සංවාදයද ප්‍රබලය. ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි පාර්ශ්වයේ විශ්ලේෂණවලට උඩින් පැනීමට ජයවර්ධන කල්පනා නොකිරීම නිසා එයට එල්ල වූ විරෝධතා සමනය කර ගැනීමට ද ජයවර්ධන පාලනය සමත් විය. 1947 දී දෙමළ නායක එස්. ජේ. වී. චෙල්වනායගම් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පිහිටුවා උතුරේ අර්බුදයේ බීජ රෝපණය කළ බවත් 1972දී දෙමළ එක්සත් පෙරමුණේ අමිර්තලිංගමගේ අන්තවාදී ප්‍රකාශත් සමග වැඩුණු සිංහල දෙමළ විරසකය සමනය කළ හැකි කිසිවෙක් මෙතෙර හෝ එතෙර නොවීය. පසුව තිස් අවුරුදු යුද්ධයක් දක්වා ඇදීගිය ඒ ඛේදවාචකයේ සුලමුල වෙනම දීර්ඝව විමසා බැලිය යුත්තකි. අපි එය පසෙක තබමු.

කෙසේ හෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කළ මහින්ද ජනාධිපතිවරයාට හෝ ඉන්පසු එම ධුරය හෙබවූ කිසිවකුට හෝ පුළුල් ජාතික සමගියක් සඳහා සාධනීය වැඩපිළිවෙළක් ද නොවීය. අනෙක් අතට දකුණේ අන්තවාදයට සමානව උතුරේද අන්තවාදයක් පැතිර තිබුණි. දෙමළ ජනතාව ඒ වෙනුවෙන් යොදාගත් නායකයන් ශාප ලැබිය යුතු අතරම ඒ ජාතිවාදය කර තබා ගත් දකුණේ නායකයන්ට ද අධි චෝදනා පත්‍රයක් ඇත. 13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවේ ලිඛිතව තිබුණත් එය බලාත්මක කිරීමට උචිත ප්‍රබුද්ධ කතිකාවක් ඉදිරිපත් වූයේ ද නැත. වරක් මහින්ද කීවේ දහතුන ඉක්මවූ බලයක් දිය යුතු බවය. ඇත්තටම රට නොබෙදා බලය බෙදීම එදා දේශලාන සටන් පාඨයක් වුවත් එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට නොහැකි විය.

අද යළිත් 13 ක්‍රියාත්මක කිරීමට සජිත් මෙන්ම අනුර ද එකඟව සිටිති. මෙය උතුරේ ඡන්දවලට කෙරෙන ඇමැතීමක් බව සමහරු දැනටම පවසති. සර්වජන බලය මේ වනවිටත් එයට විරෝධයක් දක්වා තිබේ. කුමක් වුවත් මෙය දකුණේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේත් සිවිල් සංවිධාන හා වෙනත් විද්වතුන්ද උතුරේ දෙමළ නායකයන් හා එබඳු විද්වත් පාර්ශ්වද වටමේසයකදී සාකච්ඡා කර මුළු රටටම විවෘතව සිදු කළ යුතු ජාතික වගකීමකි. මේ වනවිටත් දේශපාලන ඇණයක් වී තිබෙන දහතුනට අත තැබීම කළ යුත්තේ ප්‍රවේශම් සහිතවය. ඇත්ත වශයෙන්ම 13ට වඩා වෙනස්වූ දේශපාලන විසඳුමක් සඳහා පොදු එකඟතාවක් ඇති කර ගැනීමට ද මෙහිදී බාධාවක් නැත. කුමක් වුවත් සජිත්ට හා අනුර කුමාරට ඒ සම්බන්ධ ක්‍රියාවලිය එළඹෙන ජනාධිපතිවරණ ප්‍රකාශනය මගින් රටට ඉදිරිපත් කිරීමට ද හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment