දහම්ගේ පැමිණීම රොෂාන්ට ප්‍රශ්නයක්

1455

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂටත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂටත් ලොකු වගකීමක් භාරදී තිබිණි. ඒ වූ කලී 2022 සඳහා මේ දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය ජනතාවාදී අය-වැයක් බවට පත්කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමය.

ශ‍්‍රී ලංකාව පමණක් නොව, මුළු මහත් ලෝකයම කොවිඞ් වසංගතය නිසා මහත් ආර්ථික අර්බුදයක ගිලී සිටින අවස්ථාවක ජනතාවට සහන සලසා දෙන ජනතාවාදී අයවැයක් යථාර්ථයක් බවට පත් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් වූයේ නැත. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව වූයේ ජනතාවගේ කොවිඞ් කඳුළු පිසදමන අයවැය බවට මෙම අයවැය පත්කර ගැනීමය.

එහෙත් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයත් මහා භාණ්ඩාගාරයත් ඒ අභියෝගය භාර ගන්නට මැළි වූයේ නැත.

අගමැතිවරයා මුදල් ඇමැතිවරයා අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර ගණනාවක්ම පැවැත්විණි. මේ නිසා අගමැති මහින්ද රාජපක්ෂත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂත් මුදල් අමාත්‍යාංශ නිලධාරීනුත් පසුගිය සතියේ කාර්යබහුල වූහ.

බැහැම කී වර්ජකයෝ
25 සිට පාසල් යනවලූ

දහම්ගේ පැමිණීම රොෂාන්ට ප්‍රශ්නයක්

මේ අතර ජනාධිපති ගෝඨාභය මුළුමනින්ම සිය අවධානය කොවිඞ් මර්දනය සම්බන්ධයෙන් යොමු කර සිටියේය. පිටරටවලට කතා කරමින් එන්නත ගෙන්වා ගැනීම, ඒ සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන සංවිධානය කිරීම, එන්නත්කරණය රට පුරා සැලසුම් කිරීම, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හැකිතරම් සමාජ දුරස්ථභාවය හා සංචරණ සීමාවන් රටට හිතකර පරිදි සංවිධානය කිරීම ආදී වගකීම් රැසක් ඔහු කරමත විය. ඒ අතර කාබනික ගොවිතැන පිළිබඳ ජනතාවගේ දැනුවත් භාවය මදිකම නිසා පැන නැගුණු ගොවි විරෝධතාවල ද අඩුවක් නොවීය.

ජනාධිපතිවරයා පාසල් නැවත පටන් ගැනීම හා ගුරුවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ ගැටලූව නිරාකරණය කිරීම යන කාරණාව අමාත්‍යවරයාට හා අධ්‍යාපන අමාත්‍යවරයාට භාර කළේය. අග‍්‍රාමාත්‍යවරයා වෘත්තීය සමිති සමග කරන ලද සාකච්ඡා වට ගණනාවකින් පසු කාටත් පිළිගත හැකි හොඳ තීන්දුවක් ලබා දුන්නේය. ඔවුන්ගේ වැටුප් විෂමතාවය පිළිගෙන එම හිඟ වැටුප් ලබාදෙන ක‍්‍රමවේදයක් ද ඉදිරිපත් කළේය.

ක‍්‍රමවේදය ඉතා සාධාරණ වුවත් එය පිළිගැනීම ඇතැම් වෘත්තීය සමිතිවල අභිමානයට ගැටලූවක් විය. සටන තව තවත් දිග්ගැස්සවීමට දේශපාලන අවශ්‍යතාවයක් ද ඔවුන්ට තිබූ බැවින් අගමැතිවරයාගේ යෝජනාවට එක එල්ලේ එකඟතාව පළ කිරීමට ඔවුන්ට නොහැකි වූහ.

මේ නිසා එක්තරා උප්පරවැට්ටියක් භාවිතාවෙන් විසඳුමකට පැමිණෙන්නට වෘත්තීය සමිතිවලට සිදුවිය.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සතියේ විසිඑක් වැනි දා සිට ළමයින් දෙසීයකට අඩුවෙන් සිටින පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නට පසුගිය දිනවල තීන්දුවක් ගත්තේය. එම පාසල්වල ගුරුවරුන් එදින සිට සේවයට වාර්තා කිරීම අනිවාර්ය විය. එහෙත් වෘත්තීය සමිති එම අමාත්‍යාංශ විසඳුම පිළිබඳ කැමැත්ත පළ කළේ නැත. ඒ වෙනුවට දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතා 21 වැනිදා නොව, 25 වැනිදා සිට සේවයට වාර්තා කරන්නට ඔවුන් ගුරුවරුන්ට අවසර දුන්නේය.

පසුගිය සතිය පුරාම මේ සම්බන්ධයෙන් ද විවිධ දේශපාලන වාද විවාද හා සංවාද අප දේශපාලන කරළිය තුළ දැකගත හැකි විය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සති අන්තයේ කොවිඞ් මර්දනය පිළිබඳ කාර්ය සාධක බළකායේ රැස්වීමට ද සහභාගි විය.

ඒ සඳහා සුපුරුදු පරිදි සහභාගී වන සෞඛ්‍ය අංශ බලධාරීන් හා නිලධාරීන් සහභාගි වී සිටි අතර දේශපාලනඥයන් ලෙස බන්දුල ගුණවර්ධන, පවිත‍්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලූත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල, චන්න ජයසුමන, සිසිර ජයකොඩි, සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ, මධුර විතානගේ සහභාගී වී සිටියහ. ඊට අමතරව ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග හමුදාපති, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහු ද එතැන සිටියහ.

ජනාධිපති ගෝඨාභය සාකච්ඡාව පටන් ගත්තේ රට තුළ තිබෙන අලූත් තත්ත්වය ගැන කතා බහ කරමිනි.

ඉන් පසුව රට තුළ එන්නත්කරණ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වන ආකාරය ගැන කරුණු විමසන්නට විය.

”කොහොමද දැන් ෆයිසර් එන්නත ලැබෙන විදිය එහෙම…”

උද්ඝෝෂණ රැල්ල
ගැන බන්දුලගේ විග‍්‍රහය

ෆයිසර් එන්නත දැන් දිගින් දිගටම ලැබෙනවා… ලබන සඳුදා ලක්ෂ හයක් එනවා. වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන එන්නත ලැබෙන ආකාරය ගැන ලොකු විස්තරයක් කරන්න පටන් ගත්තේය.

”අපිට දැන් පාසල් දරුවන්ට අඩුපාඩුවක් නැතුව ෆයිසර් එන්නත ලබා දෙන්න පුළුවන් නම් එච්චරයි…” ජනාධිපති කීවේය.

පාසල් මට්ටමින් ආරම්භ කරපු එන්නත්කරණය ඉතාම සාර්ථකයි. දරුවො දැන් නියමිත දිනවල ඇවිල්ලා එන්නත ගහන් යනවා.

”මම මේ සාකච්ඡා කරන්න හිටියේ. තවමත් රටේ කොවිඞ් අනතුර අඩු වුණා කියලා සතුටු වෙන්න බැහැ. දවසකට හයසීයක් විතර තවමත් ලෙඞ්ඩු හමු වෙනවා. විස්සක් විතර දවසට මැරෙනවා. මේවා ගැන හොයලා බලන්න තියෙන සැලකිල්ල අඩු කරන්න එපා…” ජනාධිපති උපදෙස් දුන්නේය.

”පාසල් දරුවෝ එන්නත්වලට අරගෙන යනකොට වෙන වෙන පාසල්වලට යවන එකත් ප‍්‍රශ්නයක් වෙන්න පුළුවන්…” ඩලස් පෙන්වා දුන්නේය.

”දැන් මේ දේශපාලන පක්ෂයි වෘත්තිය සමිතියි ආයෙත් පාරක් දාස් ගණන් පාරට බස්සලා උද්ඝෝෂණ කරගෙන යනවා. මේවා ඇතුලෙන් ආයෙ පාරක් රැල්ලක් ඇති වෙන්න පුළුවන්…” බන්දුල ගුණවර්ධන පැහැදිලි කළේය.

”එන්නත ලබාගෙන නැති අයට ලෙඬේ බෝ වෙන ප‍්‍රවණතාවයක් තමයි තියෙන්නේ…” සෞඛ්‍ය අංශ පැහැදිලි කළේය.

ඉන්පසුව කමිටුව කතාබහ කළේ එම දීර්ඝ සතිඅන්ත නිවාඩුව ගැනයි… නිවාඩුව තුළ උවමනාවට වඩා නිදහස භුක්ති විඳීම තුළින් යළිත් කොවිඞ් පැතිරීමේ අවදානමක් ඇත්දැයි සාකච්ඡා විය.

”ගියපාර අපි කොවිඞ් හොඳටම පැතිරුණු වෙලාවේ නිවාස මූලික කරගෙන ආරම්භ කරපු කොවිඞ් ප‍්‍රතිකාර වැඩපිළිවෙළ ඉතාම සාර්ථකයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කතාබහ කරල තිබුණා…”

”ඒ විතරක් නෙවෙයි… අපි එන්නත්කරණ වැඩසටහන ඉතාමත්ම සාර්ථකයි, සතුටුදායකයි කියලත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා…” දොස්තර පාදෙනිය විස්තර කළේය.

මේ අයුරින් ඉතාමත් වැදගත් කරුණු රාශියක් සහ කතාවට ලක් කරමින් රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබූ කොවිඞ් මර්දන කමිටු රැස්වීම ද පැයක පමණ කාලයක් ඇවෑමෙන් අවසන් විය.

ජනාධිපති ඉදිරියේ
මහින්දානන්දගේ වැඩකිඩ

දහම්ගේ පැමිණීම රොෂාන්ට ප්‍රශ්නයක්

පසුගිය 21 වැනිදා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කාර්ය බහුල දිනයක් විය. උදේ වරුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා උදේ 10.45 ට පමණ පාර්ලිමේන්තු සභා ගැබට යනවිට සභාවේ කතා කරමින් සිටියේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස ය. රසායනික පොහොර හිඟය හා පොහොර කලට වේලාවට ලබා නොදීම නිසා ගොවියා පත්ව ඇති අසරණභාවය ගැන ඔහු මහත් විස්සෝපයෙන් කථා කරමින් සිටියේය. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද එම අවස්ථාවේ පාර්ලිමේන්තුවට ආවේ ජනාධිපති පැමිණෙන්නට මොහොතකට පෙරය. සජිත්ගේ ප‍්‍රශ්න කිරීම ජනාධිපතිවරයාත් අගමැතිත් දෙදෙනාම හොඳින් අසා සිටියහ.

එම අවස්ථාවේ ඊට උත්තර දෙමින් කතා කළේ මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයාය.

අගමැතිත් ජනාධිපතිවරයාත් දෙදෙනාම සබාගැබේ සිටින බැවින් මහින්දානන්ද වෙනදාට වඩා උනන්දුවකින් හා සටන්කාමිත්වයකින් විපක්ෂ නායකවරයාට උත්තර දුන්නේය.

මේ තත්ත්වය කෙසේ වෙතත් එදින පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට නියමිතව තිබුණේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කරන ලද අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහයට අයත් වෙන වෙනම පනත් හතරකි.

ජනාධිපති ගෝඨාභය මේ ආකාරයෙන් විනාඩි විස්සක් පමණ පාර්ලිමේන්තු සභා ගැබේ රැඳී සිටියේය. ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි සහ ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක ද එම අවස්ථාවේ එතැන සිටියහ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු කිහිප දෙනෙක්ම ජනාධිපති කාර්යාලයට පැමිණි ජනාධිපතිවරයා හා ඉතා කුළුපගව කතාබහ කරමින් සිටින අයුරු දක්නට ලැබිණි. මේ අවස්ථාවේ තව නොබෝ දිනකින් ඇමරිකාවේ මෙක්සිකෝවට තානාපතිවරයා ලෙස යෑමට නියමිත මහින්ද සමරසිංහ ද පැමිණ ජනාධිපතිවරයා හා කතා බහ කරමින් සිටියේය.

මේ අතරතුර ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු පිරිසක් ද ජනාධිපතිවරයා හමුවන්නට පැමිණියහ.

”අපිට ජනාධිපතිතුමා මුණගැහිලා කතා කරන්න වුවමනායි…” මන්ත‍්‍රීවරු නිලධාරීන්ට එසේ කියන විට ජනාධිපතිවරයාට එය ශ‍්‍රවණය විය.

”එන්න කියන්න… එතුමන්ලාට මොනවද කතා කරන්න තියෙන්නේ…” ජනාධිපතිවරයා එසේ කියමින් මන්ත‍්‍රීවරුන් පිරිස ගෙන්වා ගනිමින් ඔවුන් සමග සැලකිය යුතු වේලාවක් කතාබහ කරමින් සිටියේ ය. ඉන්පසුව පාර්ලිමේන්තුවෙන් පිටත් ව එන විට දහවල් 12.00 ට ද ආසන්න විය.

රට පුරාමත් පාර්ලිමේන්තුව තුළත් කාබනික පොහොර ප‍්‍රශ්නය සාකච්ඡා වන අතරවාරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ ගැන කතා කරන්නට රට පුරා විසිර පැතිර සිටින ගොවිජන සේවා නිලධාරීන් හමුවන්නට කල්පනා කළේය.

මේ හමුව පස්වරු 2.35ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන්නට ජනාධිපති මාධ්‍ය අංශය කටයුතු සූදානම් කර තිබිණි. මෙම හමුවට ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු ද සම්බන්ධ වූහ. ඒ අතර ලංකාවේ වැඩිපුරම වී වගා කරන දිස්ත‍්‍රික්ක 15ක් නියෝජනය කරමින් ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරු හා ගොවිජන සේවා නිලධාරීන් පිරිසක් සම්බන්ධව සිටියහ.

”මම අද ඔයගොල්ලන්ව කැඳෙව්වේ පොහොර ගැටලූව ගැන සාකච්ඡා කරන්න. අපි කාබනික පෝර භාවිතයට හුරු කරන්න කල්පනා කළේ හදිසිය ගත්ත තීන්දුවක් ලෙස නෙවෙයි. කවුරුත් දන්නවා මේක අපි කාලාන්තරයක් තිස්සේ පර්යේෂණ කරල සැලසුම් කරල ගත්තු තීන්දුවක්. අපේ රට හදන සංවර්ධන සැලසුම්වල ඒක අන්තර්ගත වෙලා තියෙන බව ඔබ දන්නවා…

අනිත් එක්ක අද මුළු ලෝකයම රසායනික ගොවිතැනින් ඉවත් වෙනවා. කාබනික ගොවිතැනට හුරු වෙනවා. අපිත් ඒක කරන්නම ඕන. රසායනික පොහොර භාවිතය නිසා ජෛව විවිධත්වයට හානි වෙනවා. පස නිසරු වෙනවා. භූගත ජල සම්පත දූෂණය වෙනවා. මිනිස්සු නිරපරාදේ ලෙඩ හැදිලා මැරෙනවා…

කාලාන්තරයක් තිස්සේ රසායනික පොහොරවලට අපි හුරු වෙලා ඉන්න නිසා ඒක එකපාර කරන්න අසීරු බව මම දන්නවා. හැබැයි කවදා හරි අපි හරි දේ කළ යුතුයි. කොතනින් හරි අපි පටන් ගන්න වෙනවා. අමාරුවෙන් හරි අපි මේක කරනවා. අඩුපාඩුවක් තියෙනව නම් අපිට පුළුවන් සාකච්ඡා කරලා ඒක නිවැරදි කරගන්න.

දැනටමත් අපි ලෝකයේ තියෙන හොඳම දියුණු තාක්ෂණයෙන් නිස්සාරණය කරපු නයිටි‍්‍රජන් ගෙනත් තියනවා. ගොවියෝ මේ එක එක දේශපාලන පක්ෂවල න්‍යාය පත‍්‍රවලට වැඩ කරන්නේ නැතුව නොමඟ යන්නේ නැතුව උපදෙස් ටික හරියට අරන් මේ ජෛව පූර්ව පාවිච්චි කරනවා නම් උසස් ප‍්‍රතිඵල ලබා ගන්න අමාරු නෑ…” ජනාධිපතිවරයා ඒ අයුරින් දිගු විස්තරයක් කරමින් ඒ ඒ ප‍්‍රදේශවල කාබනික පොහොර භාවිතයට ගොවියගෙ ඇති නැඹුරුව ගැන තොරතුරු විමසා සිටියේය.

රසායනික උගුල ගැන
ජනාධිපති පහදයි

ඉන් පසු ජනාධිපතිවරයා ඇසුවේ සහල් මිල හා වී මිල ගැනයි.

”එතකොට දැන් ගොවියෝ කොහොමද වීවලින් ආදායම් ගන්නේ. මොනවද ඕගොල්ලන්ගේ පළාත්වල මිල ගණන්… නාඩු, කීරි සම්බා වගේ දේවල්වල වී යන්නේ කීයටද…”

”නාඩු නම් ගන්නෙ 65යි. සම්බා හැත්තෑවයි. කීරි සම්බා නං 90 ට විතර යනවා…” නිලධාරීන් පෙන්වා දුන්හ…

”ඒක තමයි… ඒ කියන්නේ ගොවියාට හොඳ මිලක් ලැබෙනවා කියන එක.. අපි ගොවියාට පොහොර නොමිලේ දුන්නෙත් ගොවියාට හොඳ මිලක් ලැබිලා ජීවන තත්ත්වය උසස් කරන්න… හැබැයි රසායනික පොහොර කියන්නේ උගුලක්. අපේ ජෛව සම්පත් විනාශ වුණා. පස දූෂණය වුණා. ජලය දූෂණය වුණා. වකුගඩු රෝග වගේ බෝ නොවන රෝගවලින් මිනිස්සු පෙළෙන්න ගත්තා. අපි ඉහළ ගුණාත්මයකින් යුතු කාබනික පොහොර ගෙනල්ලා දෙන්නෙත් ගොවියාගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ගමන්ම පරිසරයත් රැකගෙන ගොවියාගේ ආදායමත් වැඩි කරන්න තමයි. ඉතිං ඔය ටික ඔයගොල්ලා ගොවියන්ට කියලා දෙන්න ඕන. දැනට ඔය උද්ඝෝෂණය මෙහෙයවන දේශපාලන පක්ෂවල අය අහිංසක ගොවියා නොමඟ යවලායි පාරට බස්සන්නේ. අපි ගොවියට ඇත්ත කියා දීලා ඔවුන්ව ඒ ඉන්න තැනින් මුදාගත යුතුයි…”

එසේ ජනාධිපතිවරයාගේ කතාබහින් පසුව විමසා සිටියේ නිලධාරීන්ට කතා කරන්නට යම් යම් ප‍්‍රශ්න ඇද්ද යන බවයි… ඒ ඒ දිස්ත‍්‍රික්කවල ප‍්‍රශ්න කතා කරන්නට ජනාධිපතිවරයා නිලධාරින්ට වෙන වෙනම ඉඩකඩ ලබා දුන්නේය.

”අපේ පළාත්වලට දැන් පොහොර ලැබෙමින් පවතිනවා. කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය මූලික පහසුකම් ලබා දෙනවා… අපි දැන් ඒ පහසුකම් ගොවීන් අතර බෙදා හදා දෙනවා…” නිලධාරියෙක් කීවේය. ඉන්පසුව කතා කළේ බදුල්ල දිස්ත‍්‍රික් නියෝජ්‍ය කොමසාරිස්වරියයි.

”මගේ පළාතේ පොලි ටනල්වල වගා කරන අයයි මල් වගා කරන අයයි ගොඩක් ඉන්නවා. එයාලට අවශ්‍යයි දියර පොහොර හා කෘමිනාශක…”

”ඒ තොරතුරු නිවැරදිව ලේඛනගත කරල අරගන්න. අපි ඒ අයට අවස්ථාව දීලා තියෙනවා.”

”බදුල්ලේ හුඟක් ඉන්නවා අල වගා කරන ගොවියෝ. වී වගා කරන අයට වගේ ඒ අයටත් පොහොර සහනාධාරයක් දුන්නොත් තමයි හොඳ…” නිලධාරිනිය නැවතත් කීවාය. ජනාධිපතිවරයා ඒ මොහොතේම නිලධාරීන්ට කතා කරමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නට උපදෙස් දුන්නේය.

මහින්ද රාජපක්ෂලාගේ පසුගිය ආණ්ඩු ඉතා සාර්ථක ලෙස පොහොර සහනාධාරය ලබා දෙමින් ගොවියන්ට උදව් උපකාර කරන සමයේ මේ රටේ ගොවියෝ එම ආණ්ඩුවලට ඉතා කැමැත්තෙන් පසු වූහ. මැතිවරණවලදී ගොවියන්ගේ සහයෝගය ලැබුණේ විප්ලවීය වමේ පක්ෂවලට හා කලබලකාරී දකුණේ පක්ෂවලට වඩා මහින්ද රාජපක්ෂලාගේ රජයයන්වලටය.

එම අවස්ථාවන්වලදී විප්ලවීය වමේ පක්ෂ හා මේ රටේ සමහර රාජ්‍ය නොවන සංවිධාන පරිසර සංවිධානවලට පරිසර සංරක්ෂණයට මුවාවී ගොවියාට නොමිලයේ ලබාදෙන රසායනික පොහොරවලට විරුද්ධව මේ සමාජයේ මත නිර්මාණය කරන්නට වෙහෙසුන හ.

නිකන් දෙන රසායනික පොහොර නිසා පරිසරය දූෂණය වන බව කීහ. භූගත ජල සම්පත් දූෂණය වන බව කීහ. රජරට වැව් පොකුණු හා ජලාශවල බැර ලෝහ හා විෂ රසායනික ද්‍රව්‍ය තැන්පත් වන බව කීහ. ඒවා හේතුවෙන් රටේ ජනතාව ලක්ෂ ගණනින්ව කුගඩු රෝගවලට හා බෝ නොවන රෝගවලට ගොදුරු වන බව පෙන්වා දුන්හ.

රාජ්‍ය නොවන සංවිධාන හා ඒවා සමඟ ඈදුනු පරිසර සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ ඒ කියන අනතුරට වඩා වැඩි අනතුරක් රසායනික පොහොර භාවිතය නිසා සිදුවන බව තේරුම්ගත් රාජපක්ෂලා ඊළඟට සැලසුම් කළේ රසායනික පොහොර භාවිතය නතර කර ඒ වෙනුවට රටේ සියලූ වගාවන් කාබනික පොහොරවලට හුරු පුරුදු කරවීමටය. ඒ සම්බන්ධයෙන් මැතිවරණවල දී පොරොන්දු පවා දුන් රාජපක්ෂවරු තම තමන්ගේ ඉදිරි රට හදන සෞභාග්‍යයේ සැලසුම්වලට පවා කාබනික පොහොර භාවිතය කාබනික වගාව ගැන ක‍්‍රමෝපායන් ඇතුළත් කළහ.

ගෝඨාභය රජය කොවිඞ් අනතුර සමග ආ දුෂ්කරතා පවා නොතකමින් රට තුළ කාබනික පොහොර භාවිතය හා කාබනික වගාවන් හුරුපුරුදු කරවීමට අවශ්‍ය තීන්දු තීරණ එඩිතර ව ගත්හ. පුදුමයට කරුණ වන්නේ එදා රසායනික පොහොර භාවිතය නිසා වකුගඩු රෝග හැදෙනවා යැයි කියමින් රසායනික පොහොරවලට එරෙහිව රට තුළ ලොකු විරෝධයක් රැගෙන ගිය රාජ්‍ය නොවන සංවිධාන, පරිසර සංවිධාන හා එක මතයක් වුණු දේශපාලන පක්ෂ ක්ෂණිකව තම සටන් පාඨ මාරු කර තිබීමය.

අද ඔවුන් රසායනික පොහොර නිසා ඇතිවන වකුගඩු රෝග හෝ පරිසර දූෂණය හෝ ජල දූෂණය ගැන කිසිදු සද්දයක් නැත. ඒ වෙනුවට ඔවුන් අද රජයට එරෙහිව ගොවියන් උසිගන්වන්නට පටන් ගෙන ඇත්තේ රසායනික පොහොර අත්හැර කාබනික පොහොර වැලඳ ගැනීම නිසා රට තුළ විශාල කෘෂිකාර්මික බිඳවැටීමක් හා ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ ඇතැයි යන මතය සමාජ ගත කරමිනි.

ජනාධිපතිවරයා ඇතුළු ඔහුට සමීප නිලධාරීන් පිරිස ඒ පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව සාකච්ඡා කරමින් සිටියහ.

සංචාරකයෝ නැවතත්
එන්න පටන් ගත්ත හැටි

ප‍්‍රංශයේ පැවැති සංචාරක අලෙවි ප‍්‍රදර්ශන වැඩසටහනකට සහභාගීවීම සඳහා ගිය සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ඉකුත් සඳුදා නැවතත් ලංකාවට පැමිණියේය. ඇමැතිවරයා ලංකාවට පැමිණෙන බව දැන සිටි ගුවන්තොටුපළ බලධාරින් ඪෂඡ පිටවීමේ දොරටුව හරහා ඇමැතිවරයා පැමිණේ යැයි බලාපොරොත්තු වුවත් ඇමැතිවරයා පැමිණියේ සාමාන්‍ය මගීන් පිටවන දොරටුවෙනි.

ගුවන් තොටුපළ සමාගමේ සභාපතිවරයා සහ ඞී.වී. චානක අමාත්‍යවරයා සංචාරක අමාත්‍යවරයා පිළිගැනීම සඳහා ගුවන්තොටුපළ පරිශ‍්‍රයට පැමිණ සිටි අතර පිරිස විනාඩි 45ක් පමණ කාලයක් ගුවන්තොටුපළ පරිශ‍්‍රයේ නිරීක්ෂණයේ යෙදිණ.

ගුවන් තොටුපොළේ ඒ වන විටත් සංචාරකයින් පිරිසක් රැඳී සිටියේය. ඔවුන් සමග කතා කළේය.

”ශ‍්‍රී ලංකාවට ඔබලා සාදරයෙන් පිළිගන්නවා. ඔබලා ගුවන්තොටුපළ සේවය ගැන සෑහීමකට පත් වෙනවාද?”

”ශ‍්‍රී ලංකාව ලස්සන රටක්. අපිට හොඳ පිළිගැනීමක් ලැබුණා. ඉක්මනින්ම සේවා සැපයීම සිද්ධ වෙනවා.” අමාත්‍යවරයා සහ සංචාරකයින් අතර මෙම සංවාදය ඇති වුණේ ඉංග‍්‍රීසි භාෂාවෙනි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලැබිණි.

”කොහොමද ප‍්‍රසන්න”

”හොඳින් ඉන්නවා. මේ දැන් තමයි ජනාධිපතිතුමා මම ලංකාවට ආවේ.”

”ප‍්‍රසන්න ගිය වැඩ කටයුතු සාර්ථකයි ද?”

”සෑහෙන්න සාර්ථකයි.”

”ඇමැතිතුමාට මම කතා කරේ තවත් වගකීමක් භාර දෙන්න. ඉන්දියාවෙන් අද පොහොර එනවා. ඒ වැඬේ සංවිධානය කරන්න ඕනේ.”

”හරි ජනාධිපතිතුමා, මම ඒකට අවශ්‍ය සියලූ වැඩකටයුතු සූදානම් කරන්නම්.”

දුරකථන සංවාදය අවසානයේ එදින සවස ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන පොහොර තොගය භාර ගැනීමේ කටයුතු සංවිධානය කරන ලෙස ඇමැතිවරයා ගුවන්තොටුපළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

”පොහොර තොගේ භාරදෙන්න ඉන්දියානු මහකොමසාරිස්වරයා එනවා. ඒ වගේම පොහොර තොගේ බාරගන්න බන්දුල ඇමැතිතුමයි, ශෂින්ද්‍ර රාජපක්ෂ ඇමැතිතුමායි එනවා. මේක රටේම පොහොර ගැන කතා කරන වෙලාවක්. ඒ නිසා ඒ වැඬේ හොඳට කෙරෙන්න ඕනෙ” ඇමැතිවරයා උපදෙස් දුන්නේය.

ඒ අතර දුරකථන සංවාදයක යෙදී සිටි ඞී.වී. චානක රාජ්‍ය අමාත්‍යවරයා ”නාමල් මැතිතුමාට ඔබතුමාට කතා කරන්න ඕනේ කියනවා” කියමින් දුරකථනය ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා වෙත දිගු කළේය.

”ඔව් ඇමතිතුමා.”

”ප‍්‍රසන්න ඇමැතිතුමා ලංකාවට ආවා කියලා දැනගත්තා.”

”මේ දැන් ආවා විතරයි.”

”අගමැතිතුමාට ඔබතුමාව හම්බවෙන්න ඕනේ කියනවා.”

”මම පී.සී.ආර් එක කළා. ඒක නෙගටිව්. ප‍්‍රශ්නයක් නැත්නම් මට දැන් එන්න පුළුවන්.”

”ප‍්‍රශ්නයක් නැහැ ඇමැතිතුමා.”

”මම දැන් කොළඹ ගෙදරට එනවා. ඊට කලින් අගමැතිතුමාව හම්බවෙනවා.”

ඒ මොහොතේම අගමැතිවරයා මුණගැසීම සඳහා පිටත්ව ගිය සංචාරක ඇමැතිවරයා හා අගමැතිවරයා අතර පැයක පමණ සාකච්ඡාවක් පැවතියේය.

බදාදා අලූයම හතරට ගුවන්තොටුපළ පරිශ‍්‍රය තරමක් කාර්යබහුල විය. වෙනදා නොවූ තරම් භික්ෂූන් වහන්සේලා වැඩම කර තිබිණි. ඒ ඉන්දියාවේ කුසිනාරා නුවර නව ගුවන් තොටුපළට පිටත්ව යන පළමු ගුවන්යානයෙන් ඉන්දියාව බලා යන පළමු මගී කණ්ඩායමට එක්වීමටයි.

අගමැතිවරයා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අතර ‘දදප තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයක් අතරතුර මෙම අවස්ථාව සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කර තිබිණි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයන පිහිටා ඇත්තේ කුසිනාරා නුවරයි. ලංකාවේ සැදැහැවත් බෞද්ධයින් මෙම ස්ථානය දැක වැඳ පුදා ගැනීම සඳහා විශාල වශයෙන් පිටත්ව යයි. මෙම ස්ථානයට යෑමට දිගු කාල වේලාවක් ගත වේ. නව ගුවන් තොටුපළ විවෘත කිරීමත් සමග ඉතා කෙටි වේලාවකින් කුසිනාරා නුවරට සෘජුව ගුවනින් ගමන් ආරම්භ කිරීමට හැකි වේ.

බදාදා පෙරවරුවේ සංචාරක අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

යටිතල පහසුකම් ගැන
ගීතා කනස්සල්ලෙන්

දහම්ගේ පැමිණීම රොෂාන්ට ප්‍රශ්නයක්

සාකච්ඡාව අතරතුර ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරිය ”සංචාරක ව්‍යාපාරය ගොඩනඟන්න නම් ගම්වල යටිතල පහසුකම් සංවර්ධනය වෙන්න ඕනේ. සමහර සංවර්ධන ව්‍යාපෘති ඒ ප‍්‍රදේශවලට ගැලපෙන්නේ නැහැ. මම මේ ගැන ජනාධිපතිතුමා එක්කත් සාකච්ඡා කරා. ඔබතුමාත් මේ ගැන ටිකක් හොයලා බලන්න” කීවාය.

”යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ ඒ ඒ ප‍්‍රදේශවල යෝජනා අනුවයි. සීතල කාමරවල ඉඳලා නෙමෙයි තීරණ ගන්නේ. බැසිල් මහත්තයාගේ සංකල්පයත් ඒකයි. ජනාධිපතිතුමාගේ මතයත් ඒකයි. ගම සමග පිළිසඳර කරන්නෙත් ඒකටයි. යෝජනා තියනව නම් එවන්න. ආණ්ඩුවේ විශේෂත්වයත් ජනතාවගේ යෝජනාවන් ක‍්‍රියාත්මක කරන එකයි.” රණතුංග ඇමැතිවරයා ඊට පිළිතුරු දුන්නේ ය.

ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කීපදෙනෙක් පාර්ලිමේන්තු ලොබියේ සාකච්ඡාවක යෙදී සිටියේය. ඒ අවස්ථාවේ උපුල් මහේන්ද්‍ර, මිලාන් ජයතිලක, සහන් ප‍්‍රදීප් හා කෝකිලා හර්ෂනී සාකච්ඡාවට එක්ව සිටියහ.

”ළඟදීම අපිට ලොකු වැඩක් තියෙනවා. නොවැම්බර් දෙවැනි දා අපේ පක්ෂයේ සංවත්සරය. ඒකට මොනවා හරි කරන්න ඕන. බැසිල් ඇමැතිතුමාත් මේ ගැන කතා කළා.” රණතුංග ඇමැතිවරයා කීය.

”අපි ලංකා ඉතිහාසයේ ළාබාලම දේශපාලන පක්ෂය. කොවිඞ් නිසා අවුරුදු දෙකක්ම අපිට සම්මේලනය පවත්වන්න බැරි වුණා.” මිලාන් ජයතිලක කීවේය.

”අපේ පක්ෂය ගොඩනැගුනෙ නැත්නම් අද අපේ මේ ආණ්ඩුව පිහිටුවන්නේත් නෑ” කෝකිලා හර්ෂණී පිළිතුරු දුන්නේ ය.

”ඔව් ඔව්. පක්ෂ හැදුවොත් පාරක් ගාණේ ඇවිද්දනවා කිව්වා. ගොඩක් අය පක්ෂය හදන එක වළක්වන්න උත්සහ කළා. අන්තිමට ඒ අයම පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කිය කිය පාරක් පාරක් ගාණේ ඇවිද්දා. එහෙම ඉතිහාසයක් තියෙන පක්ෂයක්.” ප‍්‍රසන්න රණතුංග නැවතත් කීය.

කතාව අවසානයේ දිස්ත‍්‍රික්කයේ මහජන නියෝජිතයින් කැඳවා පක්ෂ සංවත්සරය සැමරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය විය.

ශ‍්‍රී ල නි ප මන්ත‍්‍රීවරු
අලූත් අර්බුදයක

ආණ්ඩු පක්ෂයේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු මේ දිනවල සිටින්නේ බලවත් අර්බුදයක ය. ඔවුන්ට ආණ්ඩු පක්ෂය ඇතුළෙන් ආණ්ඩුවේ පිරිසක් කියා පිළිගැනීමක් නැත. ඔවුන් පවසන පරිදි ඔවුන්ට සෑම තැනකම ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර නිතරම කියන කතාවක් වූයේ ආණ්ඩු පක්ෂයේ සිටියත් තමන්ගේ මතයට ආණ්ඩුව ඇතුළේ කිසිදු ඉඩකඩක් නොමැති බවය. ඉඩකඩක් පමණක් නොව ගරු කිරීමක් ද නැත. කොටින්ම කිවහොත් ඔවුන් කියන්නේ ඇහුම්කන් දීමක් වත් නැති බවය.

මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු තම තමන්ගේ ආරක්ෂාව පිළිබඳ මේ දිනවල සිටින්නේ බලවත් ගැටලූවකය.

පසුගිය දිනෙක හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් මේ සම්බන්ධයෙන් කතාබහ කරන්නට ජනාධිපතිවරයා ද මුණ ගැසුණහ. පැය තුනකට ආසන්න වෙලාවක් ඔවුන් සමග කතාබහ කරමින් මේ ගැටලූ ගැන සාකච්ඡා කළත් එය සුහද හමුවකට වැඩි යමක් වූ සාකච්ඡාවක් බව ශ‍්‍රීලනිප ය පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පසුගිය කාලයේ රොෂාන් රණසිංහ ඇමැතිවරයාගෙන් ද ගැටලූ මතු විය. හිටපු ජනාධිපතිවරයෙක් බවවත් නොසලකා ඔහු මෛත‍්‍රීපාල සිරිසේනගේ දේශපාලනය දැඩි ලෙස විවේචනය කළේ යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ පටන් බව අපට මතකය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් බලය ගිලිහී ගියවිට මේ විවේචන තව තවත් උග‍්‍ර විය.

කාලයාගේ ඇවෑමෙන් මේ දෙදෙනා අතර නොහොඳ නෝක්කාඩුව පහව ගොස් යළි පරණ හිතවත්කම මතු විය. එහෙත් ඒ හිතවත්කම වැඩි කලක් නඩත්තු වූයේ නැත. නැවතත් රොෂාන් රණසිංහ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ප‍්‍රහාර පිට ප‍්‍රහාර එල්ල කරන්න ගත්තේය. ඊට ආසන්නම හේතුව කුමක්ද? දේශපාලන කරළියේ බොහෝ දෙනෙක් මේ ගැන සාකච්ඡා කරන්නට වූහ.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනක පක්ෂ නායකයා හැටියට එක්තරා තීන්දුවක් ගත්තේය. එනම් ඔහුගේ පුත් දහම් සිරිසේන දේශපාලනයට ගෙන ඒමේ වෑයමේ පළමු පියවර ගත්තේය. ඒ පොලොන්නරුව දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ ප‍්‍රධානියා ලෙස පත් කිරීමත් සමගයි.

අතීතයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාද දේශපාලනයට ප‍්‍රවේශ වූයේ මෙම ප‍්‍රවේශ මාර්ගය හරහා බව දේශපාලනය කරන බොහෝ දෙනෙක් දැන සිටියහ. එම නිසා දහම් සිරිසේනගේ ආගමනය ගැන පොලොන්නරුවේ දේශපාලනය කරන අනිකුත් පක්ෂවල තරුණ නියෝජිතයින්ටත් ලොකු විචිකිච්ඡාවක් ඇති වීම අසාධාරණ නැත.

කවුරු කෙසේ කීවත් මේ සම්බන්ධයෙන් වැඩිපුරම කලබල වී සිටියේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ යි.

රොෂාන් කලබල වූවා පමණක් නොව, ඔහු යන යන තැන ප‍්‍රසිද්ධියේ කතාබහ කරන වේදිකාවන්වලදී මෛත‍්‍රීපාල සිරිසේනගේ දේශපාලනයත් දැඩි ලෙස විවේචනය කරන්නට අමතක නොකළේය.

දහම් පැමිණෙන නිසා
රොෂාන් අවුල් වුණාද

පසුගිය දිනක දිඹුලාගල ප‍්‍රදේශයේ එක්තරා රැස්වීමකට සහභාගි වූ රොෂාන් රණසිංහ ඔහුට කතා කරන්නට ලැබුණු මොහොතකදී මෛත‍්‍රීපාල සිරිසේනට දැඩි විවේචනයක් එල්ල කළේය.

විවේචනයකට වඩා එය චෝදනාවකි. පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවි සංවිධානවල උද්ඝෝෂණ මෙහෙයවන්නෙ විපක්ෂයේ දේශපාලන පක්ෂ බව බොහෝ දෙනෙකු පෙන්වා දුන්නත් සත්‍ය වශයෙන්ම ඒවා පිටුපස ඉන්නේ කවුරුන්ද කියා තමා දන්නා බව රොෂාන් රණසිංහ කීවේය. ඒ කවරෙකුවත් නොව මෛත‍්‍රීපාල සිරිසේන බව ඔහුගේ චෝදනාව විය. ‘අෙඟ් ඉඳන් කන කන්න සූදානම් වන්නට එපා. යැයි කියමින් ඔහු මෛත‍්‍රිපාලට අභියෝග කළේ තවත් හේතුවක් නිසාය.

එක් අතකින් බලන විට රොෂාන්ගේ චෝදනාවන්ට ද යම්කිසි පදනමක් තිබුණේ නැතැයි කිව නොහැකිය. මන්ද පොලොන්නරුවේ බොහෝ උද්ඝෝෂණවලදී රජයට විරෝධතා එල්ල කරන්නට පෙරමුණේ සිටි ක‍්‍රියාකාරිකයින් අතර වැඩි දෙනා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් වීමයි.

මේ තත්ත්වය තුළ රොෂාන් රණසිංහගේ කතාවට හා චෝදනාවට එක්තරා මට්ටමක පදනමක් ද තිබිණි.

ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුව පෙරළා දමන්නට විපක්‍ෂ සතුරන් හා එක්ව කුමන්ත‍්‍රණ කරන්නේ නැතිව ඉන්නට බැරි නම් ඉවත්ව යන්නට ඔහු මෛත‍්‍රීපාලට විවෘතව අභියෝග කළේය.

මේ තත්ත්වය අතරතුර දහම් සිරිසේන දේශපාලනයට පැමිණීමත් සමඟම රොෂාන් රණසිංහගේ සියලූ සීමාවන් ඉක්මා ගියේ ය.

ඔහු බරපතළම චෝදනා නගන්නට වූයේ ඉන් පසුවයි.

තත්ත්වය මෙසේ තිබියදී පසුගිය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ කොළඹ පැජට් පාරේ පිහිටි මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගේ නිල නිවසේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්විණි. දිසනායක, දයාසිරි ජයසේකර ඇතුළු සියල්ලෝම පාහේ මෙම සාකච්ඡාවට පැමිණ සිටීම විශේෂත්වයක් විය.

සාකච්ඡාව ආරම්භ වූයේ සවස 7.00 ට පමණය. එහිදී ඔවුන් විවෘතව ආණ්ඩු පක්ෂයේ ඇතැම් පුද්ගලයින්ගෙන් තම පක්ෂ නායකයාට හා පක්ෂයේ සෙසු සාමාජිකයන්ට විඳින්නට සිදුව ඇති අභියෝග තර්ජන ගර්ජන හා විවේචන ගැන ද විවෘතව කතාබහ කළහ.

”මේ වගේ දේවල් අපට අලූත් දේවල් නෙවෙයි. ආණ්ඩුව පටන් ගත්තු දවසේ ඉඳලම අපට මේ වගේ කුඩම්මාගේ සැලකිලිවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි හිතුවේ මේවා ඒ ඒ පුද්ගලයන්ගේ ආසනයේ දේශපාලනය හින්දා ඇතිවෙන ප‍්‍රශ්න කියලා. නමුත් දැන් අපිට පැහැදිලියි මේවා ඔක්කොම ඒ ප‍්‍රශ්න නිසා පැන නැගුනු ඒවා නොවෙයි කියලා. සමහරුන්ට ඕන අපිව මේ දේශපාලන ප‍්‍රවාහයෙන් තල්ලූ කරල එළියටම දාන්න. හැබැයි අපේ මන්ත‍්‍රීවරු එහෙම එළියට තල්ලූ කරල දැම්මොත් මොකද වෙන්නේ කියලා ඒ අයට පැහැදිලි කල්පනාවක් නෑ…”

”මම හිතන්නේ අපි ජනාධිපතිතුමා සමඟ මේ ගැන කතා කළා… අගමැති තුමා සමඟත් කතා කළා. ඒත් නිසි විසඳුමක් ලැබුණේ නෑ.”

”ආණ්ඩුව ඇතුළේ සමහරු තර්ක කරනවා රට පුරාම මේ දිනවල පවතින ගොවි උද්ඝෝෂණ අපේ මැදිහත්වීමෙන් සංවිධානය වෙනවා කියලා.”

ඒ ප‍්‍රශ්නය ගැන මෛත‍්‍රීපාල සිරිසේන කතා කළේය.

”දැන් පොලොන්නරුව ගත්තාම පොලොන්නරුවේ වී වගාකරන ගොවියෝ කවුද කියලා කවුරුත් දන්නවා. ඔය මිනිස්සුන්ගේ දේශපාලනය මොකක්ද කියලා කවුරුත් දන්නවා. ඔය ජේවීපී කාරයෙක් හරි වෙන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මහලොකුවට කතා පවත්වලා ඒ උද්ඝෝෂණවල අයිතිය තමන්ට පවරා ගන්න උත්සාහ කළත් උද්ඝෝෂණවල ඉන්න මිනිස්සු දැක්කම පේනවා ඔක්කොම ජේවීපී නෙමෙයි කියලා. එතන වැඩිපුර ඉන්නේ ශ‍්‍රී ලංකා කාරයෝ හා පොහොට්ටුවේ මිනිස්සු. සමහරවිට වැඩිපුරම ක‍්‍රියාකාරීව ඉන්නේ අපිට උදව් කරපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොවියෝ වෙන්න පුළුවන්. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් දැක්කම තමයි උද්ඝෝෂණ මෙහෙයවන්න ශ‍්‍රී ලංකාකාරයෝ කියලා මෙයාලා චෝදනා කරන්නේ.

රොෂාන් රණසිංහ නොදන්නවාට මම දන්නවා ඔතන පොහොට්ටුවේ ක‍්‍රියාකාරිකයොත් ඉන්නවා. ඉතින් ගොවියෝ හැටියට ඒ මිනිස්සුන්ට සැබෑ ප‍්‍රශ්නයක් තියෙනකොට උද්ඝෝෂණය කරනවා තමයි…” මෛත‍්‍රීපාල සිරිසේන තත්ත්වය පැහැදිලි කළේය.

”රොෂාන් රණසිංහ ඕනවට වඩා කලබල වුණේ ඔය ප‍්‍රශ්නයටත් වඩා ඔබතුමාගේ පුතා දේශපාලනයට ආපු එක ගැනයි. පොලොන්නරුවේ තරුණ බල මණ්ඩලයට දහම්ව පත් කරාට පස්සේ රොෂාන් හොඳටම පරල වුණා…”

හැමදාම අපි නිහඬව බලා ඉඳලා හරියන්නේ නෑ. දැන් අපි මේවට රොෂාන්ලාට උත්තර දෙන්න පටන් ගන්න ඕන… මන්ත‍්‍රීවරු කීහ.

මේ අයුරින් එදා පැය 3කට අධික කාලයක් මේ සාකච්ඡාව පැවැත්විනි. සාකච්ඡාව අතරතුර මන්ත‍්‍රීවරුන්ට සප්පායම් වන්නට පාන වර්ග හා රස මසවුළු ද පැජට් පාරේ නිවස තුළ සූදානම් කර තිබීම විශේෂත්වයක් විය.

තරුණයන්ට පක්ෂෙ දෙන්න
රනිල් දැන් කැමතියිලූ

පසුගිය සතිය තුළ විපක්ෂයේ දේශපාලනය ද කැපී පෙනෙන භූමිකාවක් ඉටුකළ බව රහසක් නොවේ. එක් පැත්තකින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ පක්ෂය නඟා සිටුවීමේ වැඩ කටයුතු රුවන් විජේවර්ධන පාලිත රංගේ බණ්ඩාර ඇතුළු පිරිස සමඟ එක්වෙමින් සංවිධානය කරන්නට විය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු දේශපාලනඥයින් බොහෝ දෙනෙකු මෙහිදී ඔවුන් වෙත ඉදිරිපත් කළ අදහස වූයේ ඉදිරි මැතිවරණ වෙනුවෙන් වත් විපක්ෂය එකතු කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරන්නට කියාය. එහෙත් රනිල්, රුවන්, රංගේ ඇතුළු පිරිසට ප‍්‍රබල සමගි ජන බලවේගය හා එක්ව විපක්ෂය එක කඳවුරකට එකතු කරන කාර්යභාරය හිතන තරම් ලෙහෙසි පහසු කාර්යභාරයක් නොවීය.

මේ අතර රනිල් වික‍්‍රමසිංහ පක්ෂය සමඟ කටයුතු කරන තරුණ නායකයින් කීපදෙනෙක් කොළඹ පස් වෙනි පටුමගේ පිහිටි තම නිවසට ගෙන්වා ගත්තේ විශේෂ සාකච්ඡාවක් සඳහාය.

”ලෝකෙම අද තරුණයන්ගේ අතට පත් වෙනවා. තාක්ෂණය දියුණු වෙනකොට තරුණ තරුණියන්ගේ හැකියාවක් වර්ධනය වෙනවා. ඒ මොකද හැම වෙලාම තරුණ තරුණියන් ලෝකෙ අලූත් වන තාක්ෂණය තමුන්ගේ බවට පරිවර්තනය කර ගන්න නිසා.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැමදාමත් තරුණයින්ට තැන දීපු පක්ෂයක්. මේ පාරත් මම අපේක්ෂා කරනවා අපේ පක්ෂයේ යාන්ත‍්‍රණය තරුණයන් අතටම බාර දෙන්න” රනිල් විස්තර කළේය.

ඉකුත් බ‍්‍රහස්පතින්දා නායකයා පාර්ලිමේන්තුව වෙත ගියේ එම සතියේ පාර්ලිමේන්තුව රැස්වූ පළමු දිනය එදින වූ නිසාවෙනි. මෙහිදී පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සමග පාර්ලිමේන්තු ලොබියේදී සුළු වේලාවක් කතා බහ කරන්නට ද නායකයාට අවස්ථාව උදාවිය.

”තෙල් මිල වැඩිවෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා. දැන් ඔබතුමා දිහාවට තමයි හැමෝගෙම ඇස් යොමු වෙන්නේ.” විපක්ෂ මන්ත‍්‍රීවරයෙක් කීවේ නායකයා දෙස බලමිනි.

”ආර්ථිකය ගොඩගන්න සැලසුමක් රටට ඉදිරිපත් කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය විතරයි. අපි කිව්වා අයි.එම්.එෆ්. එකට යන්න ගිහින් මේ ප‍්‍රශ්නය විසඳා ගන්න කියලා. නමුත් ආණ්ඩුව ඒකට අකමැති නම් කරන්න දෙයක් නෑ. ඉතිරි තීන්දුව තියෙන්නේ ජනතාවගේ අතේ.” නායකයා කීවේ මද සිනහවක් ද සහිතවය.

විපක්ෂ නායක, සමගි ජන බලවේගය නායක සජිත් පේ‍්‍රමදාස පසුගිය දිනවල දකුණු පළාතේ නගර කිහිපයකට ගොස් එම ප‍්‍රදේශවල ගොවිතැන් කරන ගොවියන් හමුවී ඔවුන්ගේ ගැටලූ ගැන කතාබහ කරන්නට කල්පනා කළේය.

එහිදී සජිත් මුලින්ම අම්බලන්ගොඩ මීටියාගොඩට පැමිණියේ කුරුඳු වගාකරුවන්ගේ ගැටලූ ගැන විමසන්නටය. ගයන්ත කරුණාතිලක, අම්බලන්ගොඩ ආසන සංවිධායක ආනන්ද අබේවික‍්‍රම ඇතුළු මන්ත‍්‍රීවරු කණ්ඩායමක් සමග එහි ගිය සජිත් බොහෝ වේලාවක් කුරුඳු වගාකරුවන් සමග සාකච්ඡා කරමින් සිටියේය.

‘‘පෝර නැතිව අපිට මේ වගාව කරගෙන යන්න බෑ” කුරුඳු වගාකරුවෝ පැවසූහ.

”ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ඇතුළු සියල්ල සර්ව සම්පූර්ණයි කියා වායු සමීකරණය කළ පාර්ලිමේන්තුව ඇතුලේ මැති ඇමැතිවරුන් කයිවාරු ගහනවා. මහපොළොව ඇතුලේ එය සත්‍යයක් නෙවෙයි” සජිත් කීවේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කරමිනි.

”අපි ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්නනවා” කුරුඳු වගාකරුවෝ පැවසූහ.

ගාල්ලේ සිට තිස්සමහාරාමයට ගොවීන් හමුවීමට ගිය සජිත් කොහොඹගහ පැළැස්ස ශ‍්‍රී සුබෝධාරාම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති පූජ්‍යපාද අත්බටුවේ හේමාලෝක නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහාසංඝරත්නය බැහැ දැක ආශිර්වාද ගෙන අනතුරුව ප‍්‍රදේශයේ ගොවි ගැටලූ විමසන ගොවි හදගැස්මට එක්වූයේ හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි, පළාත් සභා මන්ත‍්‍රී ලාල් චන්ද්‍ර මහතා ඇතුළු මහජන නියෝජිතයින් සමගය.

තිස්සමහාරාමයට ගිය සජිත් සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේදී පාක්ෂිකයින් හමුවිය. ඒ අතර පක්ෂ කාර්යාල කිහිපයක් විවෘත කිරීමට ද එක්විය.

ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව ජනතාව පෙළගස්වන ”පාලකයින් හිතුමතේ – ජනතාව හාමතේ” මැයෙන් විරෝධතා මාලාවක් ද ආරම්භ කළේය.

”ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොළ හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් සිටිනවා. අද වන විට ගමක් ගමක් පාසා ගෙයක් ගෙයක් පාසා නැති බැරිකමේ අඳෝනාව, ආර්ථික පීඩාවේ වේදනාව නැගෙමින් පවතිනවා” සජිත් කීවේය.

පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රැස්වුවත් ස ජ බ කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ සිකුරාදා උදෑසනය.

”දැන් පාස්පෝට් කන්තෝරුව ළඟ ලොකු පෝලිමක් හැමදාම තියෙනවා. තරුණයින් විශාල ලෙස රට හැරයමින් සිටිනවා. තරුණයින් පාස්පෝට් පෝලිමකට ඇදල දාපු ආණ්ඩුව තරුණ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටිනවා” සජිත් කීය.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment