දහම්සොඬ වස්තුව

109

ඉක්බිති දිනෙක මෙත්පලයාණෝ රජසුන හැරගිය පසු දිවි ගෙවනා වූ පුලතිසි නුවර තුමූ සරල අල්පේච්ඡු නිවහනෙහි සයන කුටියෙහි නිදිවැද සිටැ හිමිදිරියේමැ පිබිද මුව දෙවීම් ශරීර කෘත්‍යාදී පෙරයම් කටයුතු නිමා කොට වෑයාම පිණිස හඳිනා වූ ලිහිල සැට්ටයෙන් හා යටි කය වැසුම් පිණිස වූ ලිහිල කලසම් වස්ත‍්‍රයෙන් හා කෙළි පිණිස වූ පා වැසුමෙන් සැරහීී පෙර අංගනයට බසිනා’තරතුරේ තුමූ ස්වාමියා ඇතුළු ගෙයි සයනයෙහි සොයා නොදක්නේ සයන ක්ෂීර බඳුන ද සුරතෙහි දරාගෙනැ මෙත්පල් දේවිය ආලින්දයට පැමිණෙනුයේ නුදුරේ යන මෙත්පලයාණන් දැකැ,”ස්වාමීනී, නුඹ හිමිදිරියේම කොහි යෙත්දැ?’යි විමසූ කල්හි මෙත්පලයාණෝ, ”ශරීර සුවතා පිණිස පැරකුම් සයුරු ඉවුරට යන්නෙමි’යැයි පිළිවදන් දෙන්නාහ. ”තෙල සයන ක්ෂීර පානය පූගත්තේ නොවේදැ’යි දේවිය නැවැතැ ඇසූ කල්හි, ”පැරකුම් සයුරු තාවුල්ලේ මා මලණුවන්ගේ බොජුන්හලට වැද සයන ක්ෂීරපාන මතු නොව පාතරාසයද ගත හැක්කේයැ’යි ඇයට පිළිවදන් කොට මඟට බසිනුයේ පුලතිසි මහා සෘෂි පිළිමය සමීපයෙන් පැරකුම් සයුරු ඉවුරට සම්ප‍්‍රාප්තවැ මෑතින් පිහිටි මලනුවන් සතු හැරලියා බොජුන් හලෙහි හිමිදිරියේමැ පිසිනා වූ නේක විධ පාතරාසයෙන් හමනා වූ රස නහර පිනා යන්නා වූ ප‍්‍රනීත සුගන්ධයෙන් මුසපත්වැ ගොස් එදෙසට තැබූ පා යළි ආපසු ගෙනැ මඳක් කල්පනායෙහි සිටිනුයේ, ‘එක කුස හොත් මලනු වුවද මුහුට ගැති වීම නොමනායැ. ශරීර සුවතා වෑයාම නිම කොට නිවස්නයට වැද පාතරාසය අනුභව කළයුත්තේයැ’යි සිතා වෑ කණ්ඩිය මතට වැද දෑත් වනමින් සක්මන ආරම්භ කළාහුයැ. එසේ සක්මන අරඹා පිය සුඟක්වත් යාගත නොහැක්කේ මග අහුරා තුබූ දැවැන්ත අයෝමය හස්තියකු බඳු යන්ත‍්‍රයක් දැකැ මේ අසවල් මඟුලෙක්දැයි වටහාගත නොහී කල්පනා කරනුයේ, ‘කම්පනාව පහළ වූයේ දැන්යැ. මේ වනාහී රනසිහ අපතයා විසින් පැරකුම් සයුරු රළපනාව භක්ෂණය කරමින් සාදනා වූ වෑයාම මංපෙත ඉදිකෙරුම් වන්නේයැ’යි පසක් කොට මහත් වූ අවුලෙන් යුතුවැ, ‘මේ ගංකබරයා අද දිනයම අවුල් කෙළෙහියැ’යි වෑයාමය නවතා පෙරළා නිවස්නයට වැද ආලින්ද ගෘහයෙහි වූ සුව අසුනෙහි හිඳ කල්පනායෙහි නිමග්න වන්නාහුයැ.

දහම්සොඬ වස්තුව

මෙත්පල් දේවී තොමෝද දැසිදස්සන් නොමැති හෙයින් තුමූම පාතරාසය පේ කරනුයේ යම් කාරියක් පිණිසැ ගිනිහල්ගෙයි සිට පිට අංගනයට පැමිණෙනුයේ ආලින්ද ගෙයි සුව අසුනට වැදැ දෙපා ද අසුන පත්තෙහි හොවා මහත් වූ සිතිවිල්ලක ගැලී හිඳිනා සිය ස්වාමියා දැක ඇසිල්ලකට පෙර වෑයාම පිණිසැ නික්ම ගිය එතුමන් කෙසේ මෙතැන සිටීදැයි සිතාගත නොහී ආලින්දයට ගොඩව, ”ස්වාමීනී නුඹ වහන්සේ ගිය පයින්මැ පෙරළා පැමිණ සිටිනුයේ කිමෙක් හෙයින්දැ?’යි විමසනායැ. මෙත්පලයාණෝද මඳක් වේලා මුවින් නොබැණ සිට, ”දේවිය, තෙල රනසිහයා කරනා වූ නොපනත්කම් උහුලා සිටිය නොහැක්කේයැ. මා පා සෙවනේ දෙස්පළුව හැදෑරූ තෙල මූසිලයා යහපාලන සංක‍්‍රාන්ති සමයෙහි රජපසයන්ගේ සිත් දිනා මා උන් කෙරෙහි බිඳුවන ලද්දේයැ. ඉදින් මා කියනා දැයට වඩා උහු කියනා දෑ රජපසයන් අසනේයැ. කුමන ජඩ කටයුත්තක් කළද උහු හා ආරෝවක් නොමැත්තේයැ. කුමක් කරම්දැයි නොදනිම්යැ’යි මහත් වූ විස්සෝපයෙන් ප‍්‍රිය දේවිය හා පවසනායැ. එබස් ඇසූ දේවී තොමෝද මඳක් වේලා කල්පනායෙහි සිට, ”ස්වාමීනී, නොබව මැනව. අප දෙදෙන දිවි මගෙහි අගට පැමිණ ඇත්තේයැ. කළයුත්තේ තරුණ රණසිහයා හා සටන් වැදුමට උහුට වඩා යෞවනයකු යැවීමයැ’යි තුමූ නැණ පාමින් කියන්නීයැ. මෙත්පලයෝද, ”තී කියනා දැයෙහි සත්තක් නොමැත්තේම නැත්තේයැ. ඒ වතුදු කවරෙකු ඒ සඳහා හුරු කරම්දැයි සිතාගත නොහැක්කේයැ’යි කී කල්හි දේවිය, ”ඇයි ස්වාමීනී, අප පුත් දැහැමියා සිටියදී තව කවරෙක් කුමටදැ’යි තුමූ අබිප්පරාව හෙළිදක්වන්නීයැ. මෙත්පලයෝද භ‍්‍රමණ කොට අතහැරි සේ අන්දමන්දවැ, ”එනමුදු සොඳුර, පස් වසකින් සකළ මඤ්ඤංලන්තය සුඛිත හා මුදිත කොට රජසැප හැරපියා පුලතිසි නුවරට පෙරළා පැමිණ කෙත් සාමින් සරල දිවියක් ගෙවමියි ශපථ කොට, කුටුම්භ සංග‍්‍රහය යැයි රජපසයන්ට කෝචොක පා පැමිණි මා කෙසේ වස්ත‍්‍රයක් හැඳ මපුතු රාජ පාලනයට කැඳවම්දැ’යි අසනාහ. දේවී තොමෝ එබසට උරණවැ, ”අනේ නුඹ වහන්සේගේ ශපථයන් ගැන මට නොකිව මනායැ. මතට තිත තබන්නට ශපථ වූ නුඹ වහන්සේ අප දුහිතෘන්ට සොර රහසේ සුරා බල තල්පත් ලබා දුන්නෙහියැ. මරණ දණ්ඩන යළි පැනවිය යුතුයැයි ශපථ කොට අධම ඝාතකයෙකුට සමාව භජනය කෙළෙහියැ. රජසුන හැර දමා අල්පේච්ඡු දිවියක් ගෙවමැයි ශපථ කොට තෘෂ්ණා දල්වා රජසබයෙහි නිකංමැ නිකං මැටියෙක්වැ හිඳිනායැ. තවද කෝලම්පුර අටසිය කෙළක් වටනා…’ ආදී ලෙසින් දීර්ඝ නාමාවලියක් කියාගෙන යනුයේ මෙත්පලයෝ වහා පැනැ,”නවත්වාගනුව. මා ඒ සියලූ දෑ කරන ලද්දේ නුඹලා පිණිස යැයි තිට දැන් නොමතකවැ ඇත්තේයැ’යි කොවින් හා සොවින් පවසනායැ. එබසට ආවේග මැඩගත් දේවිය සිය ස්වාමියා අස්වසමින්, ”මා කියනුයේ දොසක් නොවන්නේය ස්වාමීනී, බලනු මැනව, රජපස පුතුන් සැම දෙස්පළුවට සපැමිණෙනා සේ අප පුතුද එසේ වීම කවර වරදෙක්දැ? උන් හා සම සුරුකම් අප පුතුටත් නොතිබේදැ?’ යි කියනුයේ මෙත්පලයාණන් මුව අයා සිටියදී, ”බලනු මැනැව. නුඹ වහන්සේ සුව ඇමැටිවැ සිටි කල්හි උත්තර සමුද්‍රාසන්න තීරයෙහි මපුතු සිය යහළුවන් හා කෙළිදෙළින් සිටියදී එක් රාජපොලාස නිලදරුවකුගේ පුත‍්‍රයකුගේ ඇඹණියකට හැඳිවත උනා පෙන්වූ තුමූ යහළුවකු ගැලවුම් පිණිසැ එකී නිලදරු පුත‍්‍රයාට පහර දී මැඩැ අභීතවැ මිත‍්‍ර සම්පත්තිය රක්නා ලද්දේයැ. තවදැ නුඹ වහන්සේ රාජප‍්‍රාප්තවැ සුළු කලෙකින් කෝලම්භපුර රාත‍්‍රී නැටුම්හලකට සිය අංගාරක්ෂකයන් හා වැදැ එතැන සිටියවුනට පහර කොට උන් මැඩ මහත් විකුම් පෑයේයැ. එසේ මපුතු සුරුවිරුකම්වලින් රජපස පුතුන් හා සම නොවේදැ? තවදැ නුඹ වහන්සේ මහරජාණන්වැ සිටි කල්හි මැදි වැද්දන්ගේ දොස් පරොස් මධ්‍යයේ දෑහිත සමුළු ආදී සියලූ රාජ තාන්ත‍්‍රික සැරි එකකුදු නෑර නුඹ වහන්සේගේ අතැඟිල්ලෙහි එල්ලී ගොස් එකී විශ්ව දෙස්පළුවෙහි නිපුන වූයෙහියැ. තවද…’ ආදී ලෙසින් පුත‍්‍රයාණන්ගේ සුරුකම් පවසනුයේ මෙත්පලයාණෝ නැගිට ඇතුළු ගෙට ගොස් වෑයාම සළු උනා නව පිළියෙන් සැරහෙනායැ. එදක්නා දේවිය එතුමන් කරා යනුයේ, ”නුඹ වහන්සේ කොහි යෙත්දැ? මා කී දෑ අසා උරණවැ ගියේදැ?’යි බියෙන් මෙන් අසන්නීයැ. මෙත්පලයාණෝද ”වහා පුතණුවන්ට හැඳ පැළැඳ මා සමග එවයි කියව’යි මගට බසිනුයේ දේවිය, ”කොතැනටද ස්වාමීනී?’ යි ඇසූ කල්හි, ”පුලතිසි බුද්ධි මණ්ඩපයේ පවත්නා යොවුන් බල මණ්ඩල රැස්වුමට. මා ඇරඹූ තැනින් ඇරඹුම පිණිසයැ’යි පවසාගෙනමැ පිටත්ව යන්නාහ.

නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment