සියනෙතුගම සිහිවටන ඵලකය / ප්‍රසන්න, සිය නිපැයුම් සමග

දෑස් නොපෙනෙන අයට වෙන් වූ ලංකාවේ එකම ගම

හැමෝම විවිධ කර්මාන්තවලට දක්ෂයෝ

ආයුර්වේද තෙරපිවරු සහ තෙරපිවරියෝ හයදෙනෙක්

කර්මාන්ත ගම්මානයක් කරන්නැයි ඉල්ලීමක්

තිස්සමහාරාම නගරයේ සිට කිලෝමීටර් 10ක් පමණ කතරගම දෙසට ගිය අපි, රන්මිහිතැන්න සිනමා ගම්මානය පසු කර, කන්දෙ විහාරය අසල මදක් නතර වුණෙමු. වැසි සමයේ ළා කොළ පැහැයෙන් සැරසී සිටින ගහ කොළ උදෑසන අරුණලු සමග සිනාසෙයි. හන්දියේ කුඩා තේ කඩයේ උණු.උණු ආප්ප තැම්බෙන සුවඳ, අප එදෙසට ඇදගත්තේ චුම්බක ආකර්ෂණයකින් මෙනි.

එහි හිඳගෙන, නිහඬව උණු ආප්ප රස විඳිමින් සිටි වැඩිහිටි කාන්තාවන් දෙදෙනා අසල සුදු සැරයටි දෙකකි. පසෙක තැබූ පැසෙහි වූ හඳුන්කූරු පෙට්ටිවලින් විහිඳුණු මිහිරි සුවඳ උණු ආප්ප සුවඳ හා තරග කළේය.

“වෙළෙඳාමේ යනව වගේ?”

දහසක් සිහින පිරුණු සියනෙතුගම
ඩබ්ලිව්. එම්. රෝහිත

අපේ කට හඬ ඇසුණු දෙසට ළයාන්විත සිනහවක් පෑ ඔවුහු, දැන හැඳින ගැනීමේ කෙටි අදහස් හුවමාරුවකින් පසු, තම ජීවිතවල එක් පැතිකඩක් අප හමුවේ හෙළි කළෝය.

“අපි මේව අරගෙන හැමදාම උදේට මඟට බහිනවා. ඒ ගමනට පොඩ්ඩක් හරි පේන කෙනෙක් ඉන්න ඕනා. නැත්නම් ඇස් පේන කෙනෙක්ව උදව්වට එක්කගෙන යන්න ඕනා. එක වතාවක් ගියපු දිහාට ආයෙම කාලෙකට යන්න බැහැ. හැමදාම එනව කියල මිනිස්සු දොස් කියනවා. දවසට කිලෝමීටර් ගාණක් ඇවිදිනවා. සමහර දවසට මඟ වියදමවත් හම්බ වෙන්නෙ නැහැ. වැහි කාලෙට ඉතින් හුළං තමයි. හොඳ දවසුත් තියෙනවා. හැමදාම හොඳ දවසක් වෙන්න කියල හිතාගෙන තමයි අපි මඟට බහින්නේ.”

සියනෙතුගම

ඔවුන්, ඒ අසලින් වැටී ඇති අතුරු මාවත දිගේ කිලෝමීටර් එකහමාරක පමණ දුරක් ගියවිට හමුවන ‘සියනෙතුගම’ පදිංචිකරුවන්ය. ඒ හමුවෙන් පැය බාගයකට පමණ පසුව අප සිටියේ, සියනෙතුගම ප්‍රේමදාස මල්ලවාරච්චි (අවු. 70) මහතාගේ නිවසේ දී ඒ ගමේ සුලමුල ගැන විස්තරයට සවන් දෙමිනි. ඔහු සියනෙතුගම දෘශ්‍යාබාධිත ප්‍රජා සංවර්ධන සමිතියේ ලේකම්වරයා ය. එහි සභාපතිවරයා වූ දඩල්ලගේ ප්‍රසන්න මහතා ද අප හා කතාබහට එක් විය.

“අපි මේ ගමේ පදිංචියට ආවේ 2018 දී. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සංවිධානයේ හම්බන්තොට ශාඛාවේ සභාපති නන්දසිරි වනිගසිංහ මහත්තයාගේ ඉල්ලීම මත, හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල දෘශ්‍යාබාධිත අයගේ පවුල් 29ක් තෝරලා, සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි අපට මේ ගම හදල දුන්නෙ. පර්චස් 15ක ඉඩමක හිමිකම සමග නිවසක්, විදුලිය, ජල පහසුකම් අපට තියෙනවා. ගමේ ඉන්න හැමෝම මොනව හරි කර්මාන්තයක නිරත වෙලා ස්වෝත්සාහයෙන් ජීවත් වෙන්න වෙර දරන අය. හැබැයි අපට විසඳගන්න ගැටලු ගොඩක් තියෙනවා.”

ප්‍රේමදාස මහතා පැවසූ පරිදි, ගමේ පදිංචි දෘශ්‍යාබාධිත නිවාසලාභීන් හැම කෙනෙක්ම කවර හෝ වෘත්තීය පුහුණුවක් ලැබූවන්ය. සමහරු වෘත්තීන් කිහිපයක නිපුණයන්ය. හඳුන්කූරු නිෂ්පාදනය, පාපිසි ගෙතීම, කොහු ඉදල් කර්මාන්තය, පොල්කටු හැඳි සෑදීම, සබන් කර්මාන්තය, රෙදි විවීම, පන් පැදුරු විවීම, දොදොල්, පැණි බුන්දි, පුහුල් දෝසි, කිරිටොෆි වැනි රසකැවිලි සහ බයිට් වර්ග සෑදීම ඒ අතර වෙයි.

අපූරු ජනහමුවක්

මේ කතාබහ සිදු වෙමින් පවතින අතරතුර මදකට සමුගෙන ගිය සභාපති ප්‍රසන්න පණිවිඩයක් ද රැගෙන යළි පැමිණියේය. “යමු,

ගමේ අය බුදු මැඳුරට රැස් වෙලා ඉන්නවා ඔයගොල්ලො මුණගැහෙන්න”

අප කතාබස් කරමින් සිටින අතරතුර ඔහු ගම පුරා ගොස් පණිවිඩය දී තිබිණි. ඔහු සුදු සැරයටිය රැගෙන ඉස්සර විය. අපි ඔහු පසුපසින් ඇවිද ගියෙමු. වැඩිහිටි, තරුණ, බාල මහලු බොහෝ පිරිසක් ගම මැදට වන්නට පිහිටි බුදු මැඳුරට රැස්ව උන්හ. චතුර කථිකයකු වූ කේ.එච්. ජයරත්න මහතා රැස්ව සිටි පිරිසට අප හඳුන්වා දුන්නේය. අපි රවුමට බිම ඉඳගෙන, ඔවුන්ගේ ජීවන තතු ද ගැටලු හා අනාගත අපේක්ෂාවන් ගැන ද කතා කළෙමු. සමිතියේ උප සභාපති කිංස්ලි කොඩිතුවක්කු, පොදු ගැටලු ගැන අපට පැහැදිලි කළේය.

“අපට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි, හැකියාවන් රැසක් තිබුණත් ඒ කර්මාන්ත කරගෙන යන්න පහසුකම් නැති එක. අමුද්‍රව්‍ය ගේන්න වියදමක් යනවා. ආයෙ නිෂ්පාදනය වෙළෙඳපොළට ගෙනියන්න වියදමක් යනවා. ඒ වැඩට තව අයගේ සහාය ඕන වෙනවා. ඒ ඔක්කොම විදයම් ගියාම අපට ලැබෙන ලාභයක් නැහැ. ආයෝජකයන් ඉදිරිපත් වෙලා අමුද්‍රව්‍ය ගෙනැත් දීලා නිෂ්පාදන අරගෙන යනවනම් ඒ කිසිම ගැටලුවක් මතුවෙන්නෙ නැහැ. අපේ නිෂ්පාදන අලවි කරන්න අපේම තැනක් ලැබෙනවනම් ඒත් හොඳයි.”

ප්‍රවාහන වියදම් ප්‍රශ්නය

ගමේ සිට ප්‍රධාන මාර්ගයට ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 150කි. යාම් ඊම් දෙකට 300කි. එතැන් සිට ආසන්නම නගරය වූ තිස්සමහාරාමයට බස් ගාස්තුව රු. 75කි. යාම් ඊම් දෙකට 150කි. සහායකයාටත් සමග 300කි. ඒ අනුව නගරයට ගොස් ඒමට ගමන් ගාස්තු පමණක් රු. 600ක් වැය වේ.

සුමනසීලි වනිගසිංහ පෙන්වා දුන්නේ හැමදාම තිස්සමහාරාමයට පමණක් ගොස් වෙළෙඳාම් කළ නොහැකි බවය. “අම්බළංතොටට, හම්බන්තොටට, කතරගමට යන්න වෙනවා. එතකොට තවත් වියදම් යනවා. සමහර දවසට මඟ වියදමත් පාඩුයි.”

ඇය දැනට පාපිසි ගෙතීමේ හා හඳුන්කූරු ව්‍යාපාරයේ නිරතව සිටියි. පාපිසි සඳහා රෙදිපටි රැගෙන එන්නේ මාතරින්. හඳුන්කූරු කොළඹින්. ඇය ඒවාට සුවඳ කවා, පැකට් කර, තොග සහ සිල්ලරට අලෙවි කරයි. ලියාපදිංචිය ද සහිතව කුරක්කන් පිටි ව්‍යාපාරයක් ඇය සාර්ථකව කරගෙන ගිය නමුත් කොරෝනා සමයේ ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපාරයට යෙදවීමට තිබූ ප්‍රාග්ධනය ක්ෂයව යෑම නිසා එය ඇනහිටි බව ඇය පැවසුවාය. දරුවන් සිවුදෙනකුගේ මවක වන ඇයගේ සැමියා ගසකින් වැටීම නිසා ආබාධිතව සිටියි. බාලම දරුවා කථනාබාධ සහිත වූවෙකි. විරැකියාවෙන් පෙළෙන වැඩිමල් දරුවන් ඉඳහිට කරන කුලී වැඩක් හැරුණුවිට, පවුලේ එකම ආදායම් මාර්ගය ඇගේ ස්වයං රැකියාවයි. “මාසයක ආදායම වගේම වියදමත් මෙච්චරක් කියල කියන්න බැහැ. වැස්ස කාලෙට කිසිම ආදායමක් නැහැ. කකුල් ගෙවෙනකල් ඇවිදලත් රුපියල් තුන්සීයක්වත් හොයාගන්න බැරි දවස් තියෙනවා.” ඇය පැවසුවාය.

කුසුමාවතී වික්‍රමසිංහ කරන්නේ ද පාපිසි විවීමය. පාපිස්සක් විවීමට දවසක් පමණ ගතවන අතර අමුද්‍රව්‍ය මිල අයින් කළවිට ඇයට ලැබෙන්නේ ඉතා සුළු ලාභයකි. ඇය ගමට පැමිණෙන අමුත්තන්ට ඒවා අලවි කරයි.

ආයුර්වේද සම්බාහන ශිල්පය

ඔවුන්ගෙන් හත්අට දෙනකුවත් ආයුර්වේද සම්බාහනය පිළිබඳ වෘත්තීය පුහුණුවක් ලබාසිටිති. තංගල්ලේ නව ජීවන ආයතනයේ මැදිහත්වීමෙන් තෙමසක පුහුණුවක් සම්පූර්ණ කර, සහතික ලත් තෙරපිවරුන් හා තෙරපිවරියන් වූ ඔවුන්ගෙන් ඇතැමෙක් එම වෘත්තියෙහි නිරතව සිටිති. ගමේ සුබසාධක සංගමයේ සභාපති ප්‍රසන්න ද එම පුහුණුව ලැබූවන්ගෙන් කෙනෙකි. වසන්තා කුමාරි ඒ ගැන වැඩිදුරටත් විස්තර කළාය.

“අපි 2020 දී අටදෙනකුගේ කණ්ඩායමක් මේ පාඨමාලාවට සම්බන්ධ වුණා. මාස 6ක පුහුණුවක් මාස 3ක දී සම්පූර්ණ කරන්න අපට අවස්ථාව ලැබුණා. කණ්ඩායමෙන් 6දෙනෙක් පුහුණුව සම්පූර්ණ කරලා සහතික ගත්තා. මම ඊට අමතරව, 2022 දී කොළඹ කොරියානු උපදේශකවරයකු යටතේ කොරියානු සම්බාහනය ගැනත් මාස 2ක පුහුණුවක් ලබල තියෙනවා. දේශීය වෛද්‍යවරයකුගේ සායනයක කාලයක් වැඩ කරලත් තියෙනවා. දැන් තනියම වැඩ කරනවා. අවශ්‍ය පහසුකම් සහ තැනක් තියනවනම්, මේ වෘත්තියෙන් හොඳ ආදායමක් ලබන්න පුළුවන්.”

ආයුර්වේද වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව ලබාදෙන විවිධ මට්ටමේ සම්බාහනයන් සඳහා විවිධ මිල ගණන් අය කරන බවත්, සාමාන්‍යයෙන් රු. 6,000ක් පමණ අය කරන පූර්ණ සම්බාහනයක් (Full body massage) රු. 3500.4000ක් වැනි මිලකට ලබාදිය හැකි බවත් ඇය පැවසුවාය. ඔවුන්ට තිස්සමහාරාම, කතරගම හෝ වෙනත් නගරයක පහසුකම් සහිත සම්බාහන මධ්‍යස්ථානයක් හා ප්‍රවාහන පහසුකම් සපයා දියහැකිනම්, එය සංචාරක ආකර්ෂණය දිනාගත හැකි කදිම ආයෝජනයකි.

පොදු ගැටලු හා විසඳුම්

දහසක් සිහින පිරුණු සියනෙතුගම

හැමෝට ම කියන්නට කතාවක් තිබිණි. හැමෝටම, තමන්ගේ නිවෙස්වලට අප කැඳවාගෙන ගොස් සිය නිෂ්පාදන හා ඒවා කරන හැටි පෙන්වීමට වුවමනා විය. අපි එය ඊළඟ අදියරට තබා, පොදු ගැටලු සහ ඒවාට ඔවුන් යෝජනා කරන විසඳුම් පිළිබඳව ඔවුන්ගෙන් ඇසුවෙමු. ඔවුන් අතරින් මතු වූ අපූරු අදහස් හා යෝජනා රැසකි.

පළමු යෝජනාව, විවිධ නිෂ්පාදන සඳහා දක්ෂතා හා පුහුණුව සහිත අයට අවශ්‍ය ප්‍රාග්ධනය හා යටිතල පහසුකම් සලසා සියනෙතුගම නිෂ්පාදන ගම්මානයක් ලෙස වැඩිදියුණු කිරීමයි. එවිට අමුද්‍රව්‍ය ප්‍රවාහන වියදම් සාමූහිකව දරාගතහැකි වන අතර, නිෂ්පාදන අලෙවිය සඳහා විවිධ තැන්වලට රැගෙන යනු වෙනුවට වෙළෙඳුන් ගමට ගෙන්වා ගතහැකි වනු ඇත. දෙවන යෝජනාව සිය නිෂ්පාදන සඳහා ම වෙන් වූ වෙළෙඳපොළක් ලබාගැනීමයි. ඔවුන්ගේ ගම්මානයට නුදුරු කාවන්තිස්සපුර, බෝගහපැලැස්සේ තිස්ස ප්‍රාදේශීය සභාවෙන් ඉදිකළ කඩ පෙළක් තිබෙන බවත්, ඉන් යම් කඩ ප්‍රමාණයක් තම නිෂ්පාදන අලෙවිය සඳහා ලබාදිය හැකිනම් හොඳ විසඳුමක් වනු ඇති බවත් ඔවුහු පැවසූහ.

තෙවන යෝජනාව, නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කරන අතරම, ගම තුළ ම අලෙවි සැලක් හා සේවා මධ්‍යස්ථානයක් ඉදිකිරීමයි. කතරගමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් යම් පිරිසක් ගමට ගෙන්වා ගතහැකි වෙතොත්, ඔවුන්ට ආහාරපාන ලබාගැනීමට, විවේක ගැනීමට, සම්බාහන සේවා ලබාගැනීමට, සිය නිෂ්පාදන මිලදී ගැනීමට මෙන්ම විවිධ නිෂ්පාදන සිදු කෙරෙන ආකාරය දැක බලා ගැනීමට හැකි වන බවත්, එමගින් ගමේම සිට හොඳ ආදායමක් ලබාගැනීමට තමන්ට අවස්ථාව සැලසෙන බවත් ඔවුන්ගේ අදහසයි.

සතුට දෙන්න අපට පුළුවන්

“සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන් ගොඩක් අය ගමේ ඉන්නවා. අපිට පුළුවන් එන අමුත්තන්ව සතුටු කරන්න. අපට සංගීත භාණ්ඩ ටිකක් ලැබෙනවනම් අපූරු සංගීත කණ්ඩායමක් හදන්නත් පුළුවන්” ඔවුන් අතරින් තවත් අපූරු අදහසක් ඉදිරිපත් විය. එතෙකින් නොනැවතී, ඔවුන් අතරින් සුගත් ජයවීර සහ සුනීතා ජයලත් අප හමුවේ මධුර සරින් ගී ගයා ඒ බව තහවුරු කළෝය.

ගී පද රචකයකු, තනු නිර්මාපකයකු මෙන්ම ගායකයකුද වන ප්‍රේමදාස මල්ලවාරච්චි (ලේකම්) පැවසුවේ, තබ්ලාවක්, ඩොල්කියක්, සර්පිනාවක්, වයලීනයක් සහ බටනළා කට්ටලයක් ලැබුණොත් සංගීත කණ්ඩායම පුහුණු කිරීමේ හා මෙහෙය වීමේ වගකීම තමන්ට දැරිය හැකි බවය.

ඔවුන්ගෙන් පළ වූයේ මුළු දවසම වුවද ඒ සංවාදය ගෙන යෑමට තරම් උද්‍යෝගයකි. දිගු කලක් තිස්සේ විවිධ අරමුණු සඳහා ලංකාවේ ගම්මාන බොහෝ ගණනක සංචාරය කර ඇති අපට මෙතරම් සංවිධානාත්මක හා එකමුතු ගමක් මුණගැසී නැත. ඔවුන්ගේ යෝජනා සඵල වෙතොත්, එහි සංචාරය කරන්නන්ට නිෂ්පාදන ගම්මානයක අත්දැකීම විඳගැනීමට මෙන්ම ගමක් සාමූහිකව නැඟී සිටින්නේ කෙසේ දැයි අධ්‍යයනය කිරීමට ද එය කදිම තෝතැන්නක් වනු ඇතැයි අපට සිතිණි.

මෙතරම් නිර්මාණශීලී අදහස් ඇති අධිෂ්ඨානශීලී පුරවැසියන් වන ඔවුන්ට එම අදහස් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසා දීම රජයක යුතුකම හා වගකීම නොවේ ද?

විශාඛා වේහැල්ල


advertistmentadvertistment