ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව තුළ ෆ්‍රී ෂූට් එකක් කිරීමේ සිද්ධියක් පිළිබඳව විවාහ ගිවිස ගත් යුවළක් සම්බන්ධයෙන් දළදා මාලිගාව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මේ වනවිට සමාජ මාධ්‍යයේද දැඩි කතාබහක් ඇතිව තිබෙන මෙම සිද්ධියේදී දළදා මැඳුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන රැසක මෙම යුවළ ඡායාරූපවලට පෙනී සිට ඇත.
ශ්‍රී දළදා මාලිගාව තුළ මේ ආකාර සිදුවීමක් වී තිබෙන බව තමන්ට ද දැන ගන්නට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමක් කළ බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීය.
අදාළ යුවළ අද (09දා) මහනුවරට කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දළදා සමිඳුන් වැඩවාසය කරන දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානයක මේ ආකාරයෙන් ෆ්‍රී ෂූට් කිරීමට ඉඩ දීමෙන් ඉදිරියේදී තවත් අය එවැනි කටයුතු සඳහා දළදා මැඳුරට පැමිණෙනු ඇතැයි බෞද්ධ ජනතාව පවසති.
සමන්ති වීරසේකර