දැඩිගම නාමය භාවිත කිරීම වළක්වමින් මහනුවර පෞද්ගලික සමාගමකට වාරණ නියෝගයක්

359

ජනතාව මුලා කරමින් ‘දැඩිගම’ නම භාවිත කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරත යැයි කියන මහනුවර පෞද්ගලික සමාගමකට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ. පී. ප්‍රනාන්දු මහතා ඊයේ (20දා) වාරණ නියෝගයක් නිකුත් කළේය.

දැඩිගම වෙළෙඳ ලකුණට සමාන නම් යොදා ගනිමින් අසාධාරණ තරඟයක නියැලීම වළක්වමින් මෙම වාරණය මහනුවර කටුගස්තොට, කුරුණෑගල පාරේ ඩී. ඒ. සී. පී. දැඩිගම උකස් පුද්ගලික සමාගමට නිකුත් කෙරිණි.

දැඩිගම උකස් මධ්‍යස්ථානය (Dedigama pawning centre), දැඩිගම රන් ණය මධ්‍යස්ථානය (Dedigama gold loan centre), දැඩිගම උකස්කරුවෝ (Dedigama pawn Brokers), යන නාමයන්ට සමාන නාමයන් භාවිත කිරීම, දැඩිගම වෙළෙඳ ලකුණ භාවිත කිරීම, දැඩිගම නමින් ප්‍රචාරය කිරීම, දැඩිගම නමින් නව වෙළෙඳසල් ආරම්භ කිරීම වළක්වමින් මෙම වාරණය නිකුත් කෙරිණි.

දෙහිවල පාර, මහරගම දැඩිගම ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් හා එහි සභාපති රංජන් මලින් දැඩිගම මහතා බුද්ධිමය දේපල පනත යටතේ පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කෙරිණි. සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකාර සමාගම දැඩිගම කෙරෙහි ජනතා විශ්වාසය හා කීර්ති නාමය භාවිත කරමින් ව්‍යාජ ව්‍යාපාරයක නිරතව සිටින බවය. විත්තිකරුවන් පැමිණිලිකරුවන්ගේ දැඩිගම නාමයට සමාන වෙළෙඳ ලකුණක් භාවිත කරමින් එම වෙළෙඳ ලකුණ ඇතුළත ජනතාවට නොපෙනෙන අයුරින් ඩී. ඒ. සී. පී. අකුරු හතර යොදමින් අසාධාරණ තරඟයක නිරත වන බවද නීතිඥවරයා පැවසීය.

1950 ආරම්භ කළ දැඩිගම ගෲප් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව පුරා ශාඛා 281 ක් ස්ථාපිත කර ඇති බවත් විත්තිකරු එම ජනප්‍රියතාව ව්‍යාජව භාවිත කරමින් සිටින බවත් පැවසූ නීතිඥවරයා 2023 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතේ 144 වගන්තිය ප්‍රකාරව මෙය නීති විරෝධී ක්‍රියාවක් බවත් එම පනතේ 121 වගන්තිය සහ 160 වගන්තිය යටතේ අසාධාරණ හා ජනතාව නොමග යවන සුළු ක්‍රියාවක් බවත් කියා සිටියේය.

එහෙයින් ජනතා විශ්වාසය දිනූ පැමිණිලිකරුගේ කීර්ති නාමය උපයෝගී කරගනිමින් වෙළෙඳ කටයුතුවල නිරතවීම වළක්වන වාරණ නියෝගයක් හා අතුරු තහනම් දැන්වීම් නොතිසි විත්තිකරුට නිකුත් කරන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය. පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර සමාගමට වාරණ නියෝගයක් පනවමින් ලබන 29 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කරමින් අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කළේය. පැමිණිකාර සමාගම වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා සමග නීතිඥ චමත්කා ද සිල්වා මෙනෙවිය සහ නීතිඥ ලක්ෂණි මෙනෙවිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment