දැන්ම දරුවන් ගැන හිතන්න – ආදරණීය දෙමව්පියන්ගේ අවධානයට…

478

පාසල් යන 6 ශ්‍රේණියේ සිට ඉහළ විවිධ වයස්වල දරුවන් බොහෝ දෙනකු ප්‍රචණ්ඩත්වයට ගොදුරුවී සිටින බව ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ මනෝ විද්‍යා වෛද්‍යතුමකු වන රූමි රූබන් මහතා පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණි. දෙමව්පියන් විසින් එම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා රැගෙන එන දරුවන් ආවේගශීලීව දෙමව්පියන්ට ඇහුම්කන් නොදෙන ප්‍රමාණය වැඩිවෙමින් පවතින බව සඳහන් කරන ලදි.

● ප්‍රචණ්ඩත්වය වර්ධනය වීම

මෙම කනගාටුදායක පුවත දකුණු පළාතට පමණක් සීමාවූවක් නොවේ. දිනපතා පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය තුළින් දකින්නට සහ අසන්නට ලැබෙන දරුවන් සම්බන්ධ පුවත්වලින් ද එය සනාථ වෙමින් පවතී. ප්‍රචණ්ඩකාරීව හැසිරෙන දරුවන් සිය දෙමව්පියන්ට, ගුරුභවතුන්ට සහ වැඩිහිටියන්ට ඇහුම්කන් නොදෙන ආවේගශීලීව හැසිරෙන දරුවන්ගේ ප්‍රමාණය වර්ධනය වේ නම් එය අනාගත සාමකාමී, නීතිගරුක, විනීත සමාජ සංවර්ධනයට බෙහෙවින් බලපාන ශෝකාකූල තත්ත්වයකි.

● පිරිහෙන වර්තමාන සමාජය

රට තුළ දැනට වර්ධනය වෙමින් පවතින ගැටලු අතරින් අනාගත සමාජයේ මානව සංවර්ධනයේ පරිහානියට බලාපන මෙම ගැටලුව පිළිබඳව මෙතෙක් දැඩි අවධානයකට යොමු නොවීම අවාසනාවකි. දැනට විවිධ කතිකාවත් සහ ව්‍යාපෘතිවල ප්‍රධාන ස්ථානයක් හිමිවී ඇත්තේ ආර්ථික හා දේශපාලන ප්‍රශ්න කෙරෙහිය. එහෙත් රටකට ඉතාම වැදගත් ම අවශ්‍යතාවයකි ආර්ථික සංවර්ධනය. කුසගින්නේ සිටින ජනතාවක් කිසිදා සාමකාමී ජනතාවක් නොවන බැවිනි. එහෙත් ඒ හා සමානව ප්‍රචණ්ඩකාරී සමාජයක් අනාගත සමාජය තුළ වර්ධනය වුවහොත් එය මොනතරම් අවාසනාවක් ද?

● වැඩි අවධානයක්

එම නිසා මෙම ගැටලුව එතරම් සුළුකොට සැලකිය යුත්තක් නොවේ. දීර්ඝ ඉතිහාසයක් පවතින බෞද්ධ සංස්කෘතියෙන් පෝෂිත අභිමානවත් ශ්‍රී ලංකාවට මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ නම් ඒ පිළිබඳව දෙමාපියන්ට අනතුරු ඇඟවීමක් කිරීම මේ ලිපියේ එක් අරමුණකි. වර්තමාන දෙමාපියන් වියපත් වූ දිනක ඒ පිරිසට මුහුණදීමට සිදුවන්නේ කෙතරම් ශෝකජනක තත්ත්වයකට ද? විවිධ දුෂ්කරතා විඳිමින් අද උපයන සියලුම මුදල් වැය කරමින් දරුවන්ට ඉගැන්වීමට උත්සාහ කරන වැඩි පිරිසකට අනාගතයේ මුහුණ දීමට සිදුවන අභාග්‍ය සම්පන්න තත්ත්වය පිළිබඳව කල්තියාම අවබෝධයෙන් කටයුතු කිරීම, අප හැමදෙනාගේ ම වගකීමකි. මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වයට විසඳුම් සෙවීම අප විසින් ම කරගත යුත්තකි. නොසිතූ විරූ අවදානම් තත්ත්වයක් ඇතිවීමට බොහෝ විට ඉඩකඩ පවතී. ඒ නිසා ඒ පිළිබඳව කුමක් කරන්නේ ද? යන්න කල් තියා සිතාබැලීමට උචිත කාලය පැමිණ ඇත. එම නිසා තම දරුවන් මෙන්ම වටපිටාවේ සිටින අනෙකුත් දරුවන්ගේ ප්‍රචණ්ඩත්වය පිළිබඳව යම් අවබෝධයකින් සිටීම වැදගත් වේ.

● මානව ගුණධර්ම ප්‍රවර්ධනය කිරීම

මෙවැනි තත්ත්වයකට අප රට පත්වෙමින් පවතින්නේ ඇයි? මේ සම්බන්ධයෙන් විශ්‍රාමික පරිපාලන සේවයේ ලේකම්වරු, විශ්වවිද්‍යාල මහාචාර්යවරු, විවිධ ක්‍ෂේත්‍රවල විද්වතුන් සහ ගරුතර භික්‍ෂූන් වහන්සේලා නියෝජනය වන පරිදි සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පිරිහෙන මානව ගුණධර්ම ප්‍රවර්ධනය කිරීමේ සංවිධනයක් පිහිටුවා ඇත.

● දරුවන් තුළ ප්‍රචණ්ඩත්වය වැඩිවීමට හේතු

එම සංවිධානයේ අධ්‍යයනයක් අනුව දැනට අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව ප්‍රධාන කරුණු අතරින් කිහිපයක් සඳහන් කළ යුතුය. ගෙදර සහ අවටින් දරුවන්ට ලැබෙන නරක ආදර්ශයන්, රූපවාහිනී නාලිකාවලින් විසුරුවා හරින ඇතැම් වැඩසටහන් දරුවන් කෙරෙහි අයහපත් ආදර්ශයන් දෙඇසින් දැකගැනීමට ලැබීම, ජංගම දුරකථන භාවිතයට හුරුවීම සහ ඒවායේ ඇතුළත් ඇතැම් ක්‍රීඩා මෙන්ම විශේෂයෙන්ම දරුවා හැදීවැඩෙන පරිසරය කෙතෙක් දුරට යහපත් ද? විශේෂයෙන් බොරුකීම, වංචාව, දූෂණය, නීතිගරුක නොවීම, සාමකාමී නොවීම, අන්‍යයන්ට හිරිහැර කිරීම් ආදී විවිධ මානව විරෝධී ක්‍රියාවන්වලින් දරුවන්ට ලැබෙන නරක ආදර්ශ සහ ආභාෂයන් වර්තමාන දරුවන්ගේ ගුණධර්ම පිරිහී ප්‍රචණ්ඩත්වය වැඩිවීමට හේතුවී ඇත. එහෙයින් සියලුදෙනාම මෙම ක්‍රියාදාමයට එකමුතුව කඩිනමින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය.

● අධික මානසික පීඩනය

මෙයට අමතරව පාසල් අධ්‍යාපනය මුළුමනින් ම විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් නිසා වයස අවුරුදු 03 සිටම ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය සඳහා පාසලෙන් ලබන අධ්‍යාපනයට අමතරව උපකාරක පංති යෑමට දරුවාට දවසේ වැඩි පැය ගාණක් මිඩංගු කිරීමට සිදුවී ඇත. අනතුරුව ගෙදර පැමිණෙන දරුවාට පංතියෙන් පවරන ලද එදිනෙදා පැවරුම් ආශ්‍රිත ක්‍රියාකාරකම් කිරීම සඳහා ද සෑහෙන වෙහෙසක් සහ වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ. මේ නිසා නිරන්තරයෙන් ම දරුවන්ට අඛණ්ඩව දිනකට වැඩිම කාලයක් අධ්‍යාපන ක්‍රියාවලිය සඳහාම මිඩංගු කිරීමට සිදුවේ. ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය විද්‍යාල දෙකකම කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ එක දිගටම මනස වෙහෙසීමට සිදුවීම නිසා දරුවන් දරුණු ලෙස මානසික පීඩනයට ලක්වන නිසා දරුවන් ප්‍රචණ්ඩත්වයට පත්වන බවයි. එම නිසා මනස එක දිගටම වෙහෙසට පත්නොවන ආකාරයට මනසට වරින්වර විවේකයක් ලබාදීම අවශ්‍ය බවත් එසේ වුවහොත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රබෝධමත් සැහැල්ලු මනසක් දරුවන් තුළ වර්ධනය වන බව පැහැදිලි කර දෙයි. එහෙයින් දරුවන්ට අධික කායික හා මානසික වෙහෙසට පත්වන ආකාරයට යොමු කිරීමෙන් වළකා ගැනීමට නම් සියලුදෙනා විසින් ම ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළ යුතුය.

● ජංගම දුරකථන අවභාවිතය

එසේම ජංගම දුකරථනවලට ඇබ්බැහි වී සිටින දරුවන් එකවරම එයින් බැහැර කරගැනීම අපහසු වේ. එහෙයින් දරුවන්ට ධනාත්මක චින්තනයට උචිත යහපත් මානව ගුණධර්ම සියුම් ලෙස දරුවන්ගේ සිත තුළ ජනිත කරවීම සඳහා youtube නාලිකාවක් සහ නිතරදෙවේලේ යහගුණයෙන් ජීවත්වීමට අදාළ කරුණු ඉතාම ලිහිල්ව ප්‍රියජනක ලෙස ළමා සිත් තුළ තැන්පත් කිරිම සඳහා සුමග නමින් ළමා පත්තරයක් ද මුද්‍රණය කර ප්‍රකාශයට පත්කිරීමට මානව ගුණධර්ම ප්‍රවර්ධනය කිරීමේ සංවිධානය පියවර ගෙන ඇත. දැනට එය සහනදායී මිලකට මාස දෙකකට වරක් ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන ඇති බව සතුටින් සඳහන් කළ යුතුය. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැනගැනීමටත් තම දරුවන් දැඩි මානසික පීඩනයෙන් බේරා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳ උපදෙස් ලබාදීමට මානව ගුණධර්ම ප්‍රවර්ධනය කිරීමේ සංවිධානය දැනටම සැලසුම් සකස් කරමින් සිටී.

සරත්චන්ද්‍ර ජයවර්ධන
විධායක ලේකම්.
මානව ගුණධර්ම ප්‍රවර්ධනය කිරීමේ සංවිධානය

advertistmentadvertistment
advertistmentadvertistment