දැන් අරගලය ඉවරද? අරගලකරුවන් පිළිතුරු දෙයි…

728

අරගල භූමිය විවිධ මත දරන්නන්ගෙන් පිරුණකි. දින සියයකට ආසන්න කාලයක් එය ගලා පැමිණියේ සංවාද විසංවාද තුළින් බව අපි දුටුවෙමු. ඒ සියල්ල හමුවේ ගෝල්ෆේස් අරගලය මුළු රටේම අරගලකරුවන් එකට එක් කළ සටන් පාඨය වූයේ “ගෝඨා ගෝ හෝම්” යන්නයි. එම අරමුණ පෙරදැරිව ලියලා වැඩුණු අරගලය දැවැන්ත සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණයකට හේතු වන යෝජනා වටා එකතුව රාජ්‍ය මර්දනයේ කූට උපක්‍රම තාඩන පීඩනවලට ලක්ව නොවැටී ඉදිරියට ඇදිණි. දැන් එම ජන අරගලයේ ප්‍රමුඛ සටන් පාඨයන් ජයග්‍රහණයේ අභියසට ළඟා වෙමින් තිබේ. තුනෙන් දෙකක ජන වරමක් ලබා ගෙන බලයට පැමිණි පාලක පන්තියක් ජනතා අභිලාශයන් නොසලා හැරීම හමුවේ එහි ආදීනව විඳිමින් සිටිති. එක් අතකට එය මේ රටේ අනාගත දේශපාලනයේ හැඩතල කෙසේ වෙනස් විය යුතුද යන්නට ඉඟි කරන සංඥාවක් වැන්නකි. හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වන තැනට නොමැති නම් ධුරයෙන් පහකර දැමීමේ තැනට පිබිදුණු ජනතා විරෝධය එවැනි තැනකට පැමිණ තිබියදී දැන් එහි මුඛ්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීමත් සමග අරගලය අවසන් වේවිද? ගෝල්ෆේස් අරගලය වටා ගොඩනැගුණු ජනතා නැගිටීමේදී ජනගත කළ දේශපාලන ප්‍රතිසංස්කරණ දිනා ගැනීම දක්වා තවදුරටත් අරගලය දියත්වේවිද? රටක් එක තැනකට එක මතයක් වටා ගොණු කළ ගෝල්ෆේස් අරගලයේ ඉදිරිය කුමක්ද? ජන මනසේ ඇතිව තිබෙන මේ ගැටලු විසඳා ගැනීම සඳහා අපි ගෝල්ෆේස් අරගල බිමේ සිටින විවිධ කණ්ඩායම් නියෝජිතයන් කිහිපදෙනකුගේ අදහස් විමසීමු.

● අරගල ප්‍රචණ්ඩත්වය මැඩීමට හමුදාවට බලය පැවරීම

දැන් අරගලය ඉවරද? අරගලකරුවන් පිළිතුරු දෙයි…

එහිදී අපේ අවධානය යොමු වූයේ රාජ්‍ය දේපල සහ ජීවිත ආරක්ෂා කරගැනීම ශිර්ෂය යටතේ මේ වන විට යුද හමුදාවට බලය පැවරීම සම්බන්ධවය. හමුදාව විසින් අවස්ථාවට සරිලන පරිදි අරගලකරුවන් හමුවේ බලය පාවිච්චි කිරීමට මැලි නොවන බවත් එය අරගලකරුවන්ම දරා ගත යුතු බවත් නිවේදනය කිරීම සම්බන්ධව අරගලකරුවන් දරන මතය කුමක්දැයි තාරුණයේ ලේකම් ලහිරු වීරසේකරගෙන් විමසුවෙමු. ඊට ඔහුගේ පිළිතුර වූයේ…

“රාජ්‍ය දේපල හානි කිරීම සම්බන්ධව හමුදාවට බලතල ලබාදීමට කලිනුත් ගෝඨාභය ජනාධිපතිවරයා සිටියදීත් කළා. ඒක පරණ තුරුම්පුවක්. අපි දන්නවා රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසයේම ලියැවිලා තියෙන්නෙ මර්දනය සහ වධකාගාර එක්ක. අද දවස වෙද්දි ජනතාව අත්පත් කරගත්ත ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කර්යාලය සහ අරලියගහ මන්දිරය වැනි ස්ථානවලින් නිශ්චිත ඉවත් වීමක් අපි සිදු කළා. එවැනි දෙයක් සිදුවෙලා තියෙද්දි තමයි නැවත වතාවක් දේපල හානි කිරීම කියල හමුදාවට බලතල ලබාදෙන්නෙ. ඒක හරිම පැහැදිලියි. ගෝඨාභයගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත්වීම සම්බන්ධව ජනතාවගේ විරෝධයක් තියනවා. ඒ විරෝධය මැඬ පැවැත්වීමට තමයි මෙවැනි නීති රෙගුලාසි පනවන්නෙ කියල අපි දන්නවා. මොකද ඔහු ජනාධිපති වීම කියන්නෙ ජනතා අනුමැතියකින් තොරව සිදුවන දෙයක් කියල ඔවුනුත් දන්නවා. මේ හදන්නෙ ඒ නිසා කලින්ම නීති රෙගුලාසි ගෙනල්ලා ජනතාව බිය වැද්දවීමට. රටේ සිවිල් සමාජය සම්බන්ධව නීතිය කරන්න පොලීසිය තියෙද්දි එය ඉක්මවා ගොස් හමුදාවට බලතල දෙනවා කියන්නෙම මිල්ටරිකරණය යන භයානක තත්ත්වයක්. ඒත් එහෙම වුණා කියල අපේ අරගලය දශමයකින් හරි ආපස්සට යෑමක් හෝ අඩු වීමක් වෙන්නෙ නෑ යන්නයි.

කෙසේ වෙතත් මේ තත්ත්වය ඇතිවීමට ආසන්න හේතුව පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේදී අරගලයේ අවිහිංසාවාදී හැඩය යම් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගැනීමද? ඊට ගෝල්ෆේස් අරගලයේ අරගලකරුවන්ගේ දායකත්වයක් තිබේද? මේ ගැනද ඔහු මෙසේ පැහැදිලි කළේය.

“ මෙවැනි අරගලයක ස්වභාවය පාලකයන් අවබෝධ කරගත යුතුයි. ජූනි මාසේ නවය ඉඳන් මේ දක්වා සාමාන්‍ය ජනතාව වැල නොකැඩී කොළඹට එන්න ගත්තා. එවැනි සිදුවීම් ඇතිවිය හැකියි කියන එක ගැන පූර්ව නිගමනයක් නැති පාලකයෝ ද දැන් රට පාලනය කරන්නෙ. ඉතින් එහෙම අය නම් රට පාලනය කරන්නෙ මේගොල්ලන්ට බැහැල යන්න කියන්න වෙන හේතු ඕන නෑ. පාර්ලිමේන්තුව ගාව ඇති වුණ සිදුවීමටත් වග කියන්න ඕන එයාල. එවැනි සිදුවීමක් ඇති වීමට තත්ත්වය නිර්මාණය වෙන්නෙම ගෝඨාභය සහ රනිල් තමන්ගෙ ඉල්ලා අස්වීමේ ලිපි භාර නොදීම නිසා. ඒ නිසා එතෙන්ට ගිය අයගේ වැරැද්ද පටවන්න හරි අරගොල්ල ගියාද මෙයාල ගියාද කියන එක නෙමෙයි වැඩේ තියෙන්නෙ නිශ්චිතවම එවැනි නොසන්සුන්තාවක් ඇතිවීමට හේතු වුණේ ඉල්ලා අස්වීම දෙනවා කියල ගෝඨාභය රාජපක්ෂ එය ප්‍රමාද කිරීම. රනිල් වික්‍රමසිංහට ජනතාවත් ජනතා නියෝජිතයනුත් ඉල්ලා අස්වෙන්න කියද්දි ඔහුත් මේ ධුරයේ එල්ලීගෙන සිටීම. ඒ නිසා මේ සියල්ලටම වගකීම ඔවුන් දෙදෙනා භාරගත යුතුයි.” ඔහු පවසන්නේය.

● වැරැද්දක් නොවෙන අරගල තිබේද

“අරගලකරුවන්ට රජයේ ගොඩනැගිලි එක්ක කිසිදු ගැටලුවක් නෑ. ඒවායින් අයින් වෙන්න තීරණය කළෙත් ඒ නිසයි. ජූලි නව වැනිදා කොළඹට මිනිස්සු ඇවිත් කාර්යාල වට කරනවා කියන එක ප්‍රසිද්ධියේ කියපු ඒවා. එවැන්නක් නොසලකා තමන්ගේ බල පෙරේතකමට බලයේ රැඳිල හිටපු නිසා තමයි මොනවා හෝ දෙයක් ඒවාට සිදුවුණා නම් වුණේ. එතෙන්ට නොකඩවා ජනගඟක් ගැලුවා. හැබැයි මේ අරගලකරුවෝ තමයි එතෙන්ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එන්න අවස්ථාව හදල ඔවුන්ට ඒවා සංරක්ෂණය සඳහා සහයෝගය ලබාදුන්නෙ. මොකද අපි දන්නවා මේවා ජනතාවගේ දේවල්.” ලහිරු වීරසේකර වැඩිදුරටත් පවසන්නේය.

ගෝල්ෆේස් අරගලය සැබවින්ම කණ්ඩායමක් නායකයෙක් වෙන් කළ පෙන්විය හැකි අරගලයක් නොවේ. එය එක් අරමුණක් වෙනුවෙන් එකතු වූ විවිධ සිවිල් සංවිධාන, කණ්ඩායම්, වෘත්තීය සමිති, දේශපාල පක්ෂ මත දරන සාමාන්‍ය ජනතාව එකතුව පැන නැගුණු අරගලයකි. නමුත් මේ ජනතා නැගීටිම අරාබි වසන්තයක් හෝ ලිබියාවේ සිදු වූ පරිදි පොදු දේපල සහ පුද්ගල ජීවිත විශාල ගණනක් විනාශ කළ අරගලයක් නොවන බව අපි දුටුවෙමු. අරගලයකදි විශාල ජන ඒකරාශිවීමක් තුළ එම අරගලයට නායකත්වය දෙන පිරිසට සියල්ල තිතට පාලනය කළ හැකි අරගලයක් බලාපොරොත්තු වීම විහිළුවකි. ගෝල්ෆේස් අරගල බිමේ පවා විසංවාද තිබේ. ගෝල්ෆේස් අරගල බිමේ සර්වපාක්ෂික අරගල කරුවන්ගේ සංවිධානයේ ලේකම් වන්නේ සමිත බෝධිපක්ෂ ය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වීමත් සමග අරගලය නිමවේද යන ප්‍රශ්නයට ඔවුන්ගේ පිළිතුර වූයේ මෙයයි.

● ගෝල්ෆේස් පරිච්ඡේදය ඉවරද

දැන් අරගලය ඉවරද? අරගලකරුවන් පිළිතුරු දෙයි…

“සැබෑ අරගලය පටන්ගන්නෙ 13 පස්සෙ කියන තැන අපි ඉන්නෙ. අප්‍රේල් නවය ගෝල්ෆේස් අරගලය පටන්ගන්නකොට අපිට එකඟතා දෙකක් තිබුණා. ඒ තමයි “ගෝ හෝම් ගෝඨා” සහ ගෝ හෝම් රාජපක්ෂස්” කියන එක. අද දවස වෙද්දි ඒක ඉටුවෙලා තියනවා. අපි විශ්වාස කරනවා රාජපක්ෂවරු ඉවත්වීමත් එක්ක ගෝල්ෆේස් පරිච්ඡේදය නිමාවට පත්වෙනවා. ඒ කියන්නෙ මේ අර්බුදය සම්බන්ධයෙන් වන වීදියේ සටන් ඉවර වෙනවා. හැබැයි ඊළඟට අපිට තියෙනවා සමාජීය සහ දේශපාලන අරගලය. ඒ කියන්නෙ මේකෙ ඊළඟ පරිච්ඡේදය පටන්ගන්නවා. ඒක තනිකරම සමාජ විප්ලවයක් තුළින් ප්‍රතිසංස්කරණ කරන එක වැනි කාරණා තිබෙන්නෙ. අපි බලාපොරොත්තු වෙන ඒ නව්‍ය සමාජයක් ගොඩනැගීමට කොහොමද එය ව්‍යවස්ථාව අනුව කරගන්නෙ. ඒත් එක්කම දැන් පවතින ගෑස් ඉන්ධන පෝලිම් වැනි ආර්ථික ප්‍රශ්න කඩිනමින් විසඳගන්න අපේ දායකත්වය ලබා දෙන්නෙ කොහොමද. අපි හැම විටම විශ්වාස කරන්නෙ ව්‍යවස්ථානුකූල වෙනසක්. ජනාධිපති අයින් වුණා වගේම ඉතුරු දේවලුත් ව්‍යවස්ථානුකූලව සිදුවෙන්න ඕන. අපි මෙතනදි පුද්ගලයා කියන එක වැදගත් කොට සලකන්නෙ නෑ. අපි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක්. ඒක ඇතුලේ යම් නිශ්චිත කාලයක් තුළ ළඟා කර ගත යුතු යම් ඉලක්කයන් තියෙනවා. අන්න ඒ ඉලක්කයන් සපුරන ඒ වැඩ පිළිවෙළ අරන් යන්න පුළුවන් එකයි වැදගත්. ඒක කරන දැනට ව්‍යවස්ථාපිත මණ්ඩලයේ ඉන්න පුද්ගලයා කව්ද කියන එක අපිට වැදගත් නෑ. ඒක දැන් ව්‍යවස්ථානුකූලව හසුරුවාගෙන කරන්නෙ කොහොමද කියන එක එයාලට අයිති වැඩක්.” සර්ව පාක්ෂික අරගලකරුවන් කියන්නෙ එසේය.

● රනිල් විරෝධය

අරගලකරුවන් අතර සිටින කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරය හෙබවීම සම්බන්ධයෙන් විරෝධයක් දක්වන අවස්ථාවේදි සර්ව පාක්ෂික අරගලකරුවන් පුද්ගල චරිත නොසලකා හැරීමෙන් පෙනෙන්නෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට පැමිණියද ඊට ඔවුන්ගේ විරෝධයක් නොමැතිය යන්නද? අපි එම පැනයද කෙළින්ම ඔහුගෙන් ඇසුවෙමු.

“රනිල් වික්‍රමසිංහට වැඩබලන ජනාධිපති ලෙස දවස් හතක් දෙන එක අපිට ගැටලුවක් නෑ. නමුත් අපි මැයි නවයට පස්සෙ ගෙනාව සටන් පාඨයක් තියෙනවා ගෝඨා රනිල් ආණ්ඩුව ගෙදර යනු කියල. එතකොට ගෝඨාභය යද්දි රනිල්ට ඉන්න සාධාරණ අයිතියක් නෑ. මොකද ගෝඨාභය මීට කලින් ගෙදර යන්න ආසන්නව ඉද්දි ඒගොල්ලන්ට දේශපාලන හුස්ම නැවත ලබා දුන්නෙ රනිල් වික්‍රමසිංහ. අනික කිසිම ජනපදනමක් ඔහුට නෑ. ඔහු ජනතාව ප්‍රතික්ෂේප කළ කෙනෙක්. ඒ නිසා රනිල් වික්‍රමසිංහට කිසිදු අයිතියක් නෑ බලයේ ඉන්න. රනිල් වික්‍රමසිංහත් අයින් වෙලා යන්න ඕන. හැබැයි අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගන්න කන් දවස් හතක් ඔහු හිටියට කමක් නෑ. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වෙනවට අපි විරුද්ධයි. මොකද එයා මේ කාලය තුළ කරපු ප්‍රතිසංස්කරණයකුත් නෑ රාජපක්ෂලා රකිනවා හැරෙන්නට එයා කරපු දෙයකුත් නෑ. ඒ නිසා අපිට එයා විශ්වාසත් නෑ.” එසේ කීවේ සමිත බෝධිපක්ෂ ය.

අරගල බිම සවිමත් කළ තවත් හඬක් වන්නෙ සමාජවාදී තරුණ සංගමයයි. ගෝල්ෆේස් අරගලයේ ප්‍රමුඛ අරමුණ ඉටු වීමත් සමග අරගලය සඳහා ඔවුන්ගේ දායකත්වය මෙතැනින් නිමවේද? සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඒ පිළබඳ පවසන්නේ මෙවැන්නකි.

● දේශපාලන පරිවර්තනයක්

දැන් අරගලය ඉවරද? අරගලකරුවන් පිළිතුරු දෙයි…

“දැන් මාස තුනක් ඉඳන් ගෝල්ෆේස් එකේ විවිධ කණ්ඩායම් සටන් කරමින් ඉන්නවා. ලංකාවේ පළවෙනි වතාවට දැවැන්ත බලයක් අත්පත් කරගත්ත විධායක ජනාධිපතිවරයෙක් මේ වෙද්දි මේ රටේ සමස්ත ජනතාවගේ බලයෙන් ගෙදර යවල රටිනුත් පිටුවහල් වෙලා දේශපාලන සරණාගතයෙක් බවට පත්කරල තියෙනවා. අපේ ඒ අරමුණ ජයග්‍රහණය කළාට මෙතැනින් එහාට අපි දිනාගත යුතු ජයග්‍රහණ ගණනාවක් තියෙනවා. ඒ නිසා ජනතාවට කියන්නෙ මේ සටන තාම ඉවර නෑ. ඉවර වෙලා තියෙන්නෙ ගෝඨා ගෙදර යවල තියෙනවා. රනිල් යවන්න තියෙනවා. ජනතාවාදී පාලනයක් අපිට ගොඩනගා ගන්න තියෙනවා. ඒ නිසා ජනතාවාදී පාලනයක් ඇතිකරගන්නා තුරු මේ සටන අපි ඉස්සරහට අරන් යන්න තියෙනවා.” යැයි ඔහු අවධාරණය කරන්නේය.

නමුත් මේ සටන ඉදිරියට තවදුරටත් ගෙන යන්නේ කවර මුහුණුවරකින්ද? පාර්ලිමේන්තුව අසල සිදුවීම ආදරයේ අරගලය නමැති ජන අරගලයේ හැඩතල වෙනස් කර තිබෙනවා නේදැයි යන පැනය අපි ඔහුට යොමු කළෙමු.

“ගෝල්ෆේස් අරගලය කියන්නෙ නිශ්චිතව ගත්තොත් ඒක නිශ්චිත සංවිධානයක් හෝ එක ව්‍යුහයක් මත යන්නක් නෙමෙයි. ඒ තුළ විවිධ හැඩතල විවිධ වර්ණ තිබෙන විවිධ සංවිධානවල ඒකමිතියක් තුළ තමා අරගලය ඉදිරියට යන්නෙ. ඒ තිබුණු හැඩතල අපේ රටට හොඳ ජයග්‍රහණ රාශියක් අත් කර දී තිබෙනවා. එයයි වැදගත්. ඔබ ඇසුව සිදුවීමත් එක්ක කියනව නම් අපි දන්නවා මේ රටේ මිනිස්සු ඉන්නෙ දැඩි පීඩනයකින්. මේ දැවැන්ත පීඩනයකින් ඉන්න මිනිස්සුන්ගෙ ස්වාභාවය මේ පාලකයන් තේරුම්

ගන්නෙ නැතිව පිස්සු කෙළිද්දි මිනිස්සු යම් අවස්ථාවලදි ප්‍රචණ්ඩ වෙන්න ඉඩ තියෙනවා. ගෝල්ෆේස් අරගලකරුවන් විදියට අපි කියන්නේ මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියන එක. එහෙම නැතිව අපිට දේපල හෝ පුද්ගලයින් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. අපි සටන් කරමින් ඉන්නෙ එවැනි අරමුණු සාර්ථක කරගැනීමට. මෙතන විවිධ සංවිධාන පාර්ශ්වයන් සිටින නිසා ඔවුන්ට තිබෙන පීඩනයත් එක්ක ඒ අවස්ථාවලදි ඇතිවෙන තත්ත්වයන් එක්ක විවිධ ක්‍රියාමාර්ග තෝරගන්නවා. ඒකයි මේකෙ විවිධත්වයක් තියනවා කියල කිව්වෙ. ඒක ගෝල්ෆේස් අරගල භූමියේ ඇවිද යන කෙනෙකුට වුණත් තේරේයි. මේක වෙනදා විදියටම බැලුවොත් තේරුම් ගන්න බැරිවෙනවා. වෘත්තීය සමිති නායක වසන්ත සමරසිංහට බාධා කිරීම සම්බන්ධව ඔබ ඇසූ නිශ්චිත සිදුවීම වෙන්නෙ එදා අපි ගෝල්ෆේස් අරගලයට දිගටම සම්බන්ධ වී සිටි සියලු වෘත්තීය සමිති එක්ක රැලියක් තිබුණා. රනිල් වික්‍රමසිංහ තමන්ගෙ දේශපාලන ගේම් එක දිගහැරල තියෙන්නෙ. වෘත්තිය සමිති නායකයෙක් එතන කතා කරද්දි එතන මෑතක සිට සිටි කණ්ඩායමක් විරෝධය දක්වනවා. අරගලකරුවන් මේ පිරිස ඒ අවස්ථාවෙදිම එතනින් ඉවත් කරනවා. අපි දන්නවා මේ තුළට විවිධ කුමන්ත්‍රණ, ගැටුම් ගේන්න මීට කලිනුත් උත්සාහ කළා. හමුදාවත් එක්ක ගැටුම් හදන්න හැදුවා. මේ බොරු වළවල්වලින් පැනලා යන එක තමයි අපේ ජයග්‍රහණය. ඒ සඳහා නොනිමි අරගලයක තවදුරටත් අපි නිරත වෙනවා.” එරංග ගුණසේකර පවසන්නේය.

මේ සියලු අදහස්වලින් පෙනෙන්නේ ගෝල්ෆේස් අරගලය ඉල්ලා සිටින්නෙ පුද්ගල වෙනසකට නොව මේ රටේ දේශපාලන සහ සමාජ පරිවර්තනයක් බවයි. ගෝල්ෆේස් අරගලයේ පොදු මතය එයයි. එය දැවැන්ත සමාජ ප්‍රතිසංස්කරණයක් දක්වා දිගහැරෙන අරගලයක් බව ඔවුන් පවසයි. එම සමාජ දේශපාලන වෙනස ඇතිවීමෙන් මෙපිට අරගලය නිමා නොවේ. ඇතැම් විට අරගලයේ ස්වකීය අභිලාශයන් ජයග්‍රහණය කරවා ගැනීම සඳහා එහි හැඩතල පමණක් වෙනස්ව එය තවත් බොහෝ කාලයක් මේ සමාජය තුළ පවතින්නක් විය හැකිය. ලෝකයේ සාධනීය සමාජ පරිවර්තනයන් සිදුව තිබෙන්නේද එසේය.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment