දැන් ඇෆ්ගනිස්ථානයේ ඇත්තේ ආයුධවලින් නොව ඔළුවලින් කරන යුද්ධයක්

1311

පළමු වරට තලේබාන් නායකයන් මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වූ අයුරු….

ඇෆ්ගනිස්තානු කාන්තා ජාලයේ නිර්මාතෘවරිය වන (Mahbooba Siraj) මහ්බූබා සිරාජ් දින කිහිපයකට පෙර ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවක් නැගූ ප‍්‍රශ්නයකට දුන් පිළිතුර උපුටා දක්වමින් මෙම සටහන ආරම්භ කරන්නෙමි. ඇගේ පිළිතුර හැඟුම්බරය. රටේ අනාගතය පිළිබඳ තිබූ සිහින බිඳ වැටීම හේතුවෙන් කලකිරීම් සහගතය. එහෙත් පණිවුඩය ප‍්‍රබලය.

ප‍්‍රශ්නය – ඔබට මේ මොහොතේ අමෙරිකාවටත්” නේටෝ රටවලටත්” ලෝක ප‍්‍රජාවටත් දෙන්නට ඇති පණිවුඩය කුමක්ද?

පිළිතුර – ඔබලාට අපි දැන්  කථා කරලා වැඩක් නැහැ.

කථා කළ යුතු කාලය දැන් ඉවරයි. අපි ඔබට කථා කළා. ඉල්ලීම් කළා. බැගෑපත් වුණා. ඒත් ඒ කිසිවක් ගැන තැකීමක් නැතිවයි ඔබලා තීන්දු ගත්තේ. අපි අමාරුවෙන් ගොඩනගපු සියලූ දෑ ඔබලා එක මොහොතකින්” එක තීරණයකින් විනාශ කර දැම්මා. මේ එක තීරණයකින් ඔබලා ඇෆ්ගනිස්ථානය තවත් වසර දෙසීයකට ආපස්සට හරවලා තියෙනවා. අද ඉන්න පරම්පරාවේ පමණක් නොව ඉදිරි පරම්පරා කිහිපයකත් අනාගතය ඔබලා විනාශ කර තිබෙනවා. දැන් ඔබලාට මොනවාද ඔවුන්ට කියන්නට තියෙන්නේ? ඔබලා ලැජ්ජා විය යුතුයි” ඔබලා ඇෆ්ගනිස්ථානයට කර ඇති දේ ගැන. ඔබලා අපේ කලාපයේ රටවලට කර ඇති දේ ගැන. ඇයි ඔබලා අපට මෙහෙම කරන්නේ? මට තේරුම් ගන්නට බැහැ” ඔබලා අපේ රටවලට කරන විනාශය. ඇෆ්ගනිස්ථානය තුළ අවි ආයුධවලින් කළ යුද්ධය දැන් නිමවී ඇත. දැන් උදාවී ඇත්තේ ඒ වෙනුවට ඇෆ්ගනිස්ථානය මුල්කරගත් ඔළුවලින් සිදු කරන ජාත්‍යන්තර තලයේ යුද්ධයකි. මෙම ඔළුවලින් සිදුකරන යුද්ධය ඇෆ්ගනිස්ථානයේ අනාගත ගමන් මග ඉලක්ක කරගත් යුද්ධයකි. අපේ රටේ දේශපාලනයේදී මෙන්ම ලෝක දේශපාලනයේදීද අප දකින සත්‍යයක් වන්නේ අද පසමිතුරන්ව සිටින බොහෝ අයවලූන්” හෙට දින සමීප මිතුරන් බවට පත්වීමයි. කොමියුනිස්ට් රුසියාව සමග මාතෘභූමියේ නිදහස උදෙසා මහා අරගලයක් කළ

ඇෆ්ගනිස්ථානුවන්” එදා තම මිත‍්‍රයන් ලෙස විශ්වාස කළේ අමෙරිකාවයි. එහෙත් අද රුසියාව තලේබාන් සංවිධානයේ මිත‍්‍රයන් බවට පත්ව සිටී. තලේබාන් සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කර තිබීම අවලංගු කරන ලෙස අද රුසියාව ඉල්ලා සිටී. එමෙන්ම සුන්නි” ෂියා මතවාදී වෙනස්කම් හේතුවෙන් තලේබාන් කණ්ඩායම සමග ප‍්‍රශ්න තිබූ ඉරානය” අද තලේබාන් නව පාලනය හා මිත‍්‍රශීලීත්වයක් ඇති කරගෙන තිබීම පෙනෙන්නට ඇත. ජාත්‍යන්තර බල තරගය තුළ ලෝක බල කඳවුරු හැලහැප්පීම්වල ගොදුරක් බවට දසක ගණනාවක් තිස්සේ පත්ව තිබූ ඇෆ්ගනිස්ථානය වෙත අද මුළු ලෝකයේම අවධානය යොමුවී ඇත. සෝවියට් දේශයේ බල ආධිපත්‍යට යටත්ව තිබූ යුගයේදී ඇෆ්ගනිස්ථානය පාලනය වූයේ සෝවියට් දේශයට අවනත රූකඩ රජයක් විසිනි. අනතුරුව මාතෘ භූමියේ නිදහස් අරගලය ජයග‍්‍රහණය කිරීමෙන් පසු සෝවියට් දේශයට අවනත පාලකයන්ට රට අත්හැර යෑමට සිදු විය. ඇතැම් මාධ්‍ය දැන් ඇෆ්ගනිස්ථානය ‘අධිරාජ්‍යවාදීත්වයේ සොහොන්බිම. ලෙස හඳුන්වා ඇත. ඇෆ්ගනිස්ථානය ඉන් අනතුරුව තම අණසකට යටත් කරගත් ඇමෙරිකාව තමන්ට අවනත පාලනයක් පිහිටුවා ගත්තේය. දසක දෙකක අරගලයකින් පසුව දැන් අමෙරිකානු හමුදාවට මෙන්ම ඔවුන්ට අවනතව සිටි පාලකයන්ටද

ඇෆ්ගනිස්ථානය අතහැර යෑමට සිදුව ඇත. ලොව සුපිරි බලවේග නිදහස් අරගලවලදී පරාජය ලැබ” ඒ රටවල් අත්හැර යනවිට දකින දර්ශනයන් අපි අපේ ශිෂ්‍ය අවදියේදී වියට්නාමය තුළින් දුටුවෙමු. එමෙන්ම අපි එදා සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය හැරයන විට දුටු අයුරින්ම” අදද එවැනි දර්ශන දකිමින් සිටින්නෙමු. අද ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගෙන සිටින තලේබාන් කණ්ඩායම තුළින් මුල් අවධියේදී අප දුටු අන්තවාදී සහ අනම්‍ය වූ හැසිරීමට වඩා වෙනස් හැසිරීමක්” ජාත්‍යන්තරය සමග ඔවුන් දැන් ගනුදෙනු කරන්නට පටන්ගෙන ඇති ආකාරය තුළින් ප‍්‍රදර්ශනය වීම දැකිය හැකි නමුදු” එහි නියම තත්ත්වය තහවුරු කරගත හැකිවන්නේ ඔවුන්ගේ ඉදිරි ක‍්‍රියා පිළිවෙත් සහ හැසිරීම් තුළිනි. තලේබාන් කණ්ඩායම සුන්නි මුස්ලිම් කණ්ඩායමක් වන හෙයින් ඉරානය සමග ගැටුම් ඇතිවනු ඇතැයි ඇතැම් මාධ්‍ය අනාවැකි පළකර සිටියද” ඊට වෙනස් තත්වයක් දැන් දකින්නට ඇත. ෂියා ජන කොටස්වල ආධිපත්‍ය පවතින උතුරු ඇෆ්ගනිස්ථානු ප‍්‍රදේශවල නායකයන්ගේ සහයෝගය ලබා ගැනීමට තලේබාන් කණ්ඩායම දැන් සමත් වී ඇති බව මාධ්‍යවල සඳහන් වේ. අනෙක් අතින් චීනය සමගද ගැටුම් ඇතිවේ යැයි ඇතැම් මාධ්‍ය අනාවැකි පළ කෙරුවද” චීන නායකයන් තලේබාන් නියෝජිතයන්ව චීනයට ඇරැුයුම් කර යහපත් අවබෝධයක් ඇති කරගෙන ඇති බව” චීනය අද උදාවී ඇති තත්වයට දක්වා ඇති ප‍්‍රතිචාරවලින් පැහැදිලි වේ. යම් යම් වෙනස්කම් ගැන ප‍්‍රවෘත්ති තිබුණද” පකිස්ථානය දැන් ඇෆ්ගනිස්ථානු නව පාලනය සමග” තමන් අතර තිබූ අනවබෝධයන් නැති කරගෙන යහපත් අවබෝධයකට පැමිණ ඇති බව” පකිස්ථානු නායකයන්ගේ

කථාබහ අපට පෙන්නුම් කරයි. ඉන්දියානු සාධකයද මෙහිදී වැදගත්ය. කාබූල් අගනුවරට තලේබාන් කාණ්ඩ ඇතුළත්වීමට පෙරදින තලේබාන් ප‍්‍රකාශක සුහෙයිල් ෂහීන් ”ඉන්දියාව ඇෆ්ගනිස්ථාන ජනතාව වෙනුවෙන් ගත් සියලූ උත්සාහයන් සහ කළ සියලූ දෑ අපි අගය කරන්නෙමු. යන්න පවසා තිබුණේය. මේ සියල්ල තුළින් අපට පැහැදිලිව දැකගත හැක්කේ ජාත්‍යන්තර තලය තුළ අවි ආයුධවලින් කරන යුද්ධයකට වඩා ඔළුවලින් කරමින් සිටින යුද්ධයකි. ලෝකය පුරා විවිධ රටවල පවතින විවිධ අනන්‍යතාවන්” විශ්වාසයන්” වටිනාකම්” සාරධර්ම” ඇදහීම් සැලකිල්ලට නොගෙන” මුළු ලොවම එකම සංස්කෘතික රටාවකට” එකම සමාජ සහ ආර්ථික ක‍්‍රමයකට නතු කිරීමේ අධිපතිවාදී සිතුම් පැතුම් ඒ අයුරින්ම ක‍්‍රියාවට නැගීම” අද යුගයේදී සිතන තරම් පහසු නොවන බව ලොවට දෙවතාවක්ම පෙන්වූ ස්ථානයකි

ඇෆ්ගනිස්ථානය. තම සිතුම් පැතුම් වෙනත් සමාජයන් වෙත බලයෙන් පැටවීමට උත්සාහ කිරීම අද යුගයට නොගැලපෙන දෙයක් බව අමෙරිකාව” රුසියාව” චීනය මෙන්ම තලේබාන් සංවිධානයද තේරුම්ගත යුතුව ඇත. කාන්තාවන්ට අධ්‍යාපනය සඳහා සීමා පනවමින් සහ වෙනස් මත නොඉවසමින් කටයුතු කළ ආකාරය ශිෂ්ඨ ලෝකයකට අනුමත කළ හැකි තත්වයක් නොවිණි. ලෝකයේ ප‍්‍රථම විශ්වවිද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ ඉස්ලාමීය රටක් වන මොරොක්කෝවේදී කාන්තාවක් විසින් බව මෙම කොටස් තේරුම්ගත යුතුව ඇත. විවිධත්වය සමග ජීවත්විය හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී චින්තනයකට සහ හැසිරීමකට යෑමට කුමන මට්ටමේ බලවතෙකු වුවද නම්‍යශීලී විය යුතුව ඇත. ලොව බල තරගය තුළ සුපිරි බලවේග තමන්ගේ මතවාද හා ස්ථාවරයන් සාධාරණීකරණය කරමින් ලෝක ජනමතයට බලපෑම් කිරීමට ශක්තිමත් ජාලයන් ගොඩනගාගෙන කරන මෙහෙයුම් අපි ඉතිහාසය පුරා දකින්නෙමු. සෝවියට් කඳවුර ශක්තිමත්ව සිටි අවධියේදී ඔවුන් වෙනුවෙන් ප‍්‍රබල ජාලයන් ලොව පුරා මෙහෙයුම් කරමින් සිටියහ. දැන් බටහිර වෙනුවෙන් එවැනිම ප‍්‍රබල ජාලයන් ලොව පුරා සිවිල් සමාජයන් තුළ මෙහෙයුම් කරමින් සිටියි. මේ සියලූ කඩතුරාවන් ඉරා දමා යථාර්ථය වටහා ගැන්ම ජනතාව ගේ වගකීම වේ.

ඇෆ්ගනිස්ථානයේ නිදහස සඳහා සුපිරි බලවතුන් සමග කළ අරගලයන් දෙකේදී විවිධ මතධාරී” කණ්ඩායම් ඊට එක්ව සිටියහ. සෝවියට් කඳවුර පරාජය කළ පසු බලධාරීන් ලෙස මතු වූයේ තලේබාන් කණ්ඩායමයි. සෝවියට් ආධිපත්‍ය බිඳ වැටීමෙන් පසු එම නිසා තලේබාන් කණ්ඩායම තම සිතුම් පැතුම්වල අන්‍යමව සිටිමින් කළ අන්තවාදී හැසිරීම් සහිත පාලනයක් ගැන සෑම අතින්ම චෝදනා එල්ල විණි. එහෙත් දැන් ඔවුන් ෂියා නායකයන් සමගින්ද” ඉරානය සමගින් ද” චීනය සමගින්ද” රුසියාව සමගින්ද” පකිස්ථානය සමගින්ද ගොඩනගාගෙන ඇති බව පෙනෙන යහපත් අවබෝධය අපට පෙන්නුම් කරනුයේ” කලින් යුගයේ වැරදිවලින් ඔවුන් පාඩම් ලබමින් යම් පරිණත බවකට පැමිණ සිටීමද යන්න විනිශ්චය කළ හැකිවන්නේ” ඔවුන් ඉදිරියේදී අනුගමනය කරන ක‍්‍රියා පිළිවෙත් තුළින්මය. කෙසේ වෙතත් මේ සියලූ පාර්ශවයන් තේරුම් ගතයුතු

යථාර්ථයන් කිහිපයක් ඇත. ලොව සෑම සමාජයකටම ආවේණික අනන්‍යතාවයන්” ඇදහිලි” විශ්වාසයන්” සංස්කෘතීන්” සාරධර්ම පවතී. ඒ විවිධත්වයන් තේරුම් ගන්නා වූ” ඒවාට ගරු කරන්නාවූ” ඒවාට අවකාශ සලසන්නාවූ ඒ විවිධත්වයන් සමග සංහිඳියාවෙන් යුතුව ජීවත්විය හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝක රටාවකට අපි හැඩගැසිය යුතුව ඇත්තෙමු. ඉඩදිය යුතුව ඇත්තෙමු. කිසිදු සමාජයකට සෙසු ලෝකයාගෙන් වෙන් වී හුදෙකලාව ගමනක් යා නොහැකිය. එකිනෙකාට ගරුකරන” නම්‍යශීලී හැසිරීම් තුළින් පමණකි සංහිඳියාව පවතින ලොවකට මං විවර කරගත හැක්කේ. මෙවැනි අර්බුදකාරී ජාත්‍යන්තර වටපිටාවක් තුළ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් ඇති ජාත්‍යන්තර වාතාවරණයක් ඇති කරගැනීමට නායකත්වය දිය යුතු සහ දිය හැකි

බලවේගය වන්නේ එක්සත් ජාතීන් ගේ සංවිධානයයි. බලය” ශක්තිය ඉදිරියේ නොනැමී” විවිධත්වය තේරුම් ගන්නා වූ” විවිධත්වයට ගරු කරන්නාවූ” සංහිඳියාවෙන් යුක්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයක පැවැත්ම උදෙසා එක්සත් ජාතීන් ගේ සංවිධානය අදීන” ශක්තිමත් සංවිධානයක් බවට පත්කර ගැන්ම ලෝක ප‍්‍රජාවගේ පරම වගකීමය.

දැන් ඇෆ්ගනිස්ථානයේ ඇත්තේ ආයුධවලින් නොව ඔළුවලින් කරන යුද්ධයක්

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment