දැන් චිත්‍රපට සිනමාහල්වලට පමණක් මුදාහැරීමෙන් සෑහෙන්න බෑ – ඉලංගෝ රාම්

70

නෙළුම් කුළුණ සිනමාපටය ඛේදාන්ත ප්‍රහසනයක්

ඉලංගෝ රාම් නම් තරුණ අධ්‍යක්ෂවරයා වසර 12 ක් වූ වෙළෙඳ දැන්වීම් නිර්මාණ අත්දැකීමෙන් සන්නද්ධව සිනමා ක්ෂේත්‍රයට පිවිස සිටිනවා. ඔහුගේ කුළුඳුල් සිනමා ප්‍රයත්නය නම් කොට ඇත්තේ Bend in the Coffin හෙවත් ‘නෙළුම් කුලුන’ ලෙසයි. නාමකරණයෙන්ම විශේෂිත බවක් පෙනෙන්නට ඇති ඉලංගෝගේ ප්‍රථම චිත්‍රපටය පිළිබඳව අප ඔහු සමඟ මෙසේ කතාබහකට එළැඹුණා.

ඔබේ චිත්‍රපටය දේශපාලනික තේමාවක් සහිත චිත්‍රපටයක්ද?

ඔව්, එහෙම කියන්නත් පුළුවන්. මෙහි දේශපාලනික යටි පෙළක් තිබෙනවා. මම මෙය හඳුන්වන්නේ ඛේදාන්ත ප්‍රහසනයක් ලෙසයි. මෙහි තේමාව ගැන සඳහන් කළොත් තම පියාගේ අවමඟුල් කටයුතු කිරීමේදී පුතුන් දෙදෙනකු මුහුණ දෙන ගැටලු හා සිදුවීම් ගැන දින දෙකක් තුළ දිවෙන කතාවක් තමයි චිත්‍රපටයේ එන්නේ.

දැන් චිත්‍රපට සිනමාහල්වලට පමණක් මුදාහැරීමෙන්  සෑහෙන්න බෑ - ඉලංගෝ රාම්

ඔබ වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂවරයෙක්. පළමු චිත්‍රපටය ගැන කොහොමද ඔබේ අත්දැකීම?

මම අවුරුදු 12 ක් වගේ කාලයක් තුළ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් හාරසියයකට අධික සංඛ්‍යාවක් නිර්මාණය කරලා තිබෙනවා. වෙළෙඳ දැන්වීමකින් අපි කරන්නේ ලොකු කතාවක් ඉතා සීමිත කාලයකින් වඩා ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීමයි. අපි එතැනදී ප්‍රොඩක්ට් එක තුළ සීමා වෙනවා. ක්ලයන්ට්ගේ අවශ්‍යතාව මත අපි රාමුවකට කොටු වෙනවා. චිත්‍රපටය නිර්මාණය කිරීමේදී මම ඊට වඩා ලොකු නිදහසකින් වැඩ කළා. වෙළෙඳ දැන්වීම්කරණයේ මා ලැබූ අත්දැකීම් ඒකට හුඟක් උදව් වුණා. ඕනෑම රූගත කිරීමකදී ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. ඒවා නිරාකරණය කරගන්න මගේ පෙර අත්දැකීම් සෑහෙන්න ඉවහල් වුණා.

සියලු දේවල්වල මිල අහස උසට පවතින මේ කාලයේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා කියන්නේ අභියෝගයක්?

ඔව්, ඔබ හරි. ඒකට අපි මුහුණ දුන්නේ මනා ලෙස සැලසුම් කිරීමෙන්. පූර්ව නිෂ්පාදන කටයුතු සාර්ථකව කළා වගේම රූගත කිරීම් දින 16 කින් අවසන් කළා. අපිට ඉන්ධන ප්‍රශ්නය හුඟක් බලපෑවා. ඊට අපි මුහුණ දුන්නෙ සියලු ශිල්පීන් නවාතැන්ගත කිරීමෙන්. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයාත් මමයි. ඉතින් මෙහි රූගත කිරීම් හුඟක් කළේ දිවා ආලෝකයෙන්. නිෂ්පාදන වියදම අවම කරගැනීමට මගේ නිෂ්පාදන කණ්ඩායමෙන් සහ නළු නිළියන්ගෙන් ලැබුණු සහයෝගය ඉතා ඉහළයි. අපි වැඩ කළේ එකම පවුලක් වගේ.

දැන් චිත්‍රපට සිනමාහල්වලට පමණක් මුදාහැරීමෙන්  සෑහෙන්න බෑ - ඉලංගෝ රාම්

මේ අර්බුදකාරී වාතාවරණය තුළ මෑත කාලයේ තිරගත වූ හුඟක් චිත්‍රපට ආදායම් අතින් අසාර්ථක වුණා. ඔබ කොහොමද මේ අභියෝගයට මුහුණදෙන්නේ?

මම හිතන්නෙ චිත්‍රපටයක් සිනමාහල්වලට මුදාහැරීම පමණක් සෑහෙන්නේ නැහැ. එය අන්තර්ජාලයට මුදාහැරීම ගැනත් අපි හිතන්න අවශ්‍යයි. හොඳ ප්‍රමිතියකින් අපි චිත්‍රපට හැදුවොත් නෙට්ෆ්ලික්ස් වැනි ෆ්ලැට්ෆෝම් එකකට ඇතුළුවීම අමාරු නැහැ. ඒ වගේම සිනමා උළෙල ඉලක්ක කොට චිත්‍රපට හැදීම මම අනුමත කරන්නේ නැහැ. චිත්‍රපටයක් මිනිසුන් අතරට යා යුතුයි. චිත්‍රපටයක් සිනමාශාලාවක නැරඹීමෙන් තමයි පූර්ණ වින්දනයක් ලබන්න පුළුවන්. නමුත් අද වනවිට බොහොමයක් දෙනා චිත්‍රපට නරඹන්නෙ අන්තර්ජාලයෙන්. අපි හොඳ චිත්‍රපට හැදුවොත් තමයි අපිට ඉන්ටර්නැෂනල් ෆ්ලැට්ෆෝම්වලට යන්න පුළුවන්.

ඔබ මීට පෙර “සයිලන්ට් ටියර්ස්” නම් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා. එහි තේමාව ජනවාර්ගික ගැටලුව පිළිබඳවයි. ඔබේ පළමු වෘත්තාන්ත චිත්‍රපටයත් දේශපාලනිකයි. සිනමාව යනු විනෝදාත්මක මාධ්‍යයක් නොව ඊට වඩා පුළුල් මාධ්‍යයක් ලෙස ඔබ සිතනා බවක් පෙනෙනවා?

චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක් දිය යුතුයි කියන මතයේ මම නැහැ. හොඳ චිත්‍රපටයක් කියන්නේ පණිවිඩ දෙන චිත්‍රපටයක් නොවෙයි. මිනිස්සු හොඳ නරක හඳුනා ගන්නේ හෝ දේශපාලන වශයෙන් දැනුවත් වෙන්නේ චිත්‍රපට නරඹලා නොවෙයි. අපි ජනතාව අවතක්සේරු කරන්න හොඳ නැහැ. දැන් බලන්න, ජනාධිපතිවරයා පවා බලයෙන් පහ කළේ මිනිසුන්. ජනමතය ඒ තරම් බලවත්. මගේ චිත්‍රපටයෙන් මම මිනිසුන් දැනුවත් කරන්නේ නැහැ. මගේ චිත්‍රපටයෙන් මම පෙන්වන්නේ ජීවිතයේ පැතිකඩක්. එය වින්දනාත්මක වෙන්න පුළුවන්, සංවේදී වෙන්න පුළුවන් හෝ කලාත්මක වෙන්න පුළුවන්. මම පෙන්වන දේ ඔවුන්ට දැනුනා නම් ඔවුන් එය ග්‍රහණය කර ගනියි. එයින් ඔවුන් දැනුමෙන් හා ප්‍රඥාවෙන් පෝෂණය වෙයි එක් එක් අයට දැනෙන විදියෙන්. මම කියන දේ ඔවුනට තේරුණේ නැත්නම්, ග්‍රහණය කරගත්තේ නැතිනම් මම අසාර්ථකයි කියලයි මම හිතන්නේ.

කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, චාන්දනී සෙනෙවිරත්න, දිල්හානි ඒකනායක, චමිලා පීරිස්, සුලෝචනා වීරසිංහ, සංජීව උපේන්ද්‍ර, තුසිත ලක්නාත්, රාජා ගනේෂන් චරිත නිරූපණය කරන Bend in the Coffin හෙවත් නෙළුම් කුලුන” අධ්‍යක්ෂණය, තිරරචනය හා කැමරා අධ්‍යක්ෂණය ඉලංගෝ රාම් විසිනි. නිෂ්පාදනය හිරණ්‍යා පෙරේරා, නවනීතා නචිමුතු හා පී. උමාපති ය. Bend in the Coffin චිත්‍රපටය තිර පිටපත මට්ටමින් ඉන්දියාවේ ගෝවා හි Film Bazaar Co Production Market හා කොරියාවේ බූසාන්හි Asian content Film Market ඇගැයීමට ලක් වූ අතර චිත්‍රපටය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට ඉන්දියාවේ ප්‍රකට චිත්‍රපට සමාගම් කිහිපයකටම අවශ්‍ය වූ බව ද තමන් ඊට එකඟ නොවී චිත්‍රපටය ශ්‍රී ලාංකීය නිර්මාණයක් ලෙස ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට තීරණය කළ බවද චිත්‍රපටයේ නිෂ්පාදිකා හිරණ්‍යා පෙරේරා පැවසුවාය.

නිමල් ෆ්‍රැන්සිස්

දැන් චිත්‍රපට සිනමාහල්වලට පමණක් මුදාහැරීමෙන්  සෑහෙන්න බෑ - ඉලංගෝ රාම්
advertistmentadvertistment
advertistmentadvertistment