දැනුවත් වෙමු – ජලභීතිකාව වළක්වමු

514

(අදට යෙදී ඇති ලෝක ජලභීතිකා දිනය නිමිත්තෙනි)

 ලෝක ජලභීතිකා දිනය සැප්තැම්බර් 28 දිනට, එනම්, අදට යෙදී ඇත. ඒ සඳහා මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව ”දැනුම බෙදමු; බිය දුරලමු; ජලභීතිකාව වළක්වමු.” යන්නයි.

 ඈත අතීතයේ සිටම සුනඛයා (බල්ලා) සහ මිනිසා අතර ඉතා සුහද සබැඳියාවක් තිබී ඇත. ගල් යුගයේ සතුන් දඩයම් කිරීමට සුනඛයාගේ සහාය ලබාගෙන ඇත. නිවෙස් සහ වතුපිටි ආරක්ෂා කිරීමට ආරක්ෂකයෙකු ලෙස මෙම සත්වයා මිනිසා සමග ඉතා සමීපව සහ ආදරයෙන් සිට ඇත. දැනුදු සුනඛයා සහ මිනිසා අතර ඉතා සුහද ලැදියාවක් පවතී. ශ‍්‍රී ලංකාවේ මිනිසාට ජලභීතිකාව ප‍්‍රධාන වශයෙන්ම බෝ වන්නේ සුනඛයන් මගිනි. එය 95% පමණ ප‍්‍රතිශතයක් වේ. 1950 සහ ඒ ආසන්න වර්ෂයන් වලදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන සෞඛ්‍ය ප‍්‍රශ්නයක් බවට ජලභීතිකාව පත්ව තිබී ඇත.

දැනුවත් වෙමු - ජලභීතිකාව වළක්වමු

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ශ‍්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය මර්දන කටයුතු පවත්වාගෙන යෑම සඳහා ”මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව (ජලභීතිකා මර්දන ඒකකය) නමින් වෙනමම ඒකකයක් පිහිටුවා ඇත. විමධ්‍යගත වැඩ සටහන යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වලටත් දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වලටත් විමධ්‍යගත කර ඇත. ඒ අනුව කොළඹ නාරාහේන්පිට අංක 555/5 ගොඩනැගිල්ලේ පිහිටා ඇති ප‍්‍රධාන කාර්යාලය මගින් හා දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ යටතේ පිහිටුවා ඇති දිස්ත‍්‍රික් ජලභීතිකා මර්දන ඒකක වලින් ජලභීතිකා මර්දන කටයුතු පවත්වාගෙන යනු ලබයි. තවද දිවයින පුරා පිහිටි රෝහල් 216ක සැක සහිත සුනඛයින් හෝ වෙනත් සතුන් විසින් සපාකන ලද පුද්ගලයන්ට ජලභීතිකාවට එරෙහිව මානව එන්නත් ලබා දීම සිදු කෙරේ.

 ජලභීතිකා මර්දන කටයුතුවලදී, සුනඛයන් එන්නත් කිරීම, ගැහැනු සුනඛයන් වන්ද්‍යාකරණය, ගැහැනු සුනඛයන්ට වන්ද්‍යාකරණ එන්නත් ලබා දීම, මහජනතාව දැනුවත් කිරීම, පුහුණු කටයුතු, ”ඔටෝ ඉන්ජෙක්ටරය” මගින් දඩාවතේ යන සුනඛයන් එන්නත් කිරීම හා

 ගැහැනු සුනඛයන්ට වන්ද්‍යාකරණ එන්නත් ලබා දීම. සැක සහිත සතුන්ගේ සපා කෑමට ලක්වන පුද්ගලයන් දැනුවත් කිරීම සහ අවශ්‍ය අයට ජලභීතිකා මානව එන්නත් ලබා දීම සිදු කෙරේ.

 ජලභීතිකා රෝගය වෛරසයක් මගින් බෝවන මාරාන්තික රෝගයක් වන අතර ජලභීතිකා රෝගය ක්ෂීරපායි (කිරි බී වැඩෙන) සතුන්ට වැළඳේ, ජලභීතිකා වෛරසය ශරීරගත වූ සුනඛයන් සපා කෑම හෝ සීරීම නිසා, ජලභීතිකා රෝගී බළලූන්, මුගටියන්, හිවලූන්, මුගටියන් වැනි සතුන් සපාකෑම හෝ සීරීම නිසා, රෝගී සතකුගේ කෙල තුවාලවල හෝ ශරීරයේ සියුම් පටකවල තැවරීමෙන් (ඇස් වල) මිනිසාට රෝගය බෝ විය හැක.

 සුනඛයන්ගේ රෝග ලක්ෂණ

 ගොළු පිස්සුව – අඳුරු තැන්වල සැ`ගවීමට තැත් කරයි, ආහාර ගැනීම නවතයි, උගුරේ යමක් සිර වූ බව පෙන්වයි, පාද අප‍්‍රාණික බවක් පෙන්වයි, අන් අයගේ අනුකම්පාව ලබා ගැනීමේ ස්භාවයක් පෙන්වයි.

 වියරු පිස්සුව – මුඛයෙන් සෙම වැගිරෙයි, ඇස් විශාල වී රතු වී දිලිසෙයි, දම්වැල්, කුඩුවේ දැල් වැනි අසාමාන්‍ය දේවල් සපයි, ඉදිරියට හමු වන සෑම දෙනාම සපා කෑමට පෙලඹෙයි, ආහාර ගැනීම නවතයි, පිස්සු බල්ලකු ලෙස හැසිරෙයි. මේ මගින් පහසුවෙන් පිස්සු බල්ලන් හඳුනාගත හැක.

 මෙම රෝග තත්ත්ව දෙකේදීම ජලභීතිකාව වැළඳුන සුනඛයන් දින 10-14 කාලයේදී මිය යනු ලබයි.

 රෝගී බළලකු නම්, ආහාර ජලය ගැනීම නවතයි, අහසට පහර දීමක් වැනි ස්භාවයක් පෙන්නුම් කරයි, කටින් සෙම වගුරයි, සොයා ගැනීමට නොහැකි ලෙස අතුරුදන් වෙයි.

 කැලෑ සතුන් අතරද රෝගය පැතිර යයි. එවිට කැලෑ සතුන් සාමාන්‍යයෙන් මිනිසාට සහ නිවෙස්වල ඇති කරන සුනඛයන්ට බිය නිසා සාමාන්‍ය පරිසරයට නොපැමිණේ. ජලභීතිකාව වැළඳුන කැලෑ සතුන් හිලෑ බවක් හෝ පහර දෙන ස්භාවයක් පෙන්නුම් කරමින් අප ජීවත්වන සාමාන්‍ය පරිසරයට පැමිණ පහර දෙන ස්භාවයක් පෙන්වයි. කැලෑවේ ඇති ජලභීතිකාව අප ජීවත්වන පරිසරයේ සිටින සුනඛයන්ට බළලූන් ට බෝ වන්නේ එමගිනි.

 ජලභීතිකා රෝගී යැයි සැක කළහැකි සුනඛයකු, බළලකු හෝ කැලෑ සතකු සපා කෑ විගස වහාම ගලා යන ජලයෙන් සබන් යොදා තුවාලය විනාඩි 10ක් පමණ හොඳින් අතුල්ලා සෝදා හැරීම, (සබන් යොදා සෝදා හැරීම තමන් විසින්ම සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ. වැඩිහිටියකු හෝ දරුවකු වැනි උදවු කළ යුතු අයකු නම් සෝදන්නා තමාගේ අත් ආවරණය කරගෙන තුවාලය සෝදා හැරීම වඩාත් යෝග්‍ය වේ.), ළඟම ඇති රජයේ රෝහලට ගොස් වෛද්‍ය වරයකුගේ උපදෙස් ලබා ගැනීම/ අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් අනුව ප‍්‍රතිකාර ලබා ගැනීම, වෛද්‍ය වරයා හමු වීමට යන විටදී, සතාගේ එන්නත් කාඞ් පත ඇත්නම් එය රැගෙන ගොස් වෛද්‍ය වරයට ඉදිරිපත් කිරීම කළ යුතුය.

 සපා කන ලද සත්වයා මරුනහොත් හෝ මරුවහොත් තම කොට්ඨාසයේ ක්ෂේත‍්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ උපදෙස් ලබාගෙන කොළඹ බොරැුල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය, පශු වෛද්‍ය පීඨය පේරාදෙණිය, ගාල්ල කරාපිටිය රෝහල යන පරීක්ෂණාගාර 03න් එකක් වෙත ලබා දීම කළ යුතුය.

 සුනඛයන්ට ඇතිවන ජලභීතිකාව වැළැක්වීම සඳහා සියලූම සුනඛයන්ට වයස සති 4-6 අතර ජලභීතිකාවට එරෙහිව එන්නත් ලබා දීම, නැවත මාස 03 දී ජලභීතිකාවට එරෙහිව එන්නත ලබා දීම, ඉන්පසුව සෑම වසරකටම වරක් ජලභීතිකාවට එරෙහිව එන්නත නොවරදවාම ලබා දීම, මීට අමතරව ඩිස්ටෙම්පර් පාවෝ වැනි රෝග සඳහාත් වෙනත් රෝගී තත්ත්ව සඳහාත් පශු වෛද්‍ය නිලධාරී වරයකුගේ උපදෙස් සහ සේවය ලබා ගන්න.

 වගකීමෙන් යුතු සුනඛ අයිතිකරුවකු වන්න පහත උපදෙස් පිළිපදින්න, නියමිත කාලයට ජලභීතිකාවට එරෙහිව එන්නත ලබා දෙන්න, පැටවුන් ලැබීමට සිටින විටදී, කිරි දෙන අවධියේදී සුළු රෝග තත්ත්ව වලදී වුවද ජලභීතිකා එන්නත ලබා දිය යුතුය, ඔබගේ සුරතල් සුනඛයන් වෙනත් රෝග තත්ත්වයන් සඳහා පශු වෛද්‍ය නිලධාරී උපදෙස් ලබා ගන්න, අනවශ්‍ය පැටවුන් පූජනීය ස්ථාන, පාසල්වලට ගෙනගොස් දැමීමෙන් වළකින්න, අනවශ්‍ය පැටවුන් බෝ නොවීමට වන්ද්‍යාකරණ එන්නත් හෝ වන්ද්‍යාකරණයට ලක්කරන්න. (මෙහිදී වඩාත් සුදුසු වන්නේ වන්ද්‍යාකරණය කිරීමයි), නිවසේ ඇතිකරන සුනඛයන් නිදැල්ලේ යැවීමෙන් වළකින්න, සුනඛයාගේ එන්නත් වාර්තාව ප‍්‍රවේසම් සහිතව තබා ගන්න, දඩාවතේ යන සුනඛයින් බෝවීමට හේතුවන කැළි කසළ ක‍්‍රමානුකුලව බැහැර කිරීමට යොමුවන්න, තමාව සපාකන ලද සුනඛයා හෝ කැලෑ සතකු තවත් අයව සපා කා ඇත් දැයි විමසා ඒ අයවත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු කරන්න.

 පී. ඒ. උපාලි ගුණවර්ධන
 විශේෂ ශ්‍රේණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක
 සෞඛ්‍ය අමාත්‍යාංශයේ
 මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව

advertistmentadvertistment
advertistmentadvertistment