දැයෙන් සමුගත් සිරිලාල් කොඩිකාර

146

පුවත්පත් කලා ජීවිතයේ ප‍්‍රාඥයෙක් මෙන්ම සරල සුන්දර මිනිසෙක් වන සිරිලාල් කොඩිකාරයන් වාමාංශික අදහස් දරමින් සමාජ දේශපාලන අඳුරු අගාධ කැණීම් කළ අයෙක් ලෙස ප‍්‍රකට පුද්ගලයෙකි. ඔහු ලියූ ‘‘රංචාගොඩ ළමයා’’ තීරු ලිපිය දේශපාලන ලෝකයට කඩු කිණිසි පහරවල් තරම් ප‍්‍රබලව දැනුණි. ඔහු සතුව තිබූ නිර්භීත ලේඛන ශෛලිය ඔහුටම අනන්‍ය වූවකි. සිරිලාල් කොඩිකාර නම් වූ අග‍්‍රණ්‍යය පත‍්‍රකලාවේදියා, සාහිත්‍යධරයා දැයෙන් සමුගත්තේය. මෙම ලිපිය මහැදුරු සුනන්ද මහේන්‍ද්‍ර මහතා විසින් 1993 ජූලි 27 වැනි දින දිවයින පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරන ලදි

සිරිලාල් කොඩිකාර බොහෝ විට පුවත්පත්වලට විශේෂාංග හා කාව්‍ය නිර්මාණ සැපයුවේ ආරූඪ නාමයන් භාවිතා කරමිනි. එහෙත් ඔහු පොදුවේ කාව්‍ය නිර්මාණ, කෙටිකතා හා නවකතා ලියද්දී ස්වකීය නාමයම භාවිතා කළේය. ඒ අනුව ඔහු ලියූ කාව්‍ය නිර්මාණ වන ‘නොතෙලූ පියුම’, ‘කනේරු මල්’, ‘බකවත’, ‘මානසවිල’, ‘නොරජුන්ගේ අන්තඃපුරය’ යන කෘතීන් කෙරෙහි පාඨක සැලකිල්ල යොමුවී පවතී. සිංහල ජාතිය පුවත්පතෙන් ‘සියබස’ යන සිංහල සඟරාවෙහි සේවයේ නියැලී සිටි කාලයේ පටන් ඔහු විසින් ලියන ලද කෙටිකතා විශාල සංඛ්‍යාවක් වේ. එහෙත් ඒවාට අතිරේකව ඔහු ලියූ කෙටිකතා එකතු කොට ‘ගහෙන් වැටුණු ගැහැනිය සහ තවත් අය’ සහ ‘විශ්වය තුළ විශ්වය’ යනුවෙන් කෙටිකතා සංග‍්‍රහ දෙකක් පළ වී ඇත. මේ කෘතීන් කෙරෙහි දැන් දැන් පාඨක විචාරක අවධානය යොමුවෙමින් පැවතීම කෙටිකතාකරණය පිළිබඳ උනන්දුවක් දක්වන අයගේ මනාපයට හේතුවනු නිසැකය. කොඩිකාර ලියූ ‘කැලිස්ටාගේ සවාරිය’ යනු විචාරක අවධානය යොමු නොවූ අගය කළ යුතු කෘතියක් වශයෙන් නූතන නිර්මාණ සාහිත්‍යයේ සැඟවී පවතී.

ස්වකීය මතක සටහන් විවිධාකාරයට ලියා තැබීම බොහෝ ප‍්‍රවීණ නිර්මාණ ශිල්පීන්ගේ සිරිතකි. මෙරට බිහි වී ඇති බොහෝ ‘මතක සටහන්’ හා ‘ස්ව චරිතාපදාන කතා’ මගින් අප දකින්නේ අඩසිය වසක් පමණ වූ කාලයක් මුළුල්ලේ නැතිනම් හැට පිරෙන තුරුත් කකා බිබී හිටිය හැටි පිළිබඳ කෙරෙන විස්තරය හා එහෙත් සිරිලාල් කොඩිකාර ලියූ ‘දියවැලක් ඔස්සේ’ යනුවෙන් එන මතක සටහන් සමුද්‍රය ඒ ගණයේ කෑම බීම් ගැන ලියැවුණු පොතක් නොවේ. ඒ කෘතිය එම තලය ඉක්මවූ අවදි වූ මතයකින් යුතුව තමන් ජීවත් වූ සමාජය හා ජනතාව කෙරෙහි පෑ දයාවන්ත කැඩපතක් සේ හැඳිනගත හැකිය. ආගමික සන්නිවේදන පසුබිමකින් නිර්මාණ ලෝකයටත්, ජනමාධ්‍ය ලෝකයටත් පිවිසුණු සිරිලාල් කොඩිකාර, මානව දයාවෙන් සිය කාර්යභාරය ඉටුකරන ජනමාධ්‍යවේදී නිර්මාණ ශිල්පියෙකි. ඔහුට උපහාසය මැනැවින් හුරු පුරුදුය. ඔහු එහි නව ප‍්‍රවණතාවක් බිහිකළ අයකු ලෙස ඉතිහාසයට ඇතුළු වන්නේය. ඔහු දේශීය හා විදේශීය ජනශ‍්‍රැතිය බෙහෙවින් ඇසුරු කළ සන්නිවේදකයෙකි. මෑතකදී ඔහු ‘අප‍්‍රිකානු ජනකතා’ කීපයක සිංහල පරිවර්තන සංග‍්‍රහයක් පළ කළේය. කලකට උඩදී පේ‍්‍රමසිරි කේමදාස සංගීතවේදියා සංගීතවත් කොට රංගගත කළ ‘රජ්ජුරුවන්ට අං ඇවිත්’ යන නාට්‍ය පිටපත ලියුවේ සිරිලාල් කොඩිකාරය. ඊට පාදක වී ඇත්තේ පෙරදිගට හා අපරදිගට පොදු වූ ජනකතාවකි. එම ජන කතාවේ හරය මැනවින් වටහාගත් කොඩිකාර කවියා අපූරු ප‍්‍රතිභාවයකින් යුතුව ප‍්‍රතිනිර්මාණය කළේය. ජනශ‍්‍රැති ප‍්‍රතිනිර්මාණයක් නූතන ලෝකයට කෙතරම් බලපෑවේද යත් එම නිර්මාණය වාරණ නීතිවලට හසු වී අතරමඟ නතර විය. එහෙත් ඔහු මුලින් ‘බකවත’ යනුවෙන් ලියූ කාව්‍ය නිර්මාණය අද ජනප‍්‍රිය ඔපෙරා නාට්‍යයක් වූ ‘මානසවිල’ නමින් රසිකයෝ හඳුනාගෙන සිටිති. මානසවිල හෙවත් බකවත’ පන්සිය පනස් ජාතක පොතේ එන බක ජාතකය හෙවත් බහුභානී ජාතකයේ ප‍්‍රතිනිර්මාණයකි. ‘කනේරු මල්’ යනු ජාතක පොතේ එන ‘කනවේර ජාතකයේ’ ප‍්‍රතිනිර්මාණයකි. එම ජාතක කතාවම එදිරිවීර සරච්චන්‍ද්‍රයන් ‘විලාසිනියකගේ පේ‍්‍රමය’ යනුවෙන් නවකතාවක් වශයෙන් ප‍්‍රතිනිර්මාණය කර ඇත.

බොහෝ ජනමාධ්‍යකරුවෝ සිය මාධ්‍යයෙන් වෙහෙසට පත්වෙති. එය හුදු වෘත්තියක් වශයෙන් සලකති. එහෙත් මා හඳුනන සිරිලාල් කොඩිකාර තම කාර්යභාරය අතිශය සැහැල්ලූවකින් මෙන්ම වගකීමකින් යුතුව ඉටුකරන්නෙකි. ඔහු පුවත්පත් පිටු පුරවන හෑලිකරුවකු නොවන්නේ එබැවිනි. ඒ වෙනුවට ඔහු ලියන දැයින් පුවත්පත් පිටු සැරසේ. අලංකරණය වේ. ඔහු කෙමෙන් ග‍්‍රහණය කරගන්නා දේ පෙරළා පාඨකයාට ප‍්‍රදානය කරන්නේ බෙහෙවින් විචිත‍්‍ර සිත්ගන්නා සුළු අයුරකිනි.

ආචාර්ය සුනන්ද මහේන්‍ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment