දැවැන්ත ගෝලීය ආහාර අර්බුදයක් අත ළඟ – එක්සත් ජාතීන්ගේ මහලේකම්

457

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ළඟදීම ගෝලීය වශයෙන් වසර ගණනාවක් පැවතිය හැකි දැවැන්ත ආහාර අර්බුදයක් නිර්මාණය වන ලකුණු පහළ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් පවසයි.

යුක්රේනයේ වර්තමානයේ පවතින යුද්ධය හේතුවෙන් ආහාර සැපයුම් ජාලය අඩපණ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම දැවැන්ත ආහාර අර්බුදය නිර්මාණය වන බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා යුක්රේනයේ අපනයනයන් යුද්ධය පටන් ගැනීමට පෙර පැවති තත්ත්වයට පත් කරලීමට අවශ්‍ය පියවර නොගතහොත් ලෝක ආහාර මිල ගණන් තවදුරටත් ඉහළ යෑමෙන් දුගී රටවල් දැඩි ආහාර අහේනියක් ඇති වනු ඇතැයි අවධාරණය කර සිටී. දැනටමත් පසු ගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී ලෝක ආහාර මිල සියයට 30 කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සඳහන් කර සිටී. යුක්රේනයේ පවතින යුද වාතාවරණය හේතුවෙන් දැනටමත් එරට විසින් යුද්ධයට පෙර වරායන් හරහා වෙනත් රටවලට විශාල වශයෙන් අපනයනය කළ ආහාර පිසීම සඳහා යොදා ගන්නා තෙල් (කුකින් ඔයිල්) හා ධාන්‍ය වර්ග වන බඩ ඉරිඟු හා තිරිඟු අපනයනය සීමා වී තිබේ.

දැනටමත් ලෝක වෙළෙඳපළේ අදාළ ද්‍රව්‍යන්ගේ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේදී පවතින තත්ත්වය පිළිබඳව සිය අදහස් පළ කරමින් ඔහු පවසා ඇත්තේ යුක්රේනයේ පවතින යුද තත්ත්වයට අමතරව දේශගුණික විපර්යාසයන් හා කොරෝනා වසංගතයේද බලපෑම හේතුවෙන් ලොව පුරා වෙසෙන මිලියන ගණනක ජනතාව ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ අර්බුදයකට මුහුණ දෙමින් මන්දපෝෂණය අධික කුසගින්න හා සාගතය වැනි ගැටලුවලට ගොදුරු වන බව පෙනී ගොස් ඇති බවයි. යුක්රේනයේ අඩපණව ඇති ආහාර නිෂ්පාදනය මෙන්ම රුසියාවේ හා බයිලෝ රුසියාවේ නිපදවන පොහොර නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කර නැවත වරක් ලෝක වෙළෙඳපළට සපයන තත්ත්වයක් ඇති කිරීම මෙම අර්බුදයට එකම විසඳුම බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment