දෑස පියාගත් ‘ඉසා’ – “ වික්ටෝරියා ඩෑම් එක හදන තැනටත් රස්සාවට ගියා… අන්තිමේ නැවතුණේ දුම්රියේ….”

9135

ශ්‍රී ලාංකීය පුංචි තිරය සිනමාව වේදිකාව ප්‍රභාමත් කළ විශිෂ්ට මිනිසකු ඊයේ නික්ම ගියේය. චරිත තුනක් ‘ඉසා’ ලෙස අපට හමුවුණ ඔහු සුමින්ද සිරිසේන නම් වන්නේය. මේ විශිෂ්ට රංගධරයා සමග මීට කලටක පෙර දිවයින කළ සංවාද සටහනකින් පහත කොටස නැවත පළකරනුයේ එතුමන්ට කරන ගෞරවයක් වශයෙනි.

“ඇත්තටම මාව නළුවෙක් කරන්න මුලින්ම අඩිතාලම වැටුණේ පාසලෙන්. ඒ කාලේ අපේ මව්බස පොත්වල ඒ වගේම කුමාරොදය පොත්වල පුංචි පුංචි නාට්‍යමය ජවනිකා තිබුණා. ඔන්න ඕවා අපි අන්තිමේ දී කළා. ඔය කාලේ තමයි අපිට නාට්‍ය රංගනය ගැන මුල්ම පාඩම ලැබුණේ. ඊළඟට මම ගමේ පාසලෙන් ඒ කියන්නේ පුස්සැල්ලාව මහා විද්‍යාලයෙන් අස්වෙලා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ගියා. එතැනදී තමයි මට නාට්‍ය කියන්නේ මොකක්ද? වේදිකාව කියන්නේ මොකක්ද කියලා නිවැරදි අවබෝධයක් ලබාගන්න පුළුවන් ගුරුවරු ටික හම්බවුණේ.

දෑස පියාගත් 'ඉසා' - “ වික්ටෝරියා ඩෑම් එක හදන තැනටත් රස්සාවට ගියා… අන්තිමේ නැවතුණේ දුම්රියේ….”

නාට්‍ය කේෂ්ත්‍රය ගැන කතා කරන කොට කිසිසේත්ම ආගන්තුක නොවන කිහිපදෙනෙක්ම එකල තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළා ආරියවංශ රණවීර, ජයසුමන දිසානායක, දයා අල්විස් වැනි අයගේ ඇසුර මට ලැබෙනවා. ආරියවංශ රණවීරයන් හදපු ගිරිකූට නාට්‍යයේ සීගිරි කාශ්‍යප මම රඟපෑ මුල්ම චරිතය.

ඒ කාලේ මුළු රටේ ම පුදුමාකාර නාට්‍ය ප්‍රබෝධයක් තිබුණා. පාසල්වලත් එහෙමයි. ගිරිකූට තමයි මාව නළුවෙක් හැටියට මුලින්ම සමස්ත ලංකා මට්ටමකට ගෙනාපු නාට්‍යය. ඊට පස්සෙත් අපි නාට්‍ය කළා. නාට්‍ය තරගවලට කොළඹට යන්න එන්න පටන් ගත්තා. ඔන්න ඔහොම තමයි මම මේ කේෂ්ත්‍රයට මුලින්ම ආවේ.

සුමින්ද රැකියාව පිණිස කොළඹට පැමිණීම ඔහු ගේ කලා ජීවිතයට ආශිර්වාදයක් විය. කොළඹ දී ඔහුට දයා අල්විස්ගේ උදව්වෙන් ධම්ම ජාගොඩයන්ව හඳුනාගන්නට ලැබිණි. එම හමුවීම ඔහුගේ කලා ජීවිතයේ තවත් එක් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්විය. රංගන ශිල්ප ලබන්නට වූදා පටන් ම රංග ශිල්ප ශාලිකාවේ සියලුම නිෂ්පාදනයන්හි චරිත සුමින්දට ලැබිණි. ප්‍රසිද්ධ වේදිකාවේ ඔහුට ලැබුණ මුල්ම චරිතය වූයේ මූදු පුත්තු නාට්‍යයේ ප්‍රධාන චරිතයක් සේ ගැනෙන දියෝනිස්ගේ චරිතයයි.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මහාසාර, කදාවළලු, මනමේ, භව කඩතුරාව, නාමෙල් වීරමුනිගේ වංසක්කාරයෝ, රංජිත් ධර්මකීර්තිගේ හස්තිරාජ මහත්තයා, හිරුනැති ලොව, ආඬි රැළේ නාඩගම, මේඝ, ධම්ම ජාගොඩගේ වෙස් මුහුණු, සමන් සුසිරිගේ තක්සලා නාඩගම, ෆීලික්ස් ප්‍රේමවර්ධන ගේ අන්ධකාරය, තිලක් ගුණවර්ධනගේ කොන්තනෝනා සමුගැනීම, සෝමපාල ගංගේගේ නාඩගම්කාරයෝ, දයානන්ද ගුණවර්ධනයන්ගේ අන්දරේලා, පරාක්‍රම නිරිඇල්ල ගේ විනිශ්චය, මියුරි සමරසිංහගේ සපතේරු හාමිනේ, සුසිල් ගුණරත්නගේ මුහුණු දෙකක්, සෝමරත්න දිසානායකගේ මීපුර වැසියෝ යන නාට්‍යවලට 1970 දශකය පුරා සුමින්ද රංගන දායකත්වය ලබාදීමෙන් සිංහල නාට්‍ය වේදිකාවේ අතිදක්ෂ නළුවෙකු වශයෙන් තහවුරු විය.

පාසල් කාලයට ගියොත් මොකද හිතෙන්නේ ?

ඒ කාලේ හරිම සුන්දරයි. මගේ තාත්තා නාට්‍ය නිෂ්පාදකවරයෙක්. පාසලේ නාට්‍ය කළාට පස්සේ තමයි මම දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවට ගියේ.

අපි ඔබේ රැකියාව කරපු කාලය ගැන කතා කළොත් ?

මම ඒ කාලේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි අංශයේ කාර්මික නිලධාරියෙක් විදිහට තමයි සේවය කළේ. මේ රස්සාව කරන ගමන් තමයි ධම්ම ජාගොඩයන්ගේ රංග ශිල්ප ශාලිකාවට බැඳුණේ. රස්සාව කරලා හවස පහට තමයි ඔහුගේ රංග ශිල්ප ශාලිකාවට ගොඩවෙන්නේ. එතැනදී තමයි මගේ වේදිකාවේ ගමන වඩාත් තීව්‍රවුණේ. මම රඟ පෑ මනමේ නාට්‍යයේ පොතේ ගුරු චරිතය මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

ඔය අතරේ ඔබ 1970 දී විතර රස්සාවක් හොයාගෙන මැරපෙරදිග බලා පිටපත් ්වෙනවා නේද?

ඒක අහම්බයෙන් තමයි සිද්ධවුණේ. මගේ මිත්‍රයෙක් තමයි කිව්වේ මැදපෙරදිග හොඳ රැකියාවක් තියෙනවා කියලා. ඒ වෙලාවේ මම නාට්‍ය කිහිපයක වැඩකරමින් හිටියේ. විදෙස්ගත වෙලත් මම ගොඩනැගිලි අංශයේ තමයි රැකියාව කළේ. ඕමාන් රටේ තමයි මම රස්සාව කළේ. අවුරුදු දෙකක් විතර තමයි රස්සාව කළේ. ඊට පස්සේ ලංකාවට ඇවිත් විවාහ වුණා.

දෑස පියාගත් 'ඉසා' - “ වික්ටෝරියා ඩෑම් එක හදන තැනටත් රස්සාවට ගියා… අන්තිමේ නැවතුණේ දුම්රියේ….”

එතකොට ලංකාවේ වික්ටෝරියා ඩෑම් එක හදනවා. මම එතැනත් රස්සාවට ගියා. එතැන මම රස්සාවට ගියේ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් විදිහට. එතැන අවුරුද්දක් විතර වැඩ කරන කොට ආපහු අවුරුද්දක කාලසීමාවකට මැදපෙරදිග රැකියාව ලැබුණා. ඒ කාලේ මම දිගට ම මැදපෙරදිග රැකියාව කරන්න තිබුණා. නමුත් මට ඒක ඇතිවුණා. ඊට පස්සේ මම ආපහු ලංකාවට ආවා. ඒ ආවට පස්සේ ගොඩක් දෙනෙක්ට මාව අමතකයි. 1979 දී තමයි මම මුලින්ම විදෙස්ගත වුණේ. දෙවැනි පාර ලංකාවට ආවේ 1884 අවුරුද්දේ.

එතකොට සුමින්ද සිරිසේන කියන චරිතය ගොඩක් දෙනෙකුට අමතක වෙලයි තිබුණේ?

ඔව්. ගොඩක් දෙනෙක්ට අමතක වෙලයි තිබුණේ. පස්සේ මට මියුරි සමරසිංහගේ සපතේරු හාමිනේ නාට්‍යයේ ද සෝමරත්න දිසානායකගේ මීපුර වැසියෝ නාට්‍යයේ ද රඟපාන්න කතා කළා. පස්සේ පරාක්‍රම නිරිඇල්ල වගේම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ද නාට්‍යවල රඟපාන්න අවස්ථාව උදාවුණා. ඊට පස්සේ මට දිගටම රඟපාන්න අවස්ථාව උදාවුණා. ඒ වුණත් මම දුම්රිය දෙපාර්තමේන්තුවේ පරණ රස්සාව අමතක කළේ නැහැ. ඒ හින්දම මම ආපහු දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳුණා. දුම්රිය දෙපාර්තමේන්තුවේ රස්සාව කරන ගමන් තමයි මම රඟපෑම සිදුකළේ.

හැබැයි ඔබට සිනමාවේ ලොකු ඉඩක් ලැබන්නේ නැහැ. අද වෙනකොට ඒ ගැන මොකද හිතෙන්නේ ?

මම චිත්‍රපට දහයක විතර රඟපාලා තියෙනවා. ටිකක් ලොකු චරිතයක් රඟපෑවේ සමනල තටු චිත්‍රපටයේ. සෝමරත්න දිසානායක තමයි ඒ චිත්‍රපටයට මට ආරාධනා කළේ.

කලා ජීවිතය දෙස ආපසු හැරී බැලුවොත් ?

ඇත්තටම හරිම තෘප්තිමත්. මම අන්තිමට රඟපෑවේ බොරළුපාර ටෙලිනාට්‍යයේ. 2010 අවුරුද්දේ තමයි මාව අසනීප වුණේ. මට අසනීප වෙලා අවුරුදු අටක් විතර වෙනවා. ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත් මට දුකක් නැහැයි ඔහු එදා කීවේය.

සුමින්ද ජීවිත රඟමඬලින් නික්ම ගිය ද ඔහුගේ මතකයන් අපේ හදවත්හි නොමැකී පවතින්නේය. ඔබට අපි නිවන් සුව පතමු.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment