දිගාමඬුල්ලේ බොදු උරුමය සුරකින නාමල්තලාව ශෛලබිම්බාරාම පුදබිම

70

ඓතිහාසික දිගාමඩුල්ලේ අසිරිමත්ම පුදබිම කුමක් දැයි යමකු ඇසුවොත් ඔබට නිතැතින්ම සිහියට නැඟෙන්නේ නාමල්තලාව ශෛලබිම්බාරාම පුදබිමයි. එදා ගිනියම් තහඩු මඩුවක් ලෙසින් තිබුණු මෙම පුදබිම අද ලොවටම සදහම් ධර්මය බෙදන අලංකාරයෙන් සපිරුණු ඉතා මනරම් පුද බිමකි. අම්පාර-බිබිල මාර්ගයේ පොල්වත්තේ මංසන්ධියේ සිට ටික දුරක් යන විට මෙම මාර්ගය ආසන්නයේ ඇති මෙම මනරම් පුදබිම හමුවේ.

නාමල්තලාවේ පිහිටා ඇති ධර්මාශෝක ධර්මායතන පිරිවෙනේ ශිෂ්‍ය හිමිවරුන් තිස් දෙදෙනකු සිප්සතර හදාරති. ධර්මධර, විනයධර, දැන උගත් භික්ෂුන් වහන්සේලා බවට පත් වෙමින් සිටිති.

මෙම පින්බිමේ ඇති සුවිශේෂීත්වය වන්නේ ගොඩනැඟිලි ඉදිකරමින් පමණක් නොව යහපත් සමාජයක් ගොඩනඟන්නට උත්සාහ දරනවා වෙනුවට සදහම් ධර්මයේ හරය තුළින් යහපත් සමාජයක් උදෙසා මහා මෙහවරක් සමාජගත කිරීමය.

මෙම නාමල්තලාව ශෛලබිම්බාරාමය හෑගොඩ ඉන්දසාර සඟ පරපුරට අයත් පුදබිමකි. උතුරු නැඟෙනහිර අධිකරණ සංඝනායක පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමිපාණන්ගේ මඟපෙන්වීම යටතේ වත්මන් විහාරාධිපති ධුරය හොබවනු ලබන්නේ අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, නැඟෙනහිර ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපති, නාමල්ඔය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණන්ය.

දිගාමඬුල්ලේ බොදු උරුමය සුරකින නාමල්තලාව ශෛලබිම්බාරාම පුදබිම

නැඟෙනහිර පළාතේ රණවිරුවන් වෙනුවෙන් ඉදිව ඇති පළමු සහ එකම දාගැබ වන්නේ මෙම පුදබිමේ ඉදිවුණ රණවිරු සෑයයි. හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතා විසින් මුල්ගල තබා මෙහි වැඩ ආරම්භ කළ අතර බැතිමතුන්ට වන්දනාමාන කිරීමට ඇති දාගැබ සඳහා මුල්ගල තබන ලද්දේ හිටපු යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ සුරතිනි.

නාමල්ඔය ඉතිහාසයේ ප්‍රථම වරට අලි ඇතුන් සහිත පෙරහැරක් පවත්වමින් දිගාමඩුල්ලේ යශෝරාවය, පෞඪත්වය විදහාපන්නට මහා සංස්කෘතික මංගල්‍යයක් සිදු කළේ ගම්පහ නාරද හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙනි.

නාමල්තලාව ශෛලබිම්බාරාමාධිපති පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණන් මෙලස දිවයිනත් සමග දොඩමළු විය.

මාගේ ගුරුදේව, දිගාමඩුල්ලේ යතිවර සලකුණ උතුරු නැඟෙනහිර දෙපළාතේ සමථ බල සම්පන්න අධිකරණ සංඝනායක කිරිඳිවැල සෝමරතන නායක ස්වාමීන් වහනේසේගේ අනුශාසනා, උපදෙස් මගේ ජීවිතය සෝභමාන කරගන්නට මෙන්ම මේ පුදබිම දස දෙසට ධර්මය බෙදන පුදබිමක් බවට පත් කරන්නට හැකි වුණා. ඒ වාගේම අති සුන්දර පින්බිමක් බවට පත් වුණා. දිගමඩුල්ලේ වැළලී ගිය උරුමය ආරක්ෂා කරගනිමින් උන්වහන්සේ නායකත්වය ගෙනයන ගමනේදී උන්වහන්සේගේ මඟපෙන්වීම මත කටයුතු කරන්නට තරම් මා හට වාසනාව ලැබුණා.

මම දිනක් අභිමන්සලට ගියා. ඇස් පේන්නේ නැති, අත් පා අහිමි, කන් ඇසෙන්නේ නැති බොහෝ රණවිරුවන් රට වෙනුවෙන් සිරුරේ කෙටස් පූජා කර අපිට නිදහස ලබාදී ඇති ආකාරය දුටුවා. ඔවුන්ගේ අම්මලා පැමිණ කතා කරාට ඇහන්නේ නැහැ. ඇතමුන්ට අම්මලාව පේන්නේ නැහැ. ඒ අම්මලා උතුරා යන දාරක සෙනහසෙන් දෙනෙතින් කඳුළු කැට කඩාවැටෙද්දී තෙත රෙදි කෑල්ලක් අරන් ඒ රණවිරුවන්ගේ සිරුර පිහිදාලා බුදු සරණයි කියලා කඳුළු සලමින් ගෙදර යනවා. ඒ සිදුවීම දැක්කාම මගේ හිතේ සිතුවිල්ලක් ඇති වුණා. ඒ අභීත රණවිරුවන් කළ මෙහෙය වෙනුවෙන්, පොදු මහජනතාවගේ සහ පරිත්‍යාගශීලීන්ගේ උපකාරයෙන්, යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්, රණවිරු සෑයක් ඉදිකරන්නට ලැබීම සුවිශේෂී සිදුවීමක් ලෙසයි මා දකින්නේ.

කරුණාව තියෙන්න ඕනෙත් පන්සලේ නැත්තෙත් පන්සලේ. සමහර වෙලාවට දායකයන් සිමෙන්ති කොට්ට සියයක බරක් ඔළුව උඩ තියන් තමයි පන්සලට එන්නේ. සමහර වෙලාවට පන්සල් වලින් තවත් සිමෙන්ති කොට්ට සීයක බරක් ඔළුවේ තියනවා. එහෙම වුණාම ඒ මනුස්සයාගේ සුෂුම්නාවත් කැඩෙනවා. ඒ නිසා මිනිසුන් පන්සල පිළිබඳව පසුබෑමකට ලක්වන අවස්ථා තියෙනවා. අපේ ජීවිතය තුළ අපි පුරුදු පුහුණු කළ ගුණාංග සමුදායක් තියෙනවා. දයාව, කරුණාව, සංවේදී බව, මහණකම අවංකකම තියෙනවා. අපේ ළඟ ඉල්ලීම් නැහැ. අපේ පන්සලට දහස් ගණනක සෙනඟ වැල නොකැඩී එනවා. ඒ අය දන්නවා හාමුදුරුවො සරල කෙනෙක් කියලා.

දිගාමඬුල්ලේ බොදු උරුමය සුරකින නාමල්තලාව ශෛලබිම්බාරාම පුදබිම

අපේ පන්සලේ සුදු රෙදි එකතු කරන, අටපිරිකර එකතු කරන, පුටු එකතු කරන, වියළි සලාක එකතු කරන ව්‍යාපාර නැහැ. කරුණාවෙන් දයාවෙන් ලොව්තුරා බුදුහිමිගේ සදහම් ගුණ මහිමයෙන් අපි නිරන්තරයෙන් මහා පිංකම් සිදු කරනවා. වසරක කාලයකින් විශ්ව ශක්තිය එකතු වන දිවා රාත්‍රී පින් වැඩෙන අඩි 60ක් පමණ දිගින් යුත් සැතපෙන පිළිම වහන්සේ නමක් වසරක කාලයක් තුළ ඉදිකරන්නට අපට හැකි වුණා. ඒ සඳහා සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂක ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. බියන්වල මහතාගේ සුවිශාල දායකත්වයක් ලැබුණා. එතුමාගේ උපදෙස් මත නිරන්තරෙයන් සිවිල් ආරක්ෂක භටයන්ගේ ශ්‍රම දායකත්වය ලැබීම තුළ අපිට මෙම පින්බිම දිනෙන් දින දියුණු වන අසිරිමත් පුදබිමක් බවට පත් කරන්නට හැකි වුණා. ඒ සමග සිවිල් ආරක්ෂක බළකායේ අම්පාර අණදෙන නිලධාරි කර්නල් රංජිත් එදිරිමුනි මහතා නිරන්තරයෙන් සිය භට පිරිස යොදවමින් නිසි සහය ලබාදෙනවා. දිවා රාත්‍රී පන්සල පිළිබඳව සොයා බලමින් මහා කරුණාවෙන් යුක්තව උදව් පදව් කරනවා. ඒ නිසා අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ සහ අම්පාර අණදෙන නිලධාරි තුමාගේ නිරන්තර සහය මත 22 වැනිදා සිට 26 වැනිදා දක්වා අපට මෙවර දින පහක් පුරා පවත්වනු ලබන දිගාමඩුල්ල මහා වෙසක් කලාපය නාමල්තලාව පින්බිමේදී පවත්වන්නට කටයුතු සුදානම් කරන්නට හැකිවීම ඉතා සුවිශේෂී කරුණක් ලෙස මා දකිනවා.

යුද්ධය නිමා කිරීමේදි ගම් බිම් රකින්නට නිසි දායකත්වයක් දුන් සිවිල් ආරක්ෂක බළකායේ විරෝධාර රණවිරුවන් අද වෙහර විහාර දියුණු කරමින් රට සංවර්ධනය කරන්නට මහා දායකත්වයක් ලබාදෙනවා. ලබන වසරේ වෙසක් මහා මංගල්‍යයට කුලදරුවන් පනස් දෙනකු සසුන්ගත කරන්නට කටයුතු කරනවා.

සුව පහසු සංඝාරාම ඉදිකරනවාට වඩා බුදු ගුණ බුදු රුව සිතෙහි දරාගෙන හදවත බුදු කුටියක් බවට පත් කරගෙන බුදු හිමියන්ගේ චරිතයේ අසිරිමත් අවස්ථාවක් නිර්මාණය කිරීමට හැකිවීම, සංසාරයේ ලැබූ මහා භාග්‍යයක් ලෙසයි මා සලකන්නේ.

සිවුර දාගත්ත ගිහියන් ඉන්න පන්සල්වල ආයුර්වේද රෝහල් දැම්මා නම් මැණික්හාමි අම්මට, සුදු බණ්ඩා උපාසක මහතාට ගිහිල්ලා තෙල් බෙහෙත් ටිකක්වත් ගන්න පු`ඵවන්. සිවුර දාගත්ත ගිහියන්ට මම විරුද්ධයි. මම මහණකම මනුස්සකම තිබෙන හිමිවරුන්ට කැමතියි යනුවෙන් නාරද හිමිපාණෝ අදහස් දක්වමින් පවසා සිටියහ. මෙම පින්බිම වෙනස්ම පුදබිමකි. මහා වැස්සේ වුව ද ධාතු මන්දිරයට සහ බුදු පිළිම වහන්සේලාට දිනපතා වත්පිළිවෙත් නිරන්තරයෙන් සිදු කරති. ඒ නිසා මෙම මහා පින්බිම නිරන්තරයෙන් විශ්ව ශක්තිය හිමිවන මහා පින්බිමක් බව ජනතාව තුළ මහා විශ්වාසයක් ඇත. පසුගිය කොරෝනා සමයේ අවට පන්සල් සියල්ලේම වාගේ ගේට්ටු ඉබි යතුරු දමමින් වසා දමා බණට දානෙට පාංශුකූලයට නොගොස් ඇතැම් හිමිවරුන් සැඟව සිටින්නට වූහ. නමුත් නාමල්තලාව ශෛලබිම්බාරාම පුදබිම ඒ කාලයෙත් දායකයන්ට විවෘත විය. ඔවුහු දන් පැන් ගෙන ආහ. හාමුදුරුවරු බණට දානෙට පාංශුකූලයට වැඩියහ. අවට පන්සල්වල බොහෝ හිමිවරුන් සැඟව සිටිය ද කොරෝනා වෛරසය ගොදුරක් බවට පත් වෙද්දී නාමල්තලාවේ කුඩා හිමිනමකටවත් කොරෝනා වෛරසයෙන් පීඩාවක් ඇති නොවුණි.

නාරද හිමිපාණන් සිය ප්‍රධාන ශිෂ්‍ය හිමිනම වූ නාමල්ඔය විද්‍යාලයේ ආචාර්ය සමගිපුර විමල හිමියන් සමග එකතු වෙමින් ඔවුන්ගේ වැටුපෙන් වතුර බෝතල් දහස් ගණනක් මිලදීගෙන කොරෝනා වසංගතය දුරුවීම සඳහා පිරිත් දේශනාවන් සිදුකර ගම් බිම් පුරා ඉසිමින් ජනයාට බෙදා වසංගතයෙන් දායකයන් බේරාගන්නට මහා වෙහසක් ගන්නට වූහ.

දිගාමඬුල්ලේ බොදු උරුමය සුරකින නාමල්තලාව ශෛලබිම්බාරාම පුදබිම

අලුයම අවදි වන නාරද හිමියන් තමන්ට නියමිත බිම්කඩ අතුගා පිරිසිදු කරයි. ගුරු හිමියන් යන මග යන ශිෂ්‍ය හිමිවරු ද එලෙස කටයුතු කරති. ඒ අනුව අක්කර අටකින් යුක්ත මෙම පින්බිම දර්ශනීය මනස්කාත්න සිත්ගන්නාසුලු පුදබිමක් බවට පත්වේ. වෙනත් ස්ථානවල මෙන්ම උත්සවයක් පවතින විට ටොන් ගණනක් කුණු කසළ මාස ගණනක සිට අදින්නට වුවමනා නැත. ඕනෑම අවස්ථාවකදී මහා උත්සවයක් කරන්නට මෙම පින්බිම සූදානම්ව ඇත.

උතුරු නැඟෙනහිර සමථ බල සම්පන්න අධිකරණ සංඝනායක පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමිපාණන් වහන්සේ මෙලෙස අදහස් දැක්වූහ.

ගම්පහ නාරද හිමියන්ට මම මෙම පුදබිම භාරදුන්නේ මෙම ස්ථානය අරාජිකව පැවැති කාලයේදී. අද මෙම පුදබිම දැකුම්කලු අංගසම්පූර්ණ පුදබිමක් බවට පත්කර තිබෙනවා. අද ශිෂ්‍ය හිමිවරුන් 32 දෙනකු පමණ ඉගෙනුම ලබමින් සිටිනවා. අද දරුවන් සියදහස් ගණනක් දහම් පාසල් අධ්‍යාපනය ලබනවා. නාරද හාමුදුරුවන් සකලාංගයෙන් පන්සල දියුණු කළ ඉතා දක්ෂ හිමිනමක්. ත්‍රස්තවාදී කලබල සමයේ පවා කල්මුණේ විද්‍යාලයේ සිංහල දරුවන් හට අධ්‍යපනය ලබාදෙන්නට කටයුතු කළා. ගුරු හිමියන් ලෙසින් මට විශාල සතුටක් දැනෙනවා, නාරද හිමියන් මේ ආකාරයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව යැයි සෝමරතන නාහිමියන් පවසා සිටියේය.

දිනක් ගම්පහ නාරද හිමියන් අම්පාර බස් නැවතුම්පළේ සිටියදී යම් කතාවක් ඇසුණි. අම්පාර සිට බිබිල හරහා ගමන් ගන්නා ලංගම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර මහතා, ගෙදරින් දවල් කෑමට බත් පාර්සලයක් නොදෙන නිසා කඩවල් වලින් ජරාව කන්න වෙලා තියෙනව යැයි වේදනාවෙන් යුක්තව කතා කළහ. ඊට පසු දින සිට මේ වන තෙක් වසර හතකට ආසන්න කාලයක සිට අදට ද එම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර මහත්වරුන්ට දිවා ආහාරය ලබාදීමට නාරද හිමියෝ කටයුතු කරන්නට වූහ.

මෙම පුදබිම සැමදා දන්සලක් වැනිය. පැමිණෙන බොහෝදෙනකු නැවත පිටව යන්නේ ආහාරක් වේලකින් සංග්‍රහයක් ලබාගෙනය. එසේ නොමැති නම් අඩුම තරමින් කහට කෝප්පයකින් වත් සප්පායම් වෙමිනි. බොහෝ පන්සල්වල කරනු ලබන්නේ දායකයන්ට බර පටවා මුදල් පොට්ටනි ගැසීමය ව්‍යපාර කිරීමය. නමුත් මෙම පුදබිම එයට හාත්පසින්ම වෙනස්ය. පන්සලෙන් ගමට මහා කරුණා ගුණයෙන් යුක්තව උදව් කිරීමට නාරද හිමියන් කටයුතු කරන්නේ උතුරා යන මනුෂ්‍යත්වයෙන් යුතුවය. විටෙක දිළිඳු ජනතාවට වියළි ආහාර ලබාදෙති. කිරි පිටි නොමැතිව හඩන දරවන්ට පිටි පැකට්ටුවක් ලබාදෙති. අතේ මුදල් නැතිනම් කඩයකින් ණයට හෝ ලබාදෙන අවස්ථා ඕනෑ තරම් තිබේ. ඇතැම් රෝගීන් හට බෙහෙත් ගන්නට මුදල් නොමැතිව ළතවෙන විට අතේ තිබෙන මුදල් ලබාදීමට තරම් නාරද හිමියන් නිර්ලෝභීය.

පසල් යන දරුවන්ට පොත් පත් ඇතු`ඵ පාසල් උපකරණ ලබාදෙති. ඔවුන්ට මහා කරුණාව පාති. ඒ අනුව පන්සල ව්‍යාපාර කරනා ස්ථානයක් නොව පින් දහම් කරනා, මහා කරුණාව පිරී ඉතිරී යන පුදබිමක් බවට පත් කිරීමට උන්වහන්සේ කටයුතු කරන්නේ, රටට දැයට මහා ආදර්ශයක් ලබාදෙමිනි. ඒ තමන්ගේ ගුරු හිමියන් වූ සෝමරතන නාහිමිපාණන් යන මග යමිනි. ඒ අනුව නාරද හිමිපාණන්ගේ ශිෂ්‍ය හිමිවරු ද නායක හිමි යන මග යමින් සිටිති.

දිගාමඬුල්ලේ බොදු උරුමය සුරකින නාමල්තලාව ශෛලබිම්බාරාම පුදබිම

නාරද හිමිගේ දායකත්වය මත රට පුරා පැල්පත් වැනි කුඩා නිවාසවල සිටි බොහෝදෙනෙක් අද ආරක්ෂිත ආකාරයෙන් නිවෙස්වල හොඳින් ජීවත් වෙති. උදව් ලැබූ දරුවන් අද විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබයි. ශිෂ්‍ය හිමිවරුන් අද පරිවේණාධිපතිවරු, පාසල් ගුරුවරුන්, රාජකීය පණ්ඩිත හමුදුරුවන් ලෙසින් කටයුතු කරමින් සිටියි.

නැඟෙනහිර ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපති ලෙසින් නාරද හිමිපාණන් අභීතව හඬ අවදි කරමින් උරුමය සහ පරිසරය ආරක්ෂාකර ගැනීම සඳහා සමාජ සත්කාර්යයන් රැසක් සිදු කරමින් සිටියි.

සම්මානලාභී චිත්‍ර හා මූර්ති ශිල්පී එස්.සී.එස්. කුඩලිගම නිර්මාණ ශිල්පියා විසින් නිර්ාමණය කළ අඩි හැටක දිගින් යුත් මෙම සැතපෙන පිළිම වහන්සේ වන්දනාමානයට 22 වැනි දින විවෘත වන්නේ උතුරු නැඟෙනහිර අධිකරණ සංඝනායක පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමියන්ගේ මූලිකත්වයෙනි. සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂක ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්. එස්. බියන්වල මහතාගේ සුරතින් බොහෝ අරාධිත අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙනි.

සල්පිල් නැති, ආධාර පත්‍ර නැති මෙම අපූරු පුදබිමට ඔබත් දිනක් පැමිණියහොත් මෙම වෙනස අත් විදින්නට හැකියාවක් ලැබෙනු ඇත. ඒ නිසා බොහෝදෙනකු නාරද හිමිපාණන්ගේ වැඩපිළිවෙළ පිළිබඳව පැහැදීම නිසා උදව් උපකාර කරති. ඔබටත් මෙම මහා මෙහවරට යම් දායකත්වයක් දෙන්නට කැමැත්තක් ඇති වුවහොත් 075 8654816 යන දුරකථන අංකයෙන් ඒ පිළිබඳව තොරතුරු ලබාගත හැක.

● සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment