ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක, එහි නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට දමිළ ප්රගතිශීලී සන්ධානය තීරණය කර ඇත.
දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායක පලනි තිගාම්බරම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (06දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
දමිළ ජනතාවගේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ නිවාස, අධ්‍යාපනය, යටිතල පහසුකම් සහ වතු කම්කරු වැටුප සම්බන්ධයෙන්ද සිය ජනතාවට ස්ථිර විසඳුම් ලබාගැනීමේ අරමුණින් සමගි ජන බලවේගයේ අපේක්ෂක, සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව එම මාධ්‍ය හමුවේදී එම සන්ධානයේ නායකයෝ කියා සිටියහ.
සිය සන්ධානයේ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව සමගි ජන සන්ධානය සමග අවබෝධතා ගිවිසුමකටද එළැඹ ඇතැයි දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේය.
ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ සහ ජාතික කම්කරු පෙරමුණ යන පක්ෂ දමිළ ප්රගතිශීලී සන්ධානය නියෝජනය කරනු ලබයි.
සුජීව තත්සර