ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය සිකුරාදා අවසන් වුණි. ඒ තරගාවලියේ සමස්ත ගෞරවය ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරග දෙකම දිවා තරග ලෙස පැවැත්වූ අතර, තරග දෙකේම කාසියේ වාසිය හිමිවූයේ ශ්‍රී ලංකාවටය. ඒ අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක තරග දෙකේදීම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

දිනනකොට ක්‍රිකට් මරු

මෙම තරග දෙක අතරින් පළමු තරගය අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගත් තරගයක් වීමත්, කණ්ඩායම් දෙකටම නියමිත පන්දුවාර 50 අවසන් වනතුරු කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි වීමත් යන කරුණු නිසා ඉතා සුවිශේෂ තරගයක් වුණි. පළමු තරගය ආරම්භයේදීම බොහෝ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් තුළ කනගාටුවක් ඇති කරමින් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුළු 5ම ලකුණු 55 ක් තුළ දැවී ගියහ. ප්‍රේක්ෂකයන් එය හැඳින්වූයේ දහවල් පෙරහැරක් ලෙසය. තරගය තුළ මෙරට පිතිකරුවන් දැක්වූ අපරික්ෂාකාරී පිතිකරණය නිසා පළමු තරගය පිළිබඳ ජයග්‍රාහී අපේක්ෂාව ප්‍රේක්ෂකයන් තුළ ඇති වූයේ නැත. කෙසේ වෙතත් 6 වැනි කඩුල්ලට නායක චරිත් අසලංක සහ දුනිත් වෙල්ලාලගේ අතර ඇති වූ ලකුණු 67 ක සබඳතාවය ශ්‍රී ලංකාවට කිසියම් සහනයක් හිමි වූ අවස්ථාවක් ලෙස සටහන්විණි. කෙසේ වෙතත් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකි වූ හොඳම කඩුළු සබඳතාවය වූයේ 9 වැනි කඩුල්ල සඳහා නායක චරිත් අසලංක සහ එශාන් මාලිංග අතර ඇති වූ ලකුණු 79 ක සබඳතාවයයි. ලකුණු 135 කට කඩුළු 8 ක් දැවී ගොස් සිටි අවස්ථාවක ඇතිකරගත් මෙම සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට ලකුණු 214ක් කරා තම ලකුණු පුවරුව රැගෙන යෑමට හැකිවීම විශේෂත්වයකි. මෙහිදී 9 වැනි කඩුල්ල සඳහා ලබාගත් එම ලකුණු 79 න් ලකුණු 78 ක් ම ලබාගැනීමට නායක චරිත් අසලංක සමත්වීම කැපී පෙනුනි. කෙසේ වෙතත් මෙම තරගයේ කතා කළ යුතුම ක්‍රීඩකයා බවට පත් වූයේ එශාන් මාලිංගයි. ඒ එශාන් විසින් අතිශය පීඩනයක් යටතේ පන්දු 26 ක් පුරා එක් ලකුණක් පමණක් ලබා තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් නායක අසලංකට දැක්වූ වූ අසහාය සහයයි. තම කණ්ඩායමේ කඩුළු 8 ක් බිඳී ගිය පසු ලකුණු 49ක් රැස්කරගෙන සිටි අසලංක එතැන් සිට ක්‍රියාත්මක වී පන්දු 126 ක් තුළ තම නමට ලකුණු 127ක් ලබාගැනීම ඇත්තෙන්ම ක්‍රිකට් පිටියේ දැකගත් දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකිය හැක. එසේම එය වඩාත් අනර්ඝ වන්නේ ලකුණු 214 ක ලකුණු ප්‍රමාණය රැකගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වීමයි.

ලකුණු 215 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි නායක ස්ටීව් ස්මිත් ප්‍රමුඛ ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දු වාර 34 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 165 ක් පමණි. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කිසිවෙකුටවත් අර්ධ ශතකයක් හෝ ලබාගැනීමට නොහැකි වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මහේෂ් තීක්ෂණ සිය පන්දු වාර 10 තුළ ලකුණු 40 කට කඩුළු 4ක් දවාගැනීමට සමත් වුණි. ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ පළමු තරගය ජයගත්තේ ලකුණු 49 කිනි. මෙම තරගයේ වීරයා සම්මානය හිමිවූයේ චරිත් අසලංකටය.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ දෙවැනි තරගයට අවතීර්ණ වූයේ ප්‍රබල මානසික ශක්තියක් ද සහිතවය. එසේම පළමු තරගයේ මෙන් නොව ඉතා ඉවසීමෙන් පිතිකරණයේ නිරතවීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වීම අප දුටු විශේෂත්වයකි. පළමු තරගයේ මෙන්ම පැතුම් නිශ්ශංක සහ කමිඳු මෙන්ඩිස් දුර්වල පිතිකරණ දක්ෂතාවයක් පෙන්නුම් කළත් කුසල් මෙන්ඩිස් සහ නායක චරිත් අසලංක ප්‍රබල පිතිකරණ හැකියාවක් මෙම තරගයේදී පෙන්නුම් කිරීම විශේෂත්වයකි. ඒ අනුව කුසල් සහ නිශාන් මදුෂ්ක අතර සහ කුසල් සහ අසලංක අතර ඇති වූ ලකුණු 90 ට වැඩි සබඳතාවයන් දෙක ශ්‍රී ලංකාවට දෙවැනි තරගයේ කඩුළු 4කට ලකුණු 281 ක් ලබාගැනීමට හේතු වුණි. මෙම තරගයේදී කුසල් මෙන්ඩිස් පන්දු 115ක් තුළ ලකුණු 101 ක් ලබාගත් අතර නායක චරිත් අසලංක පන්දු 66ක් තුළ නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 78 කි. මෙහිදී කිසිදු ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෙකුට සාර්ථක වීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අවස්ථාවක් ලබා නොදීම කැපී පෙනුන කරුණක් වුණි.

පසුව ලකුණු 282ක ප්‍රබල අභියෝගයක් වෙනුවෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවස්ථාව ලබාදුන්නේ නැත. ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109 ක් පමණි. ඒ අනුව අවසන් තරගයේදී ලබාගත් ලකුණු 174 ක දැවැන්ත ජයග්‍රහණයත් සමඟ සමස්ත තරගාවලියම ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි වුණි. දෙවැනි තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්ට හිමි වූ අතර සමස්ත තරගාවලියේ වීරයා බවට පත් වූයේ නායක චරිත් අසලංකයි.

සුනිල් සෝමසිරි


advertistmentadvertistment