තට්ටු මාරු බමුණු කුලයේ දේශපාලනය මෙරටින් තුරන් කළ යුතුම තැනට පැමිණ දැන් බොහෝ කල්ය. උතුරේ තරුණ නැඟිටීමත්, දකුණේ අවස්ථා දෙකක තරුණ නැඟීටීමත් අප දකින්නේ එවන් “සිස්ටම් චේන්ජ්” එකකට ගන්නා ලද උත්සාහයන් බවයි. මේ සියලු නැඟිටීම් පමණක් නොව, පසු ගිය සමයේ සිදුවූ “අරගල”, “පිකටින්” ප්‍රොටෙස්ට්” තමන්ගේ වාසියට හරවා මර්දනය කරන ධනවාදී, දූෂිත පාලකයන් “ගෙඹි දේශපාලනය” මගින් බල කඳවුරු ශක්තිමත් කරමින් බලයට ගිජුව හැසිරෙන අතර, රටේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආහාර, බලශක්ති, පරිසර සහ වෙනත් යටිතල පහසුකම් සියල්ලම ආරාජික කරමින් සහ ඒවා තුළ ඉහඳ පණුවන් සේ හැසිරෙන බැවින් රටට සැබෑ “සිස්ටම් චේන්ජ්” නොහොත් “ක්‍රම වෙනසක්” ඉල්ලා බහුතර ජනයා හඬ ගෑම අරුමයක් නොවේ.
කවුරුන් කෙසේ කීවද, වෙනසක අවශ්‍යතාව රටට මතුව තිබුණේ කලක පටන්මය. එම වෙනසක අවශ්‍යතාව යම් තාක් මට්ටමකින් 1972 සිට 1977 දක්වා කාලය තුළ සිරිමා බණ්ඩාරනායක යුගයේදී ඉටුවෙමින් පැවති බව ලියුම්කරුගේ අදහසයි. ශ්‍රී ලංකාව සැළකිය යුතු කාර්මීකරණයකට ලක්වූයේ එකල බැවිණි. මෙනිසාම රැකියා අවස්ථා බිහිවූ අතර, රටට මුදල් ලැබිණි. එතැනින් පසුව එළැඹෙන 1977 ජේ. ආර්. ජයවර්ධන පාලනය වෙනසක් අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලාංකික ජනයා කබලෙන් ළිපට ඇද දැමූ පාලන ක්‍රමයක් බවට පත් විය. එනම්, කෘෂිකාර්මික සහ කාර්මික යන දෙඅංශයෙන්ම රටේ නිෂ්පාදන ආර්ථිකය වළපල්ලට ඇද දමන ජයවර්ධන පාලන යුගය, විවෘත ආර්ථික වැඩපිළිවෙළකට රට ගෙන යන්නේ සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් පාලකයා වූ මිහායෙල් ගොර්බචෝප් විසින් එරටට හඳුන්වා දුන් “පෙරේස්ත්රෝයිකාව” නමැති එරටට විනාශකාරී වූ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙන් වූ ආර්ථික ප්‍රතිසංස්කරණයක් මෙරටට හඳුන්වා දෙමිනි. කා බී ප්‍රීති වන්නට මෙන්ම, ඇති හැකි එකාට අනුන්ගේ දෑ කොල්ල කන්නට අවස්ථාව උදාකර දුන් මෙම විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණය තුළින් සාරධර්මවලට ගරුකරන, දේශීය නිෂ්පාදනයට තැන දෙන නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට, කොමිස්, අල්ලස, දූෂණය, හොරකම, මැරකම රජ කරවන නැවෙන් ගෙනත් අත්‍යවශ්‍ය දෑ ගොඩබාන ආර්ථිකයක් බිහි කළේය. සිය හිතවතුන්ට සහ දේශපාලන හෙන්චයියන්ට හැදෙන්නට නිර්මාණය වූ මෙම පාලන යුගය මැතිවරණ සිතියම හකුළා දමන ලද යුගයක් බවට පත්විය. අත්තනෝමතික පාලන යුගයක් වූ මෙහිදී හොර ඡන්ද ව්‍යාපාරය රජකරවූ යුගයක් බවට පත් කළ අතර, විරුද්ධවාදී මත දරන්නන් ප්‍රබල ලෙස මර්දනය කරන යුගයක් බවට පත් විය. නොහොත් සදාකාලික පාලන කාලයක අවශ්‍යතාව අනුව කටයුතු කරන ලද මෙම යුගය වසර 17 ක් දක්වා ඇදී යන්නේ එහෙයිනි.
එනම්, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කොතරම් ප්‍රබල තත්ත්වයක සිටියත්, හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ට පහරදීම, ගැටඹේ විහාරයට කටුකම්බි ගැසීම, වාසුදේව නානායක්කාර, රෝහණ විජේවීර වැනි වාමාංශික නායකයන් අත්අඩංගුවට ගැනීම, 80 ජූලි වර්ජකයින් විශාල පිරිසකගේ රැකියා අහිමි කිරීම වැනි තුච්ඡ කටයුතු රාශියක් සිදුවූ කාලයක් ලෙස ජයවර්ධන පාලනය ඉතිහාසගත වෙයි. අවසානයේ එම පීඩනයට එරෙහිව වෙනසක් සඳහා නැගී සිටින දකුණේ සහ උතුරේ තරුණ කැරළිවල උච්ඡතම අවස්ථාවන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ ආර්. ප්‍රේමදාස පාලනයට ය. පෙර දැක්වූ පරිදි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන බලා සිටියදී දකුණේ තරුණ කැරැල්ලට ඝාතනයෙන්ම පිළිතුරු දෙන ප්‍රේමදාස පාලනය 60,000 ක් තරුණ-තරුණියන් මරා දමන ලද බව කියනු ලැබේ.
එනමුත් උතුරේ තරුණ කැරැල්ලට වෙනත් ආකාරයෙන් පිළිතුරු සොයන ප්‍රේමදාස පාලනය වරෙක මුදල් සහ අවි ආයුධ දෙමළ ත්‍රස්තවාදීන්ට ලබාදෙමින් වෙනත් අරමුණු මුදුන් පමුණුවා ගන්නට කටයුතු කළ බව ප්‍රසිද්ධ රහසකි. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන්න සඵත කරමින් ප්‍රේමදාස ජනාධිපතිවරයා ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වන්නේ අනුන්ගේ පව් තමා ගෙවන්නට යෑමේ ප්‍රතිඵලයක් ලෙසිනි. නොහොත් ජයවර්ධන පාලන යුගය මගින් තවදුරටත් වර්ධනය කරන ලද තරුණ අසහනය අවසානයේ ආයුධ සන්නද්ධ කැරළි දක්වා දුර දිග යෑම බරපතළ අයුරින් විමර්ශනය කළ යුතු සිද්ධීන්ය. එනම්, උතුරේද දකුණේද නොව, එදා තරුණ නැඟිටීමක් සිදුවන්නේ රටේ “ක්‍රම වෙනසක් – System Change˜ අපේක්ෂාවෙනි. උතුරේ යුද්ධය යුද්ධයකින්ම නිමකිරීම ගැන අප අද උදම් ඇනුවද, මේ ගහ මරා ගැනීමෙන් සහ 1971 මෙන්ම, 1988-89 දකුණේ තරුණ නැඟිටීම් දෙකෙන් රටට අහිමිවූ ජීවිත දහස් ගණනකි. 88-89 දී 60,000 ක් දෙනාද, 71 දී 5000 කට වැඩි තරුණ පිරිසක්ද, උතුරේ තිස් අවුරුදු යුද්ධයේදී තවත් 40,000 ක් දෙනාද ලෙස දැයේ ජීවිත අවම වශයෙන් ලක්ෂයක්වත් විනාශවූ බව පවතින විශ්වාසයයි. මේ අයගෙන් වැඩි දෙනා ජීවිතයෙන් වන්දි ගෙවා ඇත්තේ වෙනසක් බලන්නට හෝ වෙනසක් කරන්නට ගොසිනි.
සැබැවින්ම ලොව වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පවතින්නේ කසිකබල්, ජරාජීර්ණ, එකිනෙකා බලය වෙනුවෙන් මරාගන්නා දේශපාලන සංස්කෘතියකි. ඇමෙරිකාවේත් මැතිවරණ සඳහා මරාගන්නේ යැයි කෙනකුට තර්ක කළ හැකි නමුත්, අපට අවශ්‍ය එවන් වටපිටාවක ජීවත්වීම සඳහාද යන්න අප අප විසින්ම ප්‍රශ්න කරගත යුතුව ඇත. එසේම, පෙරකී පරිදි 1977 න් පසුව මුල්බැසගන්නා ලද කොමිස්, අල්ලස්, දූෂණ, හොරකම්, මැරකම්, අසාධාරණ පත්වීම්, පවුලේ උදවියට වැඩි සැළකිලි, ඇති හැකි එකා විසින් නැති බැරි එකා සූරා කෑම, නීති විරෝධී වනාන්තරහරණය, අනීතික වැලි-මැටි-පස්-ගල්-මැණික් ගොඩදැමීම වැනි සම්පත් විනාශය, ඉඩම් අයථා පරිහරණය වැනි මෙකී නොකී අක්‍රමිකතා රජයන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව නමැති මුතු ඇටය අද පත්වී නොමැතිද…? දේශපාලකයන්ට සහ උන්ගේ හෙන්චයියන්ට හිතූ හිතූ අයුරින් රට කන්නට අවස්ථාව දී අනිත් පිරිස අඳ, ගොළු, බිහිරන් සේ උඩ බලාගෙන ඉන්නට හැකිනම් පාලකයන්ට ඉතා හොඳය. අවස්ථාවාදී ලෙස එහාට-මෙහාට පනිමින් සිදුකරන “ගෙඹි දේශපාලනය” කට හුරුවූ කපටි, නාකි, වඳ බසින ලද දේශපාලකයන් (දේශපාළුවන්) පිරිසක් නිසා සමස්ත දේශපාලන ක්ෂේත්‍රය පමණක් නොව, රටම එපා වුණු තරුණ – තරුණියන්, වෘත්තිකයන් කී පිරිසක් රට අතහැර ගොස් තිබෙන්නේද..? එසේම, පවතින පාලන ක්‍රමය නිසාම අන්ත අසරණ වූ කාන්තාවන් ඇතුළු කී පිරිසක් මැදපෙරදිග කලාපයේ නිවෙස් තුළ තුට්ටු දෙකේ පඩියට අපමන ගැහැට විඳිමින් වහල් සේවයේ යෙදෙන්නේද..? තවත් කී දාහක් පිටරට වහල් කඳවුරු තුළ, අනාථ මඩම් තුළ දිවි ගෙවන්නේද..? කොටින්ම, රුසියානු – යුක්රේන යුද්ධයට වහල් හමුදා සේවයට පවා පිරිස් යන්නේ රටේම හිඳ හරි හැටි ආදායමක් ගන්නට දෙයක් නැති නිසාය.
එබැවින් මේ තට්ටු මාරු බමුණු කුලයේ දේශපාලනය මෙරටින් තුරන් කළ යුතුම තැනට පැමිණ දැන් බොහෝ කල්ය. උතුරේ තරුණ නැඟිටීමත්, දකුණේ අවස්ථා දෙකක තරුණ නැඟීටීමත් අප දකින්නේ එවන් “සිස්ටම් චේන්ජ්” එකකට ගන්නා ලද උත්සාහයන් බවයි. මේ සියලු නැඟිටීම් පමණක් නොව, පසු ගිය සමයේ සිදුවූ “අරගල”, “පිකටින්” ප්‍රොටෙස්ට්” තමන්ගේ වාසියට හරවා මර්දනය කරන ධනවාදී, දූෂිත පාලකයන් “ගෙඹි දේශපාලනය” මගින් බල කඳවුරු ශක්තිමත් කරමින් බලයට ගිජුව හැසිරෙන අතර, රටේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආහාර, බලශක්ති, පරිසර සහ වෙනත් යටිතල පහසුකම් සියල්ලම ආරාජික කරමින් සහ ඒවා තුළ ඉහඳ පණුවන් සේ හැසිරෙන බැවින් රටට සැබෑ “සිස්ටම් චේන්ජ්” නොහොත් “ක්‍රම වෙනසක්” ඉල්ලා බහුතර ජනයා හඬ ගෑම අරුමයක් නොවේ.
මෙවර ජනාධිපතිවරණයෙන් සිදුව ඇත්තේ රටේ බහුතර ජනයාගේ ඒ බලාපොරොත්තුවට විකල්පයක් ලැබීමය. රටට සුද්දාගේ නිදහස ලබා වසර 76 ක් ගතවනතුරු තට්ටු මාරු ක්‍රමයට බමුණු කුලය විසින් රට පාලනය කළද, ලෝකයේ මොනවට කරක් ගහන මේ බමුණන් අනෙක් රටවලදී අත්විඳින ජනතා සුබසාධක ආණ්ඩු ක්‍රම වෙනස මෙරට ජනයාට ලබාදී නොමැති අතර, තවදුරටත් Gen X,Y,Z සහ Alpha යන සුහුරු පරම්පරා එම අසාධාරණය විඳින්නට සූදානම් නැති බව 09 වැනි ජනාධිපතිවරණ ප්‍රතිඵල සාක්ෂි දරයි.
එනම්, නූතන “ක්‍රම වෙනස – System Change˜ ක බලාපොරොත්තුව ආරම්භ වන්නේ අනුර කුමාර දිසානායක හෝ ජාතික ජනබලවේගයෙන් නොවේ. පැසවමින් තිබුණු මෙම සමාජ අවශ්‍යතාව විශ්වවිද්‍යාල සිසු විරෝධතා තුළ නිරන්තරව පැවතියත්, සැබැවින්ම අහිංසක, කලාකාමී ලෙස එය එළි බහින්නේ ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපතිවරයා ලෙසින් පත්වීමත් සමග එක රැයකිනි. තරුණ-තරුණියන් රෑ එළිවනතුරා පැරණි තාප්ප, බිත්ති පින්තාරු කරන්නේ ඒ “ක්‍රම වෙනස” බලාපොරොත්තුවෙනි. තරුණ-තරුණියන් පුරන් කුඹුරු කොටා අස්වද්දන්නේ ඒ “ක්‍රම වෙනස” බලාපොරොත්තුවෙනි. කොටින්ම ලක්ෂ 69 ක ජනවරමක් ගෝඨාභයට ලැබෙන්නේ ඒ “ක්‍රම වෙනස” බලාපොරොත්තුවෙනි. සමාජවාදයක් ගැන කිසිදු තක්සේරුවක් නැති එහිදී රටේ ජනතාව අපේක්ෂා කරන්නේ අර්ධ මිලිටරිකාරයකු යටතේ රටට යහපත් පාලනයකි. නමුත් ගෝඨාභය ට නොතේරෙන මේ භාෂාව නිසා අවසානයේ වසරක බරපතළ “අරගලයක” අමිහිරි අත්දැකීම් විඳ රටක් වෙනස් කරන්නට තිබූ මෙම අර්ධ මිලිටරිකරුට 2022 දී රට අත්හැර පළා යන්නට සිදුවන අතර, ඒ නිසා හිස් තැන පුරවන ලද අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වසර දෙකක පාලනයෙන් පසු එළැඹෙන ජනාධිපතිවරණයේදී රටේ ජනතාව විකල්ප දේශපාලන දහරාවක නායකයකු ඉල්ලා සිටීම අරුමයක් නොවේ.
එනම්, ජාතික ජනබලවේගය සහ එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා මෙවර ජනාධිපතිවරණයෙන් තේරී පත්වීම ජනතා අපේක්ෂාවකි. හුදෙක් හිස් තැන් පිරවීමක් සඳහා නොව, අනුර දිසානායක තෝරාගනු ලැබීමෙන් ජනතාව, විශේෂයෙන් Gen X,Y,Z පරම්පරා අපේක්ෂා කරන්නේ රට දිනවන (සුහුරු) වැඩසටහනකි. මේ සඳහා අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගය සූදානම් බව පැහැදිලි නමුත්, ඔවුන්ගේ වැඩපිළිවෙළ කකුළෙන් ඇද අවුල් නොකිරීම අනෙකුත් බලවේගයන්ගේ වගකීමකි. කාලය සියල්ල විසඳනු ඇත යනුවෙන් කියමනක් ඇත. එසේම, අනුර කුමාර දිසානායක සහෝදරයා දේශපාලන ලෝකයට දායාද කළ වාමාංශික රතු බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා දිවි හිමියෙන් කටයුතු කරමින් ප්‍රකාශ කළා යැයි කියන අදහසක් වෙත අවධානය යොමු කිරීමද වැදගත් යැයි කල්පනා කරමි. එය මෙසේය, “අපි වේලාසනින් අවදි වුණෙමු. එහෙත් අප වේලාසනින් අවදි වූ පමණින් වේලාසනින් හිරු පායන්නේ නැත. නමුත්, කවදා හෝ දිනෙක හිරු පායද්දී… වේලාසනින් අවදි වී සිටීම අපට ප්‍රයෝජනවත්ව තිබෙනු ඇත.” යන්නය. සැබෑය, අනුර කුමාරගේ බලවේගයට රටේ, ජාතියේ ප්‍රශ්න කලින් හඳුනාගැනීමේ විශ්මිත හැකියාවක් තිබේ. නමුත් එම ප්‍රශ්න සඳහා විසඳුම් දෙන්නට අවස්ථාව මෙතෙක් තිබුණේ නැත. දැන් ඒ ගැලපෙන අවස්ථාව ජනතාව ලබාදී ඇත.
ජගත් කණහැරආරච්චි