දිනේෂ් ප්‍රියන්ත පැරා ඔලිම්පික් කමිටුවට සම්බන්ධ කර ගන්නවා

35

පැරා ඔලිම්පික් කමිටු සභාපති කර්නල් දීපාල් හේරත්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත වෛද්‍ය ආබාධිත තත්ත්වයෙන් මිදීම පිළිබඳව තමන් සතුටු වන බවත්, ඔහුට ගෞරවාන්විත සමුගැනීමකට අවස්ථාව ලබාදී, ඔහුව අනාගතයේ දී පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුවට සම්බන්ධ කර ගැනීමට තමා බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් මහතා පැවසීය.

කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ දී පෙරේදා (26 වැනිදා) රාත්‍රී විශේෂ ප්‍රකාශයක් කරමින් එම කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් මහතා ඒ බව පැවසීය.

ඉන්දියාව විසින් තමන්ට එරෙහි වන ක්‍රීඩකයන්ට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතාව නිසා ශ්‍රී ලාංකික පැරා ඔලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට, ඔහු දිනා ගත් රිදී පදක්කම සහ 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියට යෑමේ සුදුසුකම අහිමි වී, ඔහුට සිය ක්‍රීඩා දිවියෙන් ද සමුගැනීමට සිදුවීමෙන් පසුව ඇතිවූ තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඒ මහතා ඉහත අදහස් දැක්වීය.

ශ්‍රී ලාංකික පැරා ඔලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත මීට පෙර පැරා ඔලිම්පික් තරගාවලි දෙකකදී, ලෝක ශූරතා තරගාවලි දෙකක දී සහ ආසියානු තරගාවලි තුනක දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දීමට සමත් වූ ක්‍රීඩකයෙකු බව ද දීපාල් හේරත් මහතා පැවසීය.

ඔහු 2014 වසරේ සිට ජාත්‍යන්තර පැරා ඔලිම්පික් මලල ක්‍රීඩා සංගමයේ වෛද්‍ය සභාව විසින් අත් ආබාධිත එෆ්. – 46 කාණ්ඩය යටතේ තරග කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති ක්‍රීඩකයෙකු බවට සනාථ කර ස්ථිර කර සිටි ක්‍රීඩකයෙකු බව ද සභාපතිවරයා පැවසීය.

ඔහු 2014 වසරේ සිට අඛණ්ඩව, දිනපතා පුහුණුවීම්වල නිරත වී සිටි නිසා ඔහුගේ අතේ, වැළමිටෙන් පහළ කොටසේ යම් සුවවීමක් තිබී ඇති බව ද ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පැවසූ අතර මෙම තත්ත්වය පාදක කර ගනිමින් ඉන්දියාව විසින් යුරෝ 100 ක මුදලක්, ලෝක පැරා ඔලිම්පික් කමිටුව වෙත තැන්පත් කරමින් දිනේෂ් ප්‍රියන්තට එරෙහිව මෙම විරෝධතාව ඉදිරිපත් කර තිබූ බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර වෛද්‍ය හේතු මත විශ්‍රාම ලබා සිටින දිනේෂ් ප්‍රියන්ත, මෙම පැමිණිලි කිරීමත් සමග ලෝක පැරා ඔලිම්පික් කමිටුවේ වෛද්‍ය සභාව විසින් කැඳවා ඔහුගේ ක්‍රීඩා කිරීමේ අවස්ථා වලට අමතරව දෛනික ජීවිතයේ ඔහු ආබාධිත අත භාවිතා කරන ආකාරය පිළිබඳ වීඩියෝ දර්ශන සහිතව නිරීක්ෂණ සහ අධ්‍යයනයන් කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹී සිටින බව තමා වෙත දැනුම් දුන් බව ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පැවසීය.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment