දින දින අලුත් වන චීන – ශ‍්‍රී ලංකා සබැඳියාව

145

චීනයේ අසහාය නායක මා ඕ සේතුං සමග හිටපු අගමැනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය…

1911 වර්ෂයේ ෂින්හයි විප්ලවයෙන් චීන සමූහාණ්ඩුව ප‍්‍රකාශයට පත් කරන විට චීනය රාජ පරම්පරා 14ක් විසින් පාලනය කරන ලද වර්ෂ හාරදහසකට අධික ඉතිහාසයක් පසු කර තිබිණ. ෂියා රාජවංශයෙන් ඇරඹි මින්ග් රාජ වංශයෙන් අවසන් වූ එම රාජකීය යුග විවිධ යුද ගැටුම් සහ විවිධ දේශීය සහ විදේශීය පීඩා සඳහා මුහුණ දී තිබේ. 1911න් පසු රාජාණ්ඩු ක‍්‍රමය අවසන් කළ චීනය විවිධ බලසම්පන්න රාජ්‍යවල බලපෑමට යටත්ව අත්සන් කරන ලද ගිවිසුම්වලට විරෝධය පෑම ආරම්භ විය. මා ඔසදොන්ග් හෙවත් අප පාඨකයාට හුරු මා ඕසේතුං මේ යුගයේ සකි‍්‍රයව එම සටන් සඳහා කොමියුනිස්ට්වාදය නියෝජනය කරමින් පෙරමුණ ගත්තේය.

 ඒ අනුව 1949 වර්ෂයේ ඔක්තෝබර් පළමුවන දින බෙයිජිං නගරයේ තියන්අන්මන්් හෙවත් දිව්‍යමය සාමයේ දොරටුව නම් ස්ථානයේ ලක්ෂ තුනක චීන ජනතාව ඉදිරියේ මා ඕසේතුං ඓතිහාසික චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ ප‍්‍රකාශය ඉදිරිපත් කළේය. එය වර්තමාන චීන මහජන සමූහාණ්ඩුවේ ප‍්‍රභවය සටහන් කළේය. චීන ජනතාව මේ වර්ෂයේ ඔක්තෝබර් පළමුවන දින ජාතික දිනය ලෙස සමරනු ලබන්නේ එහි හැත්තෑ දෙවන වාර්ෂික සැමරුමයි.

දින දින අලුත් වන චීන - ශ‍්‍රී ලංකා සබැඳියාව
චීන ජනපති ෂි ජින්පින්ග් සමග හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා…

අට්ඨකතා යුගයට පෙර රචිත ග‍්‍රන්ථයක් සීහළවත්ථුප්පකරණයේ චීන ලෝක සහ චීන විෂය යන රූප දෙක දක්නට ලැබේ. මෙය චීන රූපය පාලි සාහිත්‍යයේ හමුවන පැරණිම අවස්ථාවක් සේ සැලකේ. කථාවස්තු 82කින් සමන්විත මේ කුඩා ග‍්‍රන්ථයේ භික්ෂූන් වහන්සේලා 31 නමකගේ වන්දනා ගමනක් පිළිබඳ කතාවක උන්වහන්සේලා ඉන්දියාව සහ චීනයේ සංචාරය කළ බව දැක්වේ. ක‍්‍රිව 411දී ලංකාවට පැමිණි ෆාෂියන් භික්ෂුන් වහන්සේ දෙරට අතර ආගමික සම්බන්ධතා තර කළහ.

 දකුණු ඉන්දියාවේ සිට පැමිණි වජ‍්‍රබෝධි ස්වාමීන් වහන්සේ හත්වන සියවසේ දී මෙහි පැමිණ ඉන් පසුව චීනයට වැඩම කොට සේවා සැපයූහ. එපමණක්ද නොව ඉන්පසු උන්වහන්සේගේ ශ‍්‍රී ලාංකීය ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වූ අමෝඝවජ‍්‍ර (ක‍්‍රි.ව 704-774* හිමියන්ගේ ආගමික සේවය චීනයට ලබාදීම පිණිස ආරාධනා කරන ලදී. ස්වකීය ගුරුවරයාගේ උපදෙස් පරිදි ඉන්දියාවේ ද සංචාරය කළ අමෝඝවජ‍්‍ර හිමි විශාල බෞද්ධ ග‍්‍රන්ථ ප‍්‍රමාණයක් චීනයට රැුගෙන ගියේය.

 තවද භික්ෂුණී ශාසනය සම්බන්ධයෙන් ද චීනය සහ ශ‍්‍රී ලංකාව අතර ගනුදෙනු ඇගයිය යුතු මට්ටමක පවතී. ඉතා වැදගත් ප‍්‍රවෘත්තියක් වන්නේ 738 වැන්නේදී දේවසාරා නම් භික්ෂුණිය තවත් භික්ෂුණීන් වහන්සේලා පිරිසක් ද සමග චීනයට ගොස් එහි භික්ෂුණී ශාසනය ස්ථාවරව පිහිටුවීමට සහයෝගය දැක්වීමය. ඊට පෙරද එලෙස ශ‍්‍රී ලාංකීය භික්ෂූණීන් වහන්සේලාගෙන් සැදුම්ලත් කණ්ඩායම් කිහිප අවස්ථාවකදීම ඒ සඳහා දායකත්වය සපයා තිබේ.

 ෆාහියන්, හියුං සියන්, ඉත් සින් වැනි භික්ෂූන් වහන්සේලා සහ වෙළෙඳ කණ්ඩායම් මාර්ගයෙන් ලංකාව බෞද්ධ රටක් ලෙස චීන අධිරාජයා සහ එම ජනතාව දැනගත් බව පෙනේ. ලංකාව මුතු මැණික් සඳහා වටිනා භූමියක් ලෙස දේශාටක චීන ජාතිකයන් මාර්ගයෙන් මෙන්ම වරින්වර ශ‍්‍රී ලාංකික රජවරුන් විසින් චීනයට යවන ලද රාජකීය දූතයන්ගෙන් දැනගත්හ. ලාංකීය රජතුමාගේ ත්‍යාග භෝග අතරට ඒවා ද ඇතුළත් විය. පළමුවන ගජබා රජතුමන් විසින් යවන ලදැයි සැලකෙන ක‍්‍රි. ව. පළමුවන සියවසේ චීන අධිරාජයා වෙත යවන ලද දූත පිරිස අත ඇත්දළ, ගව මහීෂාදින් ත්‍යාග කරන ලදී. ක‍්‍රි.ව. හයවන සියවසේ රාජ්‍ය විචාල ධාතුසේන යුගය මෙරට කෘෂි සහ වාණිජ කර්මාන්තවල ඉහළ ප‍්‍රබෝධයක් පැවති කාලයකි. එකල ශ‍්‍රී ලංකාව මුහුදු මාර්ගය ඔස්සේ වැටී තිබුණ සේද මාවතේ ප‍්‍රමුඛ මධ්‍යස්ථානයක් විය. බටහිර සහ ඈත පෙරදිග වෙළෙඳ කටයුතු සම්බන්ධ කරමින් ශ‍්‍රී ලංකාව චීන රාජ්‍ය සමග ඉහළ ගනුදෙනුවක් පවත්වාගෙන තිබේ.

 භාෂාව සහ සාහිත්‍ය වනාහි සංස්කෘතික ප‍්‍රවාහයේ වැදගත් අංශ දෙකකි. අනුරාධපුර යුගයේ සිටම සිංහල භාෂාවේ චීන රූප හෝ ඊට සම්බන්ධ රූප භාවිත කොට තිබේ. සිංහල සාහිත්‍යවරයන් චීනය පිළිබඳ අවබෝධයක් පැවති බව එයින් පැහැදිලි වේ. චීනච්චට්ටි චීනකඩු (චීන කඩු* චීනක්කණ්ණාඩිය, චීනපටස්, චීන අඩි වැනි පැරණි සහ නවීන රූප සිංහල සමාජය සතුව පැවති චීනය පිළිබඳ දැනීම ප‍්‍රකට කරයි. කෝට්ටේ යුගය එකලූ කළ තොටගමුවේ වෙහෙරවැසි ශ‍්‍රී රාහුල සංඝරාජයන් වහන්සේ මහාකාව්‍ය ආකෘතිය අනුගමනය කරමින් රචනා කළ කාව්‍යාශේඛරයේ චීනය ගැන සටහන් කළහ. සේනක පණ්ඩිතයාට ත්‍යාග භෝග එවන ලද රටවල් පිළිබඳ විස්තරයට චීනය ද ඇතුළත් කිරීමට උන්වහන්සේ අමතක කොට නැත.

 ශ‍්‍රී ලංකාව සහ චීනය අතර දැනට පවත්නා රාජ්‍යතාන්ති‍්‍රක ගනුදෙනු ඉතිහාසය 1957 පෙබරවාරි 7 වන දින එවකට අග‍්‍රාමාත්‍යවරයා වූ එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක සහ චීන අග‍්‍රාමාත්‍ය චොවු එන්ලායි විසින් අත්සන් කරන ලද ගිවිසුමෙන් ආරම්භ වේ. එසේවුවත් දෙරට අතර ඇතිකර ගත් රබර්- හාල් ගිවිසුම 1952 වර්ෂයේ ඞී. එස්. සේනානායක අගමැතිතුමාගේ කාලයේ අත්සන් කරන ලද්දකි. චොවු එන්ලායි අග‍්‍රාමාත්‍යවරයාට ශ‍්‍රී ලංකාවට පැමිණීම පිණිස ආරාධනා කරන ලද්දේ ඞී. එස්. සේනානායක අගමැතිතුමාගේ පරිපාලනය සමයේදී වුවත් එය සඵල වූයේ බණ්ඩාරනායක යුගයේදී බව පෙනේ.

 ඉන්පසු වරින්වර ශ‍්‍රී ලංකාවේ සහ චීනයේ රාජ්‍ය ප‍්‍රධානීන් සහ නිලධාරීන් සුහදශීලී දූත මෙහෙවර රැසක යෙදී තිබේ. 1949 වර්ශයේ ආරම්භ වූ චීන මහජන සමූහාණ්ඩුවේ අගමැතිවරයා ලෙස 1976 දක්වා එනම් චොවු එන්ලායිගේ අභාවය තෙක්ම එතුමා අගමැති ලෙස කටයුතු කළේය. ඔහු 1964 වර්ෂයේ නැවතත් ලංකාවට පැමිණයේය. ඉන්පසු 1990 සහ 2001 වර්ෂවල එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ සහ ලී පන්ග් සහ චූරොන්ග්ජී ලංකාවට පැමිණියහ. 2014 වර්ෂයේ වර්තමාන ජනාධිපති ෂි ජින්පින්ග් මහතාගේ පැමිණීම ද ලංකා ඉතිහාසයේ දෙරට අතර ගනුදෙනු ශක්තිමත් කළ ප‍්‍රධාන අවස්ථාවක් සේ සැලකිය හැකිය. 1961 සහ 1972 වර්ෂවල සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ද 1984 වර්ෂයේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ද 1996 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ධුර කාලයේ අවස්ථා ගණනාවක ද රාජ්‍යතාන්ත‍්‍රික සංචාරවල නියැලී තිබේ.


 * මහාචාර්ය  විමල් හේවාමානගේ
 කොළඹ විශ්වවිද්‍යාලයේ
 කොන්ෆියුසියස් ආයතනයේ අධ්‍යක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment