වසා දැමූ පාසල් 24ක් අද ඇරේඉතිරි 37 විවෘත කිරීම හෙට
මහනුවර පවිත්‍ර කරන Clean kandy ඊයේ සිටම ඇරැඹේ
මහනුවර දළදා මාළිගයේ දින දහයක් පුරා පැවැති සිරි දළදා වන්දනාව සැදැහැවතුන් ලක්ෂ හයකට පමණ වැඳ පුදා ගැනීමට ඉඩ සලසා ඊයේ (27 දා) පස්වරුවේ අවසන් විය.
වැඳ පුදා ගත් බැතිමතුන් අතර ආබාධ සහිත පුද්ගලයින් දසදහසක් සහ මාළිගා පරිශ්‍රය තුළ වූ විශේෂ වන්දනා පෝලිමෙහි හැට දහසකට ආසන්න පිරිසක් වන්දනා කළ බවට ගණනය කර තිබිණි.
ප්‍රවිශ්ට මාර්ග තුනට අදාළව Clean kandy වැඩසටහන යටතේ මහනුවර නගරයේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ඊයේ පස්වරු හයේ සිට ක්‍රියාත්මක කෙරිණි. ඒ සඳහා සියලුම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ස්වෙච්ඡා සංවිධාන ද මහනුවර නගර වැසියෝ ද සම්බන්ධ වූහ. එය අද (28 දා) දිනය පුරාද ක්‍රියාත්මක වේ.
පෝලිම්වල රැඳී සිටි ජනතාව අතරින් හත්දෙනකු මියගොස් ඇති අතර පන්සිය හැටකට ආසන්න පිරිසක් මහනුවර ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා තිබිණි. ඉන් වැඩි පිරිසක් විජලනය හේතුවෙන් සිහිසුන් වූ අය වූහ. ඒ අතරින් මියගිය එක් පුද්ගලයකු පෝලිමේ රැඳී සිටීමේ අපහසුතා මත ගෙලිඔය ප්‍රදේශයේ ඥාතියකුගේ නිවසට යාමේදී කාණුවකට ඇද වැටී මියගොස් ඇත.
දළදා වන්දනාව හේතුවෙන් වසා දැමූ පාසල් අතරින් 24 ක් අද විවෘත කෙරෙන අතර ඉතිරි පාසල් 37 හෙට (29 දා) විවෘත කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ආචාර්ය එස්. බී. අබේකෝන් මහතා පවසයි.
සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගරයේ පාසල් 61 ක් වසා දැමුණු අතර පාසල් 24 ක් අධික වාහන තදබදය සහ මාර්ග දුෂ්කරතා හේතුවෙන් වසා දැමීමට සිදුවූ බවද ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණ සිටි ත්‍රිවිධ හමුදාව නවාතැන් ගත් පාසල් 37 හි දුර පළාත්වල ඇතැම් බැතිමතුන් ද නවාතැන් ගත් බවත් තවදුරටත් පවිත්‍ර කිරීමේ කටයුතු ඇති බැවින් ඒවා 29 වැනිදා විවෘත කරන බවත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
හෙට මහනුවර පවිත්‍රතා වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් මහජන දිනය 30 දා (බදාදා) පැවැත්වෙන බව ද මහජනතාවට දැනුම් දිය යුතු යැයි ද ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියේය.
සමන්ති වීරසේකර සහ සිරිල් විමලසුරේන්ද්‍ර