දින 12 ට 586 යි – (කොරෝනා නෙමෙයි මේ ගෑස් අනතුරු)

752

ගෑස් ළිපක් පුපුරා යෑමෙන් තුවාල ලබා දින  10 ක් මහනුවර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි මාතලේ හෙට්ටිපොළ, ඩබ්ලිව්. ප‍්‍රියංගනී නමැති 51 හැවිරිදි තිදරු මවක් පසුගිය 11 වැනිදා මිය ගියේය. ඇය මෙම අනතුරට මුහුණ දෙන්නේ තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් මහනුවර, නත්තරම්පොත ප‍්‍රදේශයේ කුලියට නිවසක ජීවත්වෙමින් සිටියදීය.

 මාතලේ දිස්ත‍්‍රික්කයේ කෙළවර, ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ හෙට්ටිපොළ නම් දුෂ්කර (මාර්ග, ජලය, ප‍්‍රවාහන හා අධ්‍යාපන පහසුකම් ඉතා අඩු) ප‍්‍රදේශයේ ඉපදී එහි පදිංචිව සිටි ඇය, මහනුවරට එන්නේ තමන්ට නොලැබුණු අධ්‍යාපන වරම් තම දරුවන්ට ලබා දීමේ අරමුණ ඇතිවය. ගම අතහැර නගරයට පැමිණ සිටියදී මෙසේ අවාසනාවන්ත මරණයකට ඇය ගොදුරුව මිය යන්නේ දරුවන් තිදෙනකු මෙලොව තනිකර දමාය.

 ඇය තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන නොසලකා ගමේම දිවි ගෙව්වා නම් විටෙක ඇය මෙවන් අකල් මරණයකට ගොදුරු නොවන්නට ඉඩ තිබිණි. අප එසේ පවසන්නේ ගමේ ඇතැමුන් තවමත් දර ළිප්වල කෑම පිසින්නේ යැයි උපකල්පනය කරමිනි. නමුත්, සැබෑව එය නොවේ, ගමේ ගොඬේ කොයි ගෙදරත් අද ගෑස් ළිප් තිබේ. ගෑස් භාවිත කරනු ලබයි. එසේ හෙයින් ගෑස් අර්බුදය කොයි කාටත් හොඳහැටි දැනේ.

 මෙසේ ගෑස් ළිප පුපුරා යෑමෙන් ජීවිතක්ෂයට පත්වන්නේ ප‍්‍රියංගනී පමණක් නොවේ. මාතලේ දිස්ත‍්‍රික්කයේම උඩුපිහිල්ල ග‍්‍රාමයේ පදිංචිව සිටි වයස අවුරුදු 68 ක චන්ද්‍රා කුමාරි හේරත් නම් තවත් කාන්තාවක් ගෑස් ළිපේ බටය පුපුරා ගිනි ඇවිලී තුවාල ලබා සිටියදී පසුගියදා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඊයේ (13) ඇයගේ හත්දවසේ දානය දුන්නේය. එසේම බරපතල පිළිස්සුම් තුවාල ලැබූ තවත් කාන්තාවක් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිටත් ප‍්‍රතිකාර ලබමින් පසුවේ.

 පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන පරිදි  පසුගිය ඉරිදා (12 දා) වන විට සිදුව ඇති ගෑස් අනතුරු සංඛ්‍යාව 694 කි. දෙසැම්බර් මාසයේ ගෙවී ගිය දින 12 දී පමණක් සිදුව ඇති අනතුරු ගණන 586 කි. මෙය ඉතා බරපතල තත්ත්වයක් පමණක් නොව, තදින් ක‍්‍රියාමාර්ග ගත යුතු තත්ත්වයකි. නොවැම්බර් මාසය තුළ අනතුරු 117 ක් සිදුව ඇත. එසේ නම් ගෑස් සමාගම් හා මීට වගකිව යුත්තන් කියන කතා අපට තේරෙන්නේ නැත. මේ වගකීමෙන් ගෑස් සමාගම්වලට කිසිසේත් ඇඟ බේරාගන්නට නොහැකිය. ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් ඔවුන් සිදුකර ඇත්තේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයකි. මිනී මැරීමේ වරදකි.

 උද්ගතව ඇති ගෑස් අර්බුදය ආකාර දෙකකි. එකක් දරා ගත නොහැකි මට්ටමට ගෑස් මිල ඉහළ යෑමය. දෙවැන්න නම් ගෑස් සිලින්ඩරය  ”බෝම්බයක්” වැනි මහා භයානක දෙයක් බවට පත්වීමය. මිල ඉහළ යෑමටත් වඩා අද ජන දිවිය කළඹා ඇත්තේ මෙසේ ගෑස් (සිලින්ඩර නොව) ළිප් හා උපාංග පුපුරා යෑමය.

 මෙසේ ගෑස් ළිප් පුපුරා යෑම ගෑස් සිලින්ඩරවල ප‍්‍රශ්නයක් නොව, ප‍්‍රමිතියක් නැති උපකරණවල ප‍්‍රශ්නයක් බව ගෑස් සමාගම් ප‍්‍රවෘත්ති සාකච්ඡුා පවත්වා කෙබර ඇද බානවා අපි දුටුවෙමු. ගෑස් ළිප්, ගෑස් බට සහ රෙගියුලේටර් ප‍්‍රමිතියක් නැති නිසා මෙසේ ගිනි ගන්නා බව හා ගෑස් කාන්දුවී ගිනි ගෙන පුපුරා යාහැකි බවත් රජය හා ගෑස් සමාගම් පුන පුනා කියමින් එහි වරද ගෑස් පාරිභෝගිකයාගේ ඇෙඟ්ම ගසන්නට මුලදී උත්සාහ ගත්තත්, මෙසේ වීමට හේතුව බාල ගෑස් සහිත සිලින්ඩර වෙළෙඳපළට නිකුත් කිරීම බව දැන් සක්සුදක් සේ පැහැදිලි වී ඇත.

 ලෝක වෙළෙඳපළේ සිදුවූවා යයි කියන ගෑස් මිල වැඩිවීමේ අර්බුදයෙන් ගැලවීම, ඩොලර් නැතිකම හා වැඩි ලාබ ලබාගැනීම සඳහා සිලින්ඩර තුළ එල්. පී. ගෑස් සංයුතිය (ප්‍රොපේන් සහ බියුටේන්) වෙනස් කිරීම ප‍්‍රශ්නයට මුල බව දැන් දරුවන් පවා දන්නා කාරණයකි. එසේ හෙයින් තවදුරටත් සමාගම්වල මුසා බස් ජනතාවට වැඩක් නැත. පරණ ගෑස් සිලින්ඩර වහාම වෙළෙඳ පළෙන් හා නිවාස තුළින් ආපසු කැඳවා ඒ සියල්ලන්ටම ප‍්‍රමිතිගත ගෑස් ලබාදීම එක පැත්තකින් ප‍්‍රශ්නයට විසඳුම මෙන්ම ගෑස් බෝම්බ බියෙන් ජනතාව මුදාගැනීමට ඇති ක‍්‍රමවේදයයි.

 එසේම, වහාම මිය ගිය හා තුවාල ලබා සිටින අය වෙනුවෙන් වන්දි ගෙවීම රජයේ හා සමාගම්වල වගකීමයි. අපගේ අදහස නම් කර ඇති මෙම බරපතල වරදට හා වංචාවට සමාගම් මෙන්ම පාරිභෝගික අධිකාරිය හා ඊට අදාළ සියලූ බලධාරීන් ජනතාවගෙන් සමාව ගතයුතු බවය.

advertistmentadvertistment
advertistmentadvertistment