දින 180ක් රඳවාගෙන ප්‍රශ්න කළ ‘මන්නා රමේෂ්’ බූස්සේ කූඩුවට

283

මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 180ක් තිස්සේ රැඳවුම් භාරයේ සිටි පාතාල කල්ලි නායක රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් නමැත්තා ලබන (18 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත්වරයා ඊයේ (04 වැනිදා) නියෝග කළේය.

අවිස්සාවේල්ල රත්නපුරය ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන් ඇතුළු සාමාන්‍ය ජනතාව භීතියට පත්කරගෙන සිටි මන්නා රමේෂ් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවට රැගෙන ආවේ මීට දින 180කට පෙරය.

පසුව මොහු නුගේගොඩ අපරාධ කොට්ඨාසය භාරයේ දින 180ක් තිස්සේ රඳවා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අවි ආයුධ ඇතුළු තවත් නීතිවිරෝධී භාණ්ඩ රැසක් සොයා ගන්නා ලදී. සැකකාර පාතාල නායකයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කළේ ඊයේ පෙරවරුවේදීය.

මිනීමැරුම් 4කට මිනීමැරීමට තැත් කිරීමකට ආයුධ සන්තකයේ තබාගැනීම, කප්පම් ගැනීම් ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මන්නා රමේෂ් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

අධිකරණයට ඉදිරිපත් කළ මන්නා රමේෂ් කුරුවිට බන්ධනාගාරයට ඇතුළත් නොකර වෙනත් ඕනෑම බන්ධනාගාරයකට ඇතුළත් කරන ලෙස පොලිසිය මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

ඒ අනුව දැඩි ආරක්ෂාවක් ඇති බූස්ස බන්ධනාගාරය වෙත මෙම පාතාල නායකයා යැවීමට අධිකරණය නියෝග කළේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment