දින 90ක් වුණා: වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමි දැන්වත් නිදහස් කරන්න – සජිත් පාර්ලිමේන්තුවේදී කියයි

101

ජනාධිපතිවරයාට අවශ්‍ය නම් අද දිනයේ වුවද වත්මන් පාර්ලිමේන්තුව විසුරවීමට බලයක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේනතුවේදී ඊයේ (17දා) සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ කීය.

ඊයේ දිනයේ අගමැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අතරමැද පාර්ලිමේන්තුව විසුරවන්න ප්‍රතිපාදන නෑ කියලා. මම හිතන්නේ අගමැතිතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නිසි පරිදි අවබෝධ කරගෙන නෙවෙයි කතා කරලා තිබෙන්නේ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70-අ. ව්‍යවස්ථාව අනුව, ඒ වගේම ඈ ජේදය අනුව මේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මුතියක් අනුව ජනාධිපතිවරයාට හැකියාවක් තිබෙනවා පාර්ලිමේන්තුව විසුරවන්න.

ඒ වගේම ජනාධිපතිවරයාට වසර දෙකහමාරකින් පසුව අවශ්‍ය නම් මෙම පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන්. ඒත් අගමැතිතුමා හර්ෂ ද සිල්වා මහතාට අවලාද නගලා තිබෙනවා ඇමරිකානු ක්‍රමයක් නොවෙයි මේ රටේ තිබෙන්නේ කියලා. ඒ ගැන අපි දන්නවා. ඒ නිසා අගමැතිතුමාට කියනවා රටේ ජනතාව නොමග යවන්න එපා කියලා. ජනාධිපතිට අද වුණත් පුළුවන් මේ පාර්ලිමේන්තුව විසුරවන්න.

මේ අතර ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි අත්අඩංගුවට ගෙන අද (18දා) දිනට දින 90ක් ගත වන බැවින් ඔවුන් නිදහස් කරන්නැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.

එම දෙදෙනා තවදුරටත් රඳවා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවට තමන්ට ආරංචියක් ලැබී ඇතැයි ද රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක කරමින් ඔවුන් දෙදෙනා රඳවා තබා නොගෙන වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද හෙතෙම පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment