දියලණුව කැඩෙයි අමුඩය ගැළවෙයි

1612

නිදහසින් පසු මේ රට මුහුණදුන් නරකම දේශපාලන සහ ආර්ථික වකවානුව මෙය විය හැකිය. දේශපාලනය සහ ආර්ථිකය යන සාධක දෙක අමුඩය සහ පස්චාත් භාගය මෙන් එකිනෙක බැඳී පවතී. හැබැයි මෙතැනදී අමුඩය ලෙස හඳුනාගත යුත්තේ රටේ ආර්ථිකයයි. අමුඩය ගැළවුණොත් ‘දේශපාලනය’ සම්පූර්ණයෙන්ම එළියේය. එබැවින් සියලු දේවල් කවර් කර ගැනීමට නම් ඩොලර් වලින් අඹරන ලද ශක්තිමත් දිය ලණුවක් බැඳ ආර්ථික අමුඩය තදින් ගසා ගත යුතුය. මේ රටේ ඩොලර් දිය ලණුව ළඟදී කැඩුනේය. එකෙනෙහිම ආර්ථික අමුඩය බිම වැටුණු අතර දේශපාලන හෙළුව ලෙලදෙනු දක්නා ලදී. ඇසට පෙනෙන්නට ඇති ගෑස් පෝලිම සහ තෙල් පෝලිම එහි ප‍්‍රතිඵලයකි. ඇසට පෙනෙන්නට නැති ඩොලර් හිඟය එහි තවත් ප‍්‍රතිඵලයකි. අපේ ළිඳේ ඩොලර් හිඳුනේ ඇයි? මේ පිළිබඳව අර්ථ නිරූපණ කිහිපයක් ඇත. ආණ්ඩුව කියන්නේ කොවිඩ් 19 නිසා විදෙස් ඉපැයීම් පහත බැසීමෙන් ආර්ථික අමුඩය කැඩුණු බවය. විපක්ෂයේ අදහස නම් ආණ්ඩුවේ වැරදි කළමනාකරණය නිසා ඩොලර් ටික හිඳුනු බවය. එවිට ආණ්ඩුව බරපතළ උත්තරයක් දෙයි. එම උත්තරයට අනුව පෙර පැවති රාජපක්ෂ ආණ්ඩු දහ අවුරුද්දක් තිස්සේ ගත් ණය හා සමාන විදේශ ණය ප‍්‍රමාණයක් යහපාලන ආණ්ඩුව සිය පස් අවුරුදු පාලන කාලයේදී ගෙන ඇත. එවිට යහපාලන කට්ටිය කියන්නේ ගෝඨාභයලා පසුගිය අවුරුදු දෙකට බිලියනවලින් නොව ටි‍්‍රලියනවලින්ම විදේශ ණය ගත් බවයි. මෙතැනින් එහා තර්ක කිරීම් නොඇසේ. අසන්නට ලැබෙන එකම ශබ්ධය වන්නේ එයා මෙයාට බැනීමත් මෙයා එයාට බැනීමත්ය. කව්රු කාට බැන්නත් ඉන්ධන සහ ගෑස් ලබා ගැනීමට නම් ඩොලර් තිබිය යුතුමය. ආර්ථික ශ්‍රේණිගත කිරීම් සිදුකරන ජාත්‍යන්තර ආයතන මගින් ශ‍්‍රී ලංකාවේ වත්කම් තත්ත්වය ඉතා නරකට පහළ හෙළා තිබේ. මේ නිසා ශ‍්‍රී ලංකාවට ප්ලේන්ටියක් ණයට දීමට වත් පිට රටවල් සූදානම් නැත. ශ‍්‍රී ලංකාව අයි එම් එෆ් සංවිධානයෙන් මුදල් ණයට නොගන්නා බව මහ බැංකුවේ ලොක්කා වූ නිවාඩ් කබ්රාල් ඔළුවෙන් හිටගෙන කීවේය. එසේ ඔළුවෙන් හිටගත් අවස්ථාවේදී කබ්රාල් සිටියේ සරමක් ඇඳගෙන නම් එය ඉතා භයානක දැක්මක් වීමට ඉඩ තිබිණ. කබ්රාල් බේරුනේ කලිසම් අඳින බැවිනි. අන්තිමට අයි. එම්. එෆ්. එකෙන් ණයක් ඉල්ලීමට ආණ්ඩුව තීරණය කර තිබේ. අයි. එම්. එෆ්. ආයතනය කිසියම් රටකට ණය දෙන්නේ තමන්ට ණය ආපසු අයකර ගැනීමට ඉඩ ලැබෙන කොන්දේසි ණයකරුවා පිට පටවමිනි. මෙහිදී විශ‍්‍රාම වැටුප් කැපීම බදු වැඩි කිරීම රටේ සුබ සාධන වියදම් නැති කිරීම පුණ්‍යාධාර කටයුතු සීමා කිරීම ඇතුළු ජාති බොහොමයක් කපා හැරීමට අයි. එම්. එෆ්. සංවිධානය ආණ්ඩුවට බල කරයි. මන්ද යත් අයි. එම්. එෆ්. එකෙන් ගන්නා ණයෙන් එවැනි සුබ සාධන කටයුතු කරන්නට ගියොත් එම ණය අයකර ගැනීමට ඉඩ නොලැබෙන බව අයි. එම්. එෆ්. ලොක්කෝ දනිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට කවුරුත් කැමති නැතත් අවසානයේදී අපි ඒ දෙසටම තල්ලු වුණෙමු. ශ‍්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ කොනටම එළඹී ඇති බව තහවුරු කරන ලොකුම උදාහරණය අයි. එම්. එෆ්. එකෙන් ණය ගැනීමට සිදුවීමයි. මෙසේ ණය ගැනීමෙන් ආණ්ඩුව ජනතාවට කරන සියලු සුබසාධන වැය කපා හරින ලෙස අයි. එම්. එෆ්. එක ආණ්ඩුවෙන් ඉල්ලනු ඇත. ශ‍්‍රී ලංකාව අදටත් සුබ සාධන රාජ්‍යයකි. නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය පහසුකම් රජය යටතේ පවතින මගී ප‍්‍රවාහන සේවාවන් විශ‍්‍රාම වැටුප් සේවක අර්ථ සාධක අරමුදල් යනාදිය මෙකී සුබ සාධන කටයුතුවල ප‍්‍රමුඛයෝ වෙති. මේවා නොකැපුවොත් අයි. එම්. එෆ්. එකෙන් අපට ඩොලර් නැත. මේවා කැපුවොත් ජනතාවගෙන් ආණ්ඩුවට ඡන්ද නැත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව මගින් ආර්ථික අර්බුදයට කුමක් සිදුවේද යන්න අප කල්පනා කර බැලිය යුතුය. සර්ව පාක්ෂික සමුළුවක් යනු සටන් විරාමයක් වැනි පැලැස්තරයකි. මේ ප්ලාස්ටර් එකට හොඳ සන්නාම යටතේ එන ඔරිජිනල් බෙහෙත් යෙදුවොත් තුවාලය සනීප කරගත හැකිය. හැබැයි තුවාලය ඔඩු දුවා ඇති බැවින් පැලැස්තරය ඉක්මවා යන සැත්කමක් රටට අවශ්‍යය. මේ සැත්කම සිදුකිරීම සඳහා හැම පක්ෂයකම අවංක සහභාගීත්වය අවශ්‍ය වේ. එහෙත් රටේ ප‍්‍රමුඛ පක්ෂ සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීම නිසා එය සර්ව පාක්ෂික නොව අර්ධ පාක්ෂික සමුළුවක් බවට පත්විය. ජේ. වී. පී එක කල් තබාම නුගේගොඩදී පැවැත්වීමට සංවිධානය කළ රැස්වීම නිසා සමුළුව මගහැරීම සාධාරණය. හැබැයි පැය 24 ක් ඇතුළත මේ රටේ ඕනෑම තැනක සුවිශාල සමුළුවක් කැඳවීමට හැකි එකම පක්ෂය ජ. වි. පෙ. බැවින් එදා රැස්වීම කල් දමා සමුළුවට සහභාගි වීමේ යුතුකමක් ඔවුන්ට තිබිණ. අප කලින්ද පැවසූ පරිදි සර්ව පාක්ෂික සමුළුවලින් ඒ තරම් ලොකු වැඩක් සිද්ධ නොවේ. යුද්ධය සඳහා කල්ගනු පිණිස සටන් විරාමයක් අරඹන්නේ යම්සේද දේශපාලන ආරවුල් සමතයකට පත්කර ගැනීම සඳහා කල් ගැනීම පිණිස සර්ව පාක්ෂික සමුළු කැඳවිය හැකිය. සජිත් ලා මේ සමුළුවට සහභාගි නොවීම ඒ තරම් ගණන් ගනු නොලැබේ. එහෙත් ජ.වි.පෙ. ක‍්‍රමයෙන් ජනමූල ස්ථාවර ඡන්ද පදනමක් වෙත ගමන් කරමින් සිටින බැවින් ඔවුන් මේ සමුළුවට සහභාගි නොවීම කිසියම් ආකාරයක political mistake එකකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියට පත්වී මාස කිහිපයකට පසු ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා එකක් ඉවර වෙන්නට එකක් වශයෙන් සර්ව පාක්ෂික සමුළු පවත්වන ලදී. එහෙත් යුද්ධය කෙලවර වන්නේ තුවක්කුවෙනි. මෙවර පැවති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වූ කිසිදු පක්ෂයක් ආණ්ඩුවට සහයෝගය දීමට ඉඩ නැත. හැමෝම බලන්නේ ආණ්ඩුව පෙරළා තමන් රජ වීමටය. අප දන්නා පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ කාරණය ඉතා හොඳින් දනී. එහෙත් ගතානුගතික දේශපාලන සම්ප‍්‍රදායෙන් පිට පැනීමට ඔහුටද නොහැක.

advertistmentadvertistment
advertistmentadvertistment