දියවන්නා කුමාරිය නිද්‍රාවෙන් අවදි කිරීමට වාම අවතාරයෙන් මිදෙනු

61

සාහිත්‍ය නිර්මාණ සහ කලා නිර්මාණ යනු අප ජීවත්වන ලෝකයේ සැබෑ සිදුවීම් නිර්මාණශීලීව ප්‍රතිනිර්මාණය කිරීමකැයි හැඟේ. සෑම නිර්මාණයක් පිටුපසම කිසියම් මානව හෝ සංස්කෘතික අත්දැකීමක් ගැබ්ව ඇති බව ඉඳුරාම පැවසිය හැකිය. සාහිත්‍ය නිර්මාණ තුළින් මූර්තිමත් වන පරම සත්‍ය තේරුම්ගැනීම එතරම් පහසු කාර්යක් ද නොවේ.ඒ සඳහා කිසියම් පරිකල්පන ශක්තියක් මෙන්ම චින්තනයක්ද අවදි කරගත යුතුය. ඒ සඳහා අප වටා ඇති සංස්කෘතිය මනාව කියවිය යුතුය. එවන් ගීත බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වී ඇති නමුදු මෑතකද නිර්මාණය වුණු “දියවන්නා කුමාරියේ” ගීතය තුළින් කියැවෙන ජාතියේ ව්‍යසනය කන හරහා මොළයට දැනුනා නම් ඔහු සංවේදී මිනිසෙකි.

නාදයක් ලෙසින් පැමිණීමට පෙර ඉරේෂ් වන්නකුකෝරාළයන් ගේ ප්‍රතිභාව ඇගයීමට ලක් කිරීම යුතුකමකි. වන්නකුකෝරාළ යන නම ඇසුණු පමණින් මා හදවතට කිසියම් ජීවයක් දැනේ. දිරාපත් වුණු කෝටු කැබැල්ලක පවා ජීවයක් සහිත ඵලයක් රූපණය කරන්නට තරම් ප්‍රතිභාසම්පන්න සාහිත්‍ය ගුරුවරයකු වන ඉරේෂ් වන්නකුකෝරාළයන්ගේ සහෝදරයා අන්කවරෙකුවත් නොව ඉඳුනිල් වන්නකුකෝරාළයන්ය. එවන් ගුරුවරයකුගෙන් ඉගෙනීමට ලැබීමට තරම් භාග්‍යයක් ලැබීම ගැන නිහතමානීව සතුටු වෙමි. එවන් සාහිත්‍යකාමී පරපුරක අංකුරයක් වන ඉරේෂ් වන්නකුකෝරාළයන්ගේ ප්‍රතිභාව සමගින් නාද සංගීතඥයින් අඩපණව ඇති ජන විඥානයට කිසියම් උත්තේජනයක් ලබා දී ඇති බව හැඟේ. ප්‍රබල ධ්වනිතාර්ථවත් භාෂාවක් තුළින් සමාජ යථාර්ථය එක මිටකට ගෙන මුදාහැරීමට තරම් දියවන්නා කුමාරියේ ගීතයේ පදමාලාව අරුත්බරය. ගීතයේ මා ප්‍රියකරන සංකේතාර්ථ දෙකකි. පළමුවැන්න දියවන්නා කුමාරිය වන අතර අනෙක වාමන සංකල්පයයි. දියවන්නා කුමාරිය සිටින්නේ දිගු නිද්‍රාවක ය. ඇය නිසොල්මනේ නිදා සිටියි. ඇය නිදා සිටින ඇසිල්ලෙහි දෙරණට සඳ පලුව එබෙයි. අප රටට සිදුව ඇති ව්‍යසනයේ සාහිත්‍යමය කියැවීම කෙතරම් අපූර්ව වුවද ඉතා දුක්බර කතාන්තරයකි. පාර්ලිමේන්තුව නමැති දියවන්නා කුමාරියගේ නිදාසිටීම තුළින් අප රටට එල්ලව ඇති විදේශ ආක්‍රමණ පිළිබිඹු වෙයි. ජාතියක් ලෙස ආර්ථික, සාමාජීය සහ භෞතිකමය යටත් වීම අදටත් වඩා හෙට දවසේ අත් විඳීමට සිදුවීමේ අවදානම සංවේදනය කොට තිබේ. දියවන්නා කුමාරියට එය නොදැනේ, වාමනයින්ගේ පවන් සැලීමෙන් සංතර්පණය ය වන දියවන්නා කුමාරිය ජාතිය ද සදාකල් නිද්‍රාවට පත් කරනු ඇත. එසේ නම් වාමනයින් යනු කවරහුද? බෞද්ධ සංස්කෘතිය තුළ වාමන සංකල්පය ක්‍රමිකව විකාශනය වී ඇති සංකල්පයක් බව පෙනේ. මුරදේවතාවුන් සේම, බහිරව සංකල්ප සහිතව බෞද්ධ සිද්ධස්ථාන තුළ අදටත් ජීවමාන වේ. කිසියම් පුරාණ වටිනාකමක් ඇති නිධන් වස්තු ආරක්ෂාවට සේම දොරටු පාලයින්ගේ භූමිකාව තුළද කිසියම් වාමන සංකල්පයක් ගැබ්ව තිබේ. බෞද්ධ සංස්කෘතියේ සේම හින්දු සංස්කෘතිය තුළද වාමන සංකල්පය නිරූපණය වේ.

ශිව දෙවියන් පාගාසිටිනුයේ සයවන අවතාරය යැයි කියැවෙන අතර එය වාමන සංකල්පයේ කිසියම් අර්ථදැක්වීමකි.

පොදුවේ ගත් කල සාහිත්‍යමය කියැවීමක් තුළ අවශේෂ මිනිසුන් හෝ යටත් වැසියන් හෝ පහළම ස්ථරයේ මිනිසුන් බව ප්‍රවීණ සාහිත්‍ය විචාරක සජීව ප්‍රසන්නයන්ගේ මතය වෙයි.

ඒ අනුව රටක සාමාන්‍ය වැසියන් මුරදේවතාවුන් ලෙස පෙනී සිටිමින් දියවන්නා කුමාරිය නමැති ප්‍රභූ ස්ත්‍රීයට රැකවරණය ලබා දේ. අප රට තුළ ක්‍රියාත්මක දේශපාලන සංස්කෘතිය විග්‍රහ කිරීමට සමත් මෙවැනි රූපකාර්ථවත් බසක් සහිත වෙනත් ගීතයක් මා මතකයට නගාගැනීමට මා අසමත් ය.

එක්වරම ශිව දෙවියන්ගේ සයවන අවතාරය මා මතකයට නැගේ. වාමනයා ශිව දෙවියන්ගේ පයට පෑගී සිටියි. රටේ ජනතාව කෙතරම් පවන්සැලුව ද පාලකයා ජනතාව පාගා දමමින් සුරසැප විඳින බව පැවසීමට පද රචකයා සැලකිලිමත්ව ඇති බව පෙනේ.

රටේ අධ්‍යාපනය සහ දරුවන් ගේ අනාරක්ෂිතබව වැනි සංවේදී කරුණු සේම පැණිරස දැවටූ මත් රකුසා විසින් තක්ෂිලාව සහ ජාතියේ අනාගතය නිර්වින්දන කොට ඇති ආකාරය සිහිකිරීම පවා ඇඟ හිරි වැටෙනසුලුය. ජීවයේ ජීවනාලිය බඳු ලොවට හුස්ම සපයන ස්වභාවධර්මයේ දායාද එකිනෙක විනාශ කරමින් හුස්ම හිරවුණු ජාතියක් බවට පත්වන ජාතියක විලාපය “නාද” හඬේ දෝංකාර වන බව දැනේ.

ජාතිය සතු සියලු වටිනාකම් කුණුකොල්ලයට වෙන්දේසියේ දමමින් උපනූපන් දරුවන් පවා උකසට තබා ඇති දියවන්නා කුමාරිය නමැති චෞර රැජිනට පවන් සලන්නේ නම්

“දළ දිලිසෙන හස්ති රජුන් සෙමෙන් සෙමෙන් නිදි කරවා” අත්කර ගන්නා පාපකර්මයේද කොටස් කරුවෙකි, වාමනයෙකි.

ජාතියේ මව්වරුන්ගේ තාරුණ්‍ය සළෙලුන්ට බිලිදී උපයාගන්නා කාසිවලින් තැනුණු චෞරයින් විසින් රේණු මෙන්ම මල්ද තළා දමන බව පැවසීම දෛවෝපගතය. එහෙත් දියවන්නා කුමාරිය නිද්‍රාවේ පසුවෙයි. වාමනයින්ද පවන්සලයි.

නමුදු, හෙට දවසේ පවන්සැලීමට පෙර ගීතයට වරක් හෝ සවන්දෙන්න. වාමන අවතාරයෙන් මිදෙනු ඇත.

අසංක ප්‍රියනන්ද

advertistmentadvertistment
advertistmentadvertistment