දියවැඩියාව ඇතිවීම වළක්වාගත හැකිද?

450

වර්තමානයේ අප රට තුළ දියවැඩියා රෝගයට ගොදුරුවන පිරිස වැඩිවීමකට ලක්ව ඇති බව ඒ සම්බන්ධව සිදුකර ඇති වාර්තා අනුව හෙළිවී තිබේ.

2006 වසරේදී සිදු කළ සමීක්‍ෂණයකට අනුව දිවයින පුරා වැඩිහිටියන්ගෙන් සියයට 10% කට දියවැඩියාව ඇති බව හෙළි විය. සියයට 11% කට පූර්ව දියවැඩියා තත්ත්වය මතුව තිබිණි.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටියන්ගෙන් සියයට 18%කට දියවැඩියාව මතුව තිබිණි.

2019 වසරේදී සිදු කළ සමීක්‍ෂණයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 30%කට දියවැඩියාව පවතින අතර සියයට 40%ක් පූර්ව දියවැඩියා මට්ටමේ සිටිති.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් සියයට 70%ක් දියවැඩියාව හෝ පූර්ව දියවැඩියා තත්ත්වයෙන් පෙළෙති.

මෙය එතරම් යහපත් තත්ත්වයක් නොවේ. මන්දයත් දියවැඩියාව යනු තවත් රෝග රැසක් ඇති කිරීමට බලපාන බැවිණි.

එනම් ස්නායු රෝග, වකුගඩු රෝග, ඇස්වල හටගන්නා රෝග, හෘදයාබාධ ඇතිවීමේ අවදානම අධිකවීම ඇතුළු රෝග රැසක් මතුවීමට දියවැඩියාව බලපායි.

පාදවල ස්නායුවල හටගන්නා දුර්වලතා නිසා රුධිර නාළ හානියට ලක්වී තුවාල ඇතිවී පාද අහිමිවීමේ තත්ත්වයක් පවා මතුවිය හැක.

මෙම තත්ත්වය වළක්වා ගැනීමට සෑම පුදගලයකුම අවධානය යොමුකළ යුතුය. එනම් මට දියවැඩියාව වළක්වා ගත හැකිද? යන අරමුණෙහි හිඳිමින් දියවැඩියාවට ගොදුරු නොවූ අයද කටයුතු කළ යුතුය. දෙමාපියන්ද තම දරුවන්ට දියවැඩියාව ඇතිවීම වළක්වා ගත හැකිද? යන අරමුණෙහි සිට කටයුතු කිරීමෙන් මුළු සමාජය තුළම දියවැඩියාව වළක්වා ගැනීමට අවධානය යොමුකර ගත හැකිය.

ඇමෙරිකාව, ෆින්තලන්තය, චීනය, ඉන්දියාව ආදී රටවල් දියවැඩියාව සම්බන්ධව සිදුකර ඇති පරීක්‍ෂණ අනුව හෙළි වී ඇත්තේ පූර්ව දියවැඩියාව පාලනය කළහොත් දියවැඩියාව ඇතිවීම වළක්වාගත හැකි බවය.

දියවැඩියාව වළක්වා ගැනීම දියවැඩියාව වළක්වා ගැනීමේදී දියවැඩියා රෝග ඉතිහාසයක් ඇති පවුල් පසුබිමක සිටින පුද්ගලයන්, කය වෙහෙසා වැඩ නොකරන පුද්ගලයන් මේ සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුය.

එහිදී ඔවුන් තම ආහාර රටාව පාලනය කර ගැනීම සහ වැරදි ආහාර පුරුදු නිවැරදි කර ගත යුතුය.

විශේෂයෙන්ම සීනි සහිත පැණි රස ආහාර වර්ග ගැනීම පාලනය කළ යුතුය. තම ආහාර වේලක ඇති පිෂ්ඨය ප්‍රමාණය අඩු කළ යුතුය.

අපගේ ආහාර පිඟානේ පිෂ්ඨ ආහාර තිබිය යුත්තේ පිඟානෙන් කාලක් පමණි. හරි අඩක පමණ තිබිය යුත්තේ කොළ පැහැති එළවළු වර්ගයය. කහ පැහැති සීනි සහිත එළවළු වර්ග අඩංගු නොවිය යුතුය. ඉතිරි කොටසට මාළු, මස් වර්ග එක්කර ගත යුතුය. මේදය ප්‍රමාණය අඩු කළ යුතුය. ඒ සඳහා තෙල් සහිත ආහාර අඩු කළ යුතුය.

සෑම පුද්ගලයකුම මධ්‍යම ප්‍රමාණයක ව්‍යායාමවල නිරත විය යුතුය. එහිදී සතියකට දින 05 ක් පැය භාගය බැගින් ඇවිදීම කළ හැකිය. එනම් සතියකට විනාඩි 150 ක් ඉක්මවා ඇවිදීමේ ව්‍යායාමවල යෙදිය යුතුය. එහිදී ව්‍යායාම උපකරණ භාවිතය මගින් ව්‍යායාමවල යෙදීම ද කළ හැකිය. පිහිනීම, පාපැදි පැදීම ආදිය ද මේ සඳහා එක්කර ගත හැකිය.

මත්පැන් භාවිතය අවම කිරීම සහ දුම්පානය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය.

කාර්යාල තුළ වැඩ කිරීමේදී වැඩි කාලයක් වාඩි වී සිටීම වෙනස් කළ යුතුය. ඇවිදීම, හිටගෙන කටයුතු කිරීම ආදිය ඒ සඳහා යොදාගත හැකිය.

මෙලෙස කටයුතු කිරීමෙන් අපට දියවැඩියාව ඇතිවීම සියයට පනහකින් (50%) හෙවත් හරි අඩකින් පාලනය කරගත හැකිය.

මෙලෙස දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීම නිසා හෘදයාබාධ ඇතිවීම පාලනය කර ගැනීම, අක්මාවේ මේදය තැන්පත් වීම පාලනය කර ගැනීම, පිළිකා රෝග වළක්වා ගැනීම ආදී වෙනත් රෝග ඇති වීම ද පාලනය කර ගත හැකිය.

ස්ථුලභාවය නිසා ඇති වන පිළිකා වර්ග 13 ක් හඳුනාගෙන ඇත. මෙම ජීවනරටාව මගින් ස්ථුල භාවය ඇතිවීම වළක්වා ගත හැකිය.

ඒ සඳහා ශරීරයේ දේහස්කන්ධ දර්ශකය 23 කට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට මෙහිදී අවධානය යොමු කළ යුතුය.

මෙලෙස නිවැරදි ජීවන රටාවක් ඇති කර ගැනීම නිසා දියවැඩියාවට ගොදුරුවීමට ඇති අවදානම පාලනය කර ගත හැකිය.

දියවැඩියාව ඇතිවීම වළක්වාගත හැකිද?

අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
මහාචාර්ය විද්‍යාජෝති ප්‍රසාද් කටුලන්ද

advertistmentadvertistment
advertistmentadvertistment