දියුණු කළ යුතු ඔන්ලයින් අධ්‍යාපනය

1500

වැලි පිල්ලෙන් ගල් ලෑල්ලෙන් ආරම්භ වූ ශ‍්‍රී ලාංකික දුවා දරුවන්ගේ අධ්‍යාපනය පොත පත දක්වා විකාශනය විය. නමුත් වර්තමාන ලොව බිලිගත් කොවිඞ් වසංගතය අප දරු පරපුරෙහි අධ්‍යාපන ක‍්‍රමයේ පෙර නොවූ විරූ පෙරලියක් ඇති කළේය.

 නූතන තාක්ෂණය පෙරටු කොට ගත් පරිගණක අධ්‍යාපන ක‍්‍රමයක් (online education) එහි මූලාරම්භයයි. මුල් අවධියේ දරුවන්ට මෙය නුපුරුදු අත්දැකීමක් වුවද වර්තමානයේ දරුවන්ගෙන්

 වැඩි ප‍්‍රතිශතයක් මෙම ක‍්‍රමය හරහා තම එදිනෙදා අධ්‍යාපන කටයුතු සිදු කරයි. ලොව මුහුණ දී ඇති වත්මන් ශෝචනීය තත්ත්වය හරහා නිර්මාණය වූ මෙම අධ්‍යාපන ක‍්‍රමය සමාජයීය කාණ්ඩ කීපයකට යහපත් මෙන්ම අයහපත් ප‍්‍රතිපල ගෙනදී තිබේ.

 ගුරුභවතුන්ට ඇති වී ඇති බලපෑම්

 දරුවන් මෙන්ම ගුරුවරුන්ද සම්ප‍්‍රදායික ඉගෙනුම් ක‍්‍රමය හරහා පැමිණීම නිසා, ඔවුනට ද මෙය මහත් අභියෝගයක් වී තිබේ. මෙම නව ක‍්‍රමවේදය ජය ගැනීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම් මිලට ගැනීමේ ආර්ථික අපහසුකම් ද එම මෙවලම්, කාර්යක්ෂමව භාවිත කිරීමට තරම් ප‍්‍රමාණවත් තාක්ෂණික දැනුමක් නොමැති කමත්, ගුරුභවතුන්ට ප‍්‍රශ්නයක් වී තිබේ.

 සිසු දරුවන්ට ඇති වී ඇති බලපෑම්

 පංති කාමරයක් තුළ තම තම යහළුවන් සමග ගෙවූ අත්දැකීම වර්තමාන දරුවන්ට හුදකලාව පරිගණකයක් ඉදිරිපිට සිට ලබාගත නොහැක. විෂය බාහිර ක‍්‍රියාකාරකම් හා සමාජයීය ඇසුරක් නොමැතිව ලබන මෙම ඒකාකාරී අධ්‍යාපනය දරුවන් තුළ මානසික පීඩනයක් සහ විඩාවක් ඇති කරයි.

 එමෙන්ම මෙම නව ක‍්‍රමය තුළින් ඔවුන් මුහුණදෙන අභියෝගවලට පිළිතුරු සැපයීමට තරම් ප‍්‍රමාණවත් තාක්ෂණික දැනුමක් දෙමාපියන්ට හා ගුරුවරුන්ට නොමැති වීමද ඇතැම් විට දරුවන්ගේ මානසික පීඩනය වැඩිකිරීමට හේතු වී තිබේ.

 මෙයින් වැඩිපුරම පීඩාවට පත්වී ඇත්තේ දුෂ්කර දුර පළාත්වල සිසුන්ය. ඔවුන්ට පරිගණක මිලදී ගැනීමට ඇති නොහැකියාවට අමතරව දුරකථන සංඥා නොමැතිවීම ද විශාල ගැටලූවකි.

 අනෙක් අතට දෙමවුපියන්ට තාක්ෂණික මෙවලම් (laptops, tablets, computers) සහ අනෙකුත් සේවා (data package, internet connection) සපයා ගැනීමට ඇති ආර්ථික අපහසුතාවය නිසා ඔවුහු මෙම අභියෝගාත්මක පසුබිමේ හවුල්කරුවන් වී සිටිති.

 අප ගමන් කළ යුතු දිශාව කුමක්ද?

 මෙය කිසිවෙකුට තනිව විසඳිය හැකි ප‍්‍රශ්නයක් නොව, මේ සඳහා පාර්ශව ගණනාවකගේ සහය අවශ්‍ය වේ.

 රජයේ කාර්ය භාරය

 රාජ්‍ය මැදිහත්වීම තුළින් ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමයට තිරසාර පසුබිමක් සකසා දිය යුතු අතර එයට සමගාමිව ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සකසා දිය යුතුය. විභාගවලට සූදානම් වීම සහ විභාග පැවැත්වීම පිළිබඳ එකඟතාවකට පැමිණීම, පාඩම් (lesson plan) සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් පාසල් මට්ටමින් සකසා දීම (shared studio setup), ජාතික හා පළාත් මට්ටමින් ගුරු භවතුන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට වැඩසටහනක් ආරම්භ කිරීම, දරුවන් මුහුණ දෙන තාක්ෂණික ගැටලූවලට උපකාර කිරීම සඳහා උපකාරක සේවා මධ්‍යස්ථානයක් ඇතිකිරීම (Technical support hotline), තාක්ෂණික මෙවලම් හා අවශ්‍ය සේවා ලබා ගැනීමට ගුරු භවතුන්ට අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා දීම (laptop, data connection, etc) සහ දුෂ්කර පළාත්වල දුරකථන සංඥා පහසුකම් වැඩිදියුණු කිරීමට පෞද්ගලික අංශ සමග එකතු වී කටයුතු කළ යුතුය.

 ගුරු භවතුන්ගේ හා පාසල්වල කාර්යභාරය

 ශ‍්‍රී ලාංකික ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබා නොමැත. එයට හේතුව මෙතෙක් එහි අවශ්‍යතාවයක් නොතිබීමයි. පංති කාමරය තුළ සිදුකරන අධ්‍යාපනයම, webcam එකකින් කිරීම ඔන්ලයින් අධ්‍යාපනය නොවේ. මේ සඳහා වෙනස් ක‍්‍රමවේදයක් භාවිතා කිරීම අවශ්‍යය.

 අදාළ ක‍්‍රමවේදයන් මොනවාද?

 * අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක් භාවිත කිරීම (Learning Management System)

 LMS හරහා පන්තිකාමර ක‍්‍රියාකාරකම් සැකසීම, ළමුන්ට ඉදිරිපත් කිරීම සහ ප‍්‍රතිපල ඇගයීම පහසු වේ. සිසුන්ව අධීක්ෂණය කිරීම මෙමගින් පහසු වේ.

 * දරුවන් ස්වයං අධ්‍යාපන ක‍්‍රම සඳහා (self learning methods) යොමු කිරීම.

 මෙමගින් කලින් සකස් කළ පාඩම් අවශ්‍ය තොරතුරු සොයාගෙන තමන් විසින්ම කිරීමට හුරු වේ. මෙය දරුවන්ගේ ගුණාංග (focus, commitment and accountability) වර්ධනයට උපකාරී වේ.

 * සාමූහික ක‍්‍රියාකාරකම්වල යෙදිය හැකි මෘදුකාංග භාවිතා කිරීම. (Collaboration tools)

 මෙමගින් පංති කාමරය තුළ සිදුකරන කණ්ඩායම් ක‍්‍රියාකාරකම් දුරස්ථ පරිගණක මාර්ගයෙන් කළ හැකි වේ. ඒ ඔස්සේ සියලූ සිසුන් පාඩම් සඳහා සහභාගී කර ගැනීමට හැකිවේ. miro.com, kahoot.com, classdojo.com උදාහරණ ලෙස දැක්විය හැක.

 * MS Teams සහ Zoom නිවැරදිව භාවිතා කිරීම

 ගුරුවරුන් සහ සිසුන් මෙම මෘදුකාංගවල ඇති විශේෂාංග භාවිතා නොකරන බව පෙනේ. උදාහරණයක් වශයෙන් සන්නිවේදනය සඳහා chat, reactions සහ raise hand පාවිච්චි කළ හැකිය..

 වඩා ඵලදායි සහ උසස් තත්ත්වයකින් යුතු අධ්‍යාපන මට්ටමකට ළඟා වීම සඳහා ඉහත සඳහන් කළ දෑ උපකාරී විය හැක. රටක් ලෙස මෙය ළඟා කරගත හැක්කේ සියලූ දෙනාගේ සහයෝගයෙන් සහ උත්සාහයෙන් පමණි.

නිමන්ත ගුණවර්ධන
 තොරතුරු තාක්ෂණික ව්‍යාපෘති කළමනාකරු සහ උපදේශක

advertistmentadvertistment
advertistmentadvertistment