දියේ ගිලීම් රිය අනතුරු හා ඝාතනවලින් අවුරුදු දින තුනේ මරණ 18ක්

250

අලුත් අවුරුදු දින තුන තුළ (13, 14, 15) රිය අනතුරු, ඝාතන සහ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයන් 18දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙම සිදුවීම් දෙහිඅත්තකණ්ඩිය හල්දුම්මුල්ල, පදවිය, කුච්චවේලි, කාත්තන්කුඩි, පානම, මනම්පිටිය, බළංගොඩ, සිලාවතුර, ඊච්චලම්පත්තුව, කොස්ගම, අහංගම, දඹුල්ල, නාරම්මල, අතුරුගිරිය, වැල්ලවාය යන පොලිස් වසම් තුළින් වාර්තාවන බවද එම කොට්ඨාසය කියයි.

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ පරගස්වැවේ නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ පදිංචිව සිටි රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කළ 29 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

මියගිය කොස්තාපල්වරයා මිතුරන් කිහිපදෙනකු සමග දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇතැයි හෙළීවූ බව පොලිසිය කියයි.

වැල්ලාවය පොලිස් වසමේ රණවරාව හන්දියේ බස් නැවතුම්පළ අසල දී ඉකුත් 14 දා පුද්ගලයකු ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලවාය, රන්දෙණිය පදිංචිව සිටි 55 හැවිරිදි අයෙකි.

මරණකරු තවත් පුද්ගලයකු සමග පැවැති පැරණි ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇතැයි දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මනම්පිටිය දිඹුලාගල ප්‍රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ ගමන් ගත් කාන්තාවකගේ ගැටී සිදුවූ අනතුරකින් ඇය මියගොස් තිබේ.

මෙම අනතුරින් මියගොස් තිබුණේ මහඋල්පත කාශ්‍යපපුර පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවකි.

බළංගොඩ රුක්මල්කඳුර ප්‍රදේශයේ නිවසක මිදුලේ නවතා තිබූ ලොරි රථයක් නිවසින් පිටව යෑමට පසුපසට ගන්නා අවස්ථාවේ අවුරුදු 1යි මාස 7ක් වයසැති දරුවකු වම්පස පිටුපස රෝදයට යටවී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ලොරි රථයේ රියැදුරුගේ පුත්‍රයායි.

හල්දුම්මුල්ල කළුපහන ප්‍රදේශයේදී පුද්ගලයකු දියේ ගිලී මියගොස් තිබේ. මියගිය අය කළුපහන, පුස්සැල්ල පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

පදවිය පොලිස් වසමේ මිහිඳු මාවත ඇළෙහි දියේ ගිලී පුද්ගලයකු මියගොස් තිබේ. ඊයේ (15දා) උදේ මෙලෙස මියගොස් ඇත්තේ පරාක්‍රමපුර පදිංචිව සිටි 48 හැවිරිදි අයෙකි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ සුජීව තත්සර


advertistmentadvertistment