දිල්ලියේ විදුලි අර්බුදය උග‍්‍රවෙද්දී කෝටි දහඅට දහසකට එයාර් ඉන්දියා ‘ටාටා’ සතුවෙයි

1192

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීමට ගෞතම් අදානිගේ සමාගමත්, මෙරට ජෝන් කීල්ස් සමාගමත් එක්ව රජය සමග ගිවිසුමක් අත්සන් කර ඇත. ඉන්දියාව ඉල්ලූවේ නැගෙනහිර පර්යන්තය වුවත් ලැබුණේ බටහිරය. ගුජරාටයේ මූලස්ථානය පිහිටි අදානි සමාගමට ඉන්දියාවේ ප‍්‍රාන්ත ගණනාවකම වරායන් දහයක් ඇත. පසුගිය දිනක ඉරානයේ සිට හෙරොයින් කිලෝ ග‍්‍රෑම් තුන්දහසක් රැගත් යාත‍්‍රාවක් පැමිණියේද අදානි සතු මුන්ද්‍රා වරායටය. මත්ද්‍රව්‍ය චෝදනාවකට ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇතත් කිලෝ තුන්දහසක් මත්ද්‍රව්‍ය ගෙන ඒම ගැන නිසි පරීක්‍ෂණයක් සිදු නොවන බව ඉන්දීය මාධ්‍ය චෝදනා කරයි. ග‍්‍රෑම් 15 ක මත්ද්‍රව්‍ය අසුවීම ගැන පරීක්‍ෂණ පවත්වන නමුත් කිලෝ තුන්දහස ගැන නිසි අවධානය යොමුව නැතැයි එන්.ඞී.ටී.වී. රූපවාහිනිය කියයි. ශාරුක්ගේ පුත‍්‍රයා සම්බන්ධව සිදුවන්නේ දේශපාලන නාටකයකි. එය වෙනම කතා කළ යුත්තකි. අදානි සමාගමට ඉන්දියාවේ බලවතුන්ගේ නොමද අනුග‍්‍රහය ලැබේ. ඔවුන් බුරුමයේ යැන්ගුන් වරායෙත් පර්යන්තයක් ඉදිකරමින් සිටී. කලාපයේ පැතිරෙන චීන බලයට එරෙහි වන්නට ඉන්දීය ආණ්ඩුව අසල්වැසි රාජ්‍යයන්වල වරායන් මිලදී ගැනීමට අදානිට උදව් කරයි. ඉන්දු චීන බල අරගලය නිසා ලංකාවට අනිවාර්යයෙන්ම කොළඹ වරායේ එක් පර්යන්තයක් ඉන්දියාවට ලබාදීමට සිදුවිය. පසුගිය සතියේ ලොව ලොකුම නැව පැමිණියේ කොළඹ වරායේ චීනය සතු පර්යන්තය වෙතය.

එහෙත් අද අප අවධානය යොමු කරන්නේ බටහිර පර්යන්තය ගැන නොව එයාර් ඉන්දියා ගුවන් සමාගම ‘‘ටාටා’’ සමාගම විසින් මිලදී ගැනීම ගැනය. ඉන්දීය රුපියල් බිලියන ගණනින් පාඩු ලැබූ මේ ගුවන් සේවාව පෞද්ගලීකරණය සඳහා මෝදි ආණ්ඩුව වසර ගණනාවක සිට කටයුතු කරමින් සිටියේය. අවසානයේ පසුගිය සිකුරාදා දිල්ලි ආණ්ඩුව නිවේදනය කර සිටියේ රුපියල් කෝටි දහඅටදහසකට මේ ගුවන් සේවය ටාටා සමාගම වෙත ලබාදෙන බවයි. එය ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක ගනුදෙනුවකි. ඇත්තෙන්ම මේ සමාගම මුලින්ම ආරම්භ කරන ලද්දේ ඒ.ආර්.ඞී. ටාටා විසිනි. ඒ 1932 දීය. නමුත් 1950 දී මෙය රජයට පවරා ගන්නා ලදී. කාලයක් මේ ගුවන් සේවය ලාභ ලැබුවත් 2007 සිට පාඩු ලබන්නට වූයේ ඉන්දීය රජයට මහත් හිසරදයක් ඇති කරමිනි.
පසුගිය වසර දහය තුළ පමණක් එයාර් ඉන්දියා සමාගම පවත්වාගෙන යාමට දිල්ලි ආණ්ඩුව ඉන්දීය රුපියල් කෝටි ලක්‍ෂයක් වැයකර තිබේ. එය ඉන්දීය වැසියන්ගේ බදු මුදල්ය. දශක ගණනාවකට පසු නැවත තම පැරණි සමාගම යළි අත්පත් කර ගැනීමට හැකිවීම ගැන ටාටා සමාගමේ හිමිකරු රතන් ටාටා සතුටට පත්වෙයි. රජයට පවරා ගැනීමට පෙර තම ගුවන් සේවය ලෝකයේ හොඳම ගුවන් සේවය ලෙස විරුදාවලිය ලබා තිබූ බව ඔහු කියයි. ඉදිරියේදී එය නැවත ලබාගැනීමට කටයුතු කරන බව පසුගිය සිකුරාදා දින පස්වරුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. කෙසේ නමුත් පසුගිය වසර 70 ක කාලය තුළ ඉන්දියාවේ ගුවන් සමාගම් 60 ක් බංකොලොත් වී තිබේ. මෙයට හේතුව දැරිය නොහැකි ඉන්ධන මිලයි. ඇත්තෙන්ම පසුගිය කාලය පුරාම එයාර් ඉන්දියා ගුවන් සේවය ගැන අසන්නට ලැබුණේ අමිහිරි කතාය. විටක අවහිර වූ වැසිකිළි ගැන මෙන්ම අකාර්යක්‍ෂම කාර්ය මණ්ඩලය ගැනද පුවත් පළ විය. මීට වසර ගණනාවකට පෙර මුම්බායි සිට ලන්ඩන් බලා ගිය යානයක මීයෙකු සිටීම නිසා ගමන අතර මැද ආපසු හැරවීමට සිදුවිය. නිව්යෝර්ක් සිට මුම්බායි නගරය වෙත පැමිණි ගුවන් යානයේ මකුණන් සිටීම ගැන බී.බී.සී.ය පවා වාර්තා කර තිබූ අන්දම අපට මතකය. දැන් මේ සියල්ල ආපසු හැරවීමට ටාටා සමාගමට සිදුවේ. මෙම ගුවන් සේවය පෞද්ගලීකරණය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබුණේ 2017 වසරේදීය.

දිල්ලියේ විදුලි අර්බුදය උග‍්‍රවෙද්දී කෝටි දහඅට දහසකට එයාර් ඉන්දියා ‘ටාටා’ සතුවෙයි

පශ්චාත් කොවිඞ් සමයේ ඉන්ධන, ගෑස් මෙන්ම ගල් අඟුරු මිල ගණන්ද බෙහෙවින් ඉහළ ගොස් ඇත. එය සමස්ත ලෝකයම අර්බුදයට පත් කරන්නකි. එංගලන්තයේ සාප්පු සංකීර්ණ වල රාක්ක හිස්ව ඇත්තේද මේ අර්බුද වල දිගුවක් ලෙසිනි. ගල් අඟුරු මිල මේ වසර ආරම්භයට වඩා 40% කින් වැඩිවී ඇත. ඒ අර්බුදය නිසා පසුගිය කාලයේ උතුරුදිග චීනයේ ප‍්‍රාන්ත 21ක විදුලිය කපා දැමීමට හේතුවිය. දැන් සිදුවන්නේ කුමක්ද? මේ අර්බුදය ඉන්දියාවට පැමිණීමය. ඉන්දියාවේ ගල්අඟුරු වලින් ක‍්‍රියාත්මක විදුලි බලාගාර සිය ගණනක් ඇති අතර එරට විදුලිබල ශක්තියෙන් 70% ක් ලබාගන්නේ මේවා හරහාය. නමුත් එම බලාගාරවලින් 75% ක්ම ගල්අඟුරු හිඟයට මුහුණපා තිබේ. ඉන්දීය විදුලි ඉල්ලූම 17% කින් වැඩිවෙද්දී සමහර ප‍්‍රාන්ත වල විදුලිය කපා හැරීමට සිදුව ඇත. උත්තරක් ප‍්‍රදේශ, කාර්ශ්මීරයේ ලදාක් වැනි ප‍්‍රාන්තවල විදුලිය බලය ඇන හිටීම සිදුව තිබේ. කොරෝනා වලින් පසුව ඉන්දීය ආර්ථිකය හිස ඔසවන විට ගල් අඟුරු හිඟය බලවත් ප‍්‍රශ්නයක් වී තිබේ.
ඉන්දීය ප‍්‍රාන්ත ගණනාවක ගල් අඟුරු ආකර තිබුණද පසුගියකාලය පුරා එම ප‍්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාව නිසා යම් ප‍්‍රශ්න උද්ගතව ඇත. විදුලි අර්බුදය නිසා ඉන්දියාවේ අගනුවර දිල්ලියද දැඩි අර්බුදයකට මුහුණදී ඇත. දිල්ලිය අඳුරට යාමෙන් වළක්වන ලෙස ඉල්ලමින් එම ප‍්‍රාන්ත මහ ඇමැති අරවින්ද් කෙජිරිවාල් විසින් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවා ඇති බව ඉකුත් සෙනසුරාදා දිනයේ ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත වාර්තාකර තිබිණි. දිල්ලියේ විදුලි අර්බුදය ආරම්භ වූයේ අගෝස්තු මාසයේ සිටය. දිල්ලි මහ ඇමැති විසින් අගමැතිවරයාට යවනු ලැබූ ලිපිය මගින් අගනුවරට විදුලිය ලබාදෙන ගල් අඟුරු බලාගාරවලට නොකඩවා ගල්අඟුරු සැපයුම් ලබා ගැනීමට අවශ්‍ය වාතාවරණය සකස්කරන ලෙස ද ඉල්ලීමක් කර තිබේ. වසංගත අඳුර පහව යද්දී විදුලි හිඟ කමින් දිල්ලිය අඳුරුවන බව පෙනේ. ෆේස්බුක් පැය හයක් ඇණ හිටීමට වඩා අර්බුදයකට සමස්ත ලෝකයටම මුහුණ දීමට සිදුවන්නේ මේ පොසිල ඉන්ධන හිඟවීමෙනි. මෙය ලංකාවේ නොරොච්චෝලයටත් බලපාන බව අනිවාර්යයෙන් සටහන් කළ යුතුය. නොරොච්චෝලේ අඩපණ වුවහොත් ලංකාවත් විදුලි අර්බුදයේ කරවටක් ගිලෙයි. යහපාලන කාලයේ කිසිම බලාගාරයක් ඉදිකෙරුණේ නැත.

කොරෝනාව ඉන්දීය ආර්ථිකයේ වේගවත් ගමන නවත්වා ඇත. විදුලි අර්බුදය උග‍්‍ර වුවහොත් මෙය තවත් බරපතළ වනු ඇත. 2020දී මේ වසංගතය නිසා ලෝක ආර්ථිකයම 4.4% කින් පහළ ගිය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප‍්‍රකාශ කර තිබිණි. ලංකාවේ ආර්ථිකයටත් වැදුණු ප‍්‍රහාරය සුළුපටු නොවේ. දැන් රට විවෘත වී ඇත්තේ දින 40 ක් පුරා සිදුවූ වසා දැමීමකින් අනතුරුවය. ඩොලරය වේගයෙන් ඉහළ යන විට බඩු මිලද ඉහළ යාම වැළැක්විය නොහැක. කිරි පිටි, ගෑස් මිලද ඉහළ ගොස් ඇත. මේ අර්බුදකාරී සමයේ භාණ්ඩ මිල ඉහළ යාම කිසිම ජගතෙකුට නැවැත්විය නොහැක. ඉන්දියාවේ ඉන්ධන මිල දිනෙන් දින වෙනස් වෙයි. එහෙත් ඒ ගැන උද්ඝෝෂණ කරන පිරිස් නම් දක්නට නැත. ගොවීන් උද්ඝෝෂණය කරන්නේ මෝදිගේ කෘෂිකර්ම පනතට එරෙහිවය.
එයාර් ඉන්දියා ගුවන් සේවය විකුණා දැමීම ගැන නම් කිසිම හා හූවක් නැත. විරුද්ධ පක්‍ෂය පවා නිහඬය. නිකරුණේ රජයෙන් සල්ලි පුච්චමින් ගුවන් සේවයක් පවත්වාගෙන යාම සුදුසු නැති බව එරට වැසියෝ දනිති. වඩා ලාභදායි නම් රජයේ ව්‍යාපාර පුද්ගලික අංශය ලබාදීම කිසිදු ප‍්‍රශ්නයක් නැත. ලංකාවේ නම් හොඳට නරකට හැම දෙයටම විරුද්ධ වෙන්නට කණ්ඩායම් සිටිති. බොරු විරෝධතා නිසා කොරෝනා රැල්ල පැතිරුණු ආකාරය අපි හොඳින් දනිමු. එසේම ඉදිරියේදී ගෑස් ටැංකි, පිටි ඔසවාගෙන පාරපුරා උද්ඝෝෂණ කරන පිරිස් දැකගත හැකි වනු ඇත. ශක‍්‍රයා රජකම් කළත් මේ අර්බුදයෙන් ගොඩයා නොහැක. නමුත් වසංගතය හමුවේ අවම හානියක් යටතේ රට පවත්වාගෙන යාම ගැන සියලූ දෙනා සතුටු විය යුතුය. පිරිසක් බලා සිටියේ රට බංකොළොත් වන තෙක්ය. ඉන්ධන හිඟයක් ඇතිවන තුරුය. නමුත් ඒ කිසිවක් උදාවූයේ නැත. තව මාස කිහිපයක් ඇතුළත සංචාරක කර්මාන්තයත් යථා තත්ත්වයට පත්වුවහොත් අපට සැනසුම් සුසුම් හෙළිය හැක. ඔක්තෝබර් 15 වැනිදා සිට ඉන්දියාව තම රට සංචාරකයන්ට විවෘත කර තිබේ. ඇමරිකාවද ලොව ඕනෑම එන්නතක් ගත් සංචාරකයින්ට රට විවෘත කර ඇත. මීට පෙර ඒ සඳහා අවසර තිබුණේ ෆයිසර් ලබාගත් අයට පමණි. ලංකාවත් සංචාරකයන්ට විවෘත කර ඇති නිසා සීගිරිය බලන්නට එන විදෙස් සංචාරකයන්ද දිනෙන් දින වැඩිවන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එය සතුටට කරුණකි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment