දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ට නගී

145

ඉන්දියාවේ අධික උණුසුම නරක අතට

මෙම දිනවල ඉන්දියාවේ වැඩි කොටසක පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි කප්පාදුව වැඩි වී ඇති අතර ජල හිඟයක් ද හටගෙන ඇති බව වාර්තා වේ. මෙම අධික උණුසුම් කාලගුණ තත්ත්වය මේ වන විට පකිස්තානයටද බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නගරයේ උෂ්ණත්වය පෙරේදා (28දා) දිනය වන විට සෙල්සියස් අංශක 45 ක් (ෆැරන්හයිට අංශක 113ක්) දක්වා ඉහළ ගොස් තිබූ අතර උෂ්ණත්වය වැඩි වීමත් සමගම නගරයේ කසළ අංගනයක හටගෙන තිබූ ගින්න ඊයේ සිවුවැනි දිනටත් ඇවිලෙමින් පැවතිනි. අප්‍රේල් මාසයේ මෙවැනි දරුණු උණුසුමක් දිල්ලි නගරයේ හටගෙන ඇති ප්‍රථම වතාව මෙය බව නගරවැසියන් මාධ්‍යට පවසා තිබේ. අධික උෂ්ණත්වය සමග හටගෙන ඇති තාප තරංග (හීට් වේව්) හේතුවෙන් ගුජරාට්, අන්ද්‍රා හා රාජස්තාන් යන ප්‍රාන්ත විසින් කර්මාන්තශාලාවලට සපයන විදුලිබලය කැපීමට පියවර ගෙන ඇති අතර වායුසමීකරණ හා විදුලි පංකා යන්ත්‍ර සඳහා පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ වන විට ඉන්දියාවේ බොහෝ විදුලිබලය නිපදවන ආයතනවල දැඩි ගල් අඟුරු හිඟයක් පැවතීම නිසා ඉදිරියේදී දැඩි විදුලි කප්පාදුවක් සිදු වීමේ අවදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment