දක්ෂිණ අධිවේගි මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදි රාජකාරියට බාධාකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා හා ලේලිය ඇප මත නිදහස් කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් මහේෂික් විජේතුංග මහත්මිය ඊයේ (08) නියෝග කළාය.
මෙලෙස ඇප මත නිදහස් කෙරුනේ තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි හරින්දි නැමති අයයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළු විමට උත්සාහ කිරීමේදි එහි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීන් විසින් ඊට ඉඩ ලබා නොදීමට විරෝධය පළකරමින් සැකකරු හා සැකකාරිය එහි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින්ට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය සිදුකිරීමට අදාළව සැකකරු හා සැකකාරියව අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර නඩුව යළි ඊයේ (08) කැඳවු අවස්ථාවේ සැකකරු හා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නිතීඥයින් විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු හා සැකකාරිය රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස නියෝග කෙරුණි.නඩුව යළි මේ මස 10 වන දින කැඳවීමට නියමිතය.
මත්තල – දිලිප් එන්. ජයසේකර