දිවා රැ නොදැනෙන-අව් වැසි නොතකන – අදුර බිදින විදුලි විරුවෝ

103

* ලංවිම  දිවා රැ  නොබලා, වැස්ස අව්ව නොබලා, ජනතාවට  සේවය කරනවා

 * පොළොව කොටන තැන පාර කපන තැන

 * ගිනියම් අව්වේ මහා වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ…

දිවා රැ නොදැනෙන-අව් වැසි නොතකන - අදුර බිදින විදුලි විරුවෝ

වෙනදා උණුසුම් වූ ගෙන්දගම් පොළොව දැන් සතියකට පමණ පෙර සිට වතුරෙන්ම පෙගී ගොස් තිබුණි. කොවිඞ් නිරෝධායනයෙන් දුරස්ථ වි ගොස් තිබූ කොළඹ මානව සම්බන්ධතා යළි සමීප වන්නට උත්සාහ දරණ පැයේම වැහි වලා නොනවත්වා පතිත වීමෙන් යළි දුරස් වන්නට පටන් ගත්තේය. එකදු නිස්කාසුවක් හෝ නොදී සියල්ල ජලයේ පාවී යන්නට පටන් ගෙන තිබුණි.වෙනදා සන්ධ්‍යාවේ අලංකාර වූ කොළඹ අහස මෙදා ඉසිලූවේ පාලූ බර ස්වභාවයකි. පරිසරය ඇල් මැරී ගොස් තිබුණද පුවත් පිපාසයට ඉන් කිසිදු පිටුවහලක් ලැබුණේ නැත. මහ වරුසාවේම මමත් අපගේ ඡුායාරුප ශිල්පියාත් වෑන් රථයට ගොඩවූයේ තවත් පුවත් අවකාශයක් පුරවා ලනු පිණිසය. එදා නොවැම්බර් මස 10 වැනිදාය වෙලාව රාත‍්‍රී දහයට ආසන්න වී තිබුණි.

 නෙලූම් පොකුණ රගහල පේන මානයට අප පැමිණෙද්දී, පොදය මහ වැස්සක් බවට පත් වෙමින් පාර ද නොපෙනෙන තරමට වැස්ස කඩා හැලෙන්නට විය. ” මහත්තයා… කළුවර මදිවට වැස්සත් පහත් වුණාණේ… පාර හරියට පේන්නෙත් නැහැ…” ඒ මැසිවිල්ල රියදුරු රංජිගෙනි. වෑන් රථයේ තිබූ රේඩියෝ මේ සියලූ විඩා නිමවමින්, අපට නොදැනීම ගිතාස්වාදය, සවනත නින්නාද කරවමින් තිබුණි. විහාර මහා දේවි උද්‍යානය සහ නෙලූම් පොකුණ රඟහල අසල වට රවුම වෙනදා මෙන්ම තදබදයෙන් පිඩා විදිමින් සිටියේය. ” කොහොමද අයියේ වාහනයෙන් බහින්නේ…?” අපගේ මාධ්‍ය ආවරණ කටයුත්ත සදහා තව කාලය තිබුණද ඡුායාරුප ශිල්පී වැස්ස සමග ගණන් සාදා තිබුණේ එලෙසටය. ” සැන්දෑ කළුවර ගලා හැලෙන විට – සෙනෙහස දැල්වුණු නිවස සොයා එමි…” සියලූ විඩා නිවමින් ගුවන් විදුලියෙන් නැගී එන මහාචාර්ය සනත් නන්දසිරිගේ ගීතයකි. සියලූ දෙනාම පාහේ දැන් සෙනෙහස දැල්වුණු නිවෙස් කරා යමින් සිටිති. සුන්දර මාර ගස් මැද්දාවෙන් ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය පසු කර අපි නිදහස් මාවතට අවතීර්ණ වීමු. අ`දුරට එරෙහිව නැගී සිටින වීදි ලාම්පු පේළිය අපට මග පෙන්වන්නා සේම තනිය මකන්නා ද සේය. අන්ධකාර රාත‍්‍රියේ ඒ විදුලි කුළුණු, අපට කුළුණු බර වෙමින් සෙනෙහස දල්වා සිටිනු වැන්න.

දිවා රැ නොදැනෙන-අව් වැසි නොතකන - අදුර බිදින විදුලි විරුවෝ

රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය අසල, රථ වාහන සංඥා ආලෝකය රතු පැහැ වුයේය. රියදුරු ඒ සංඥාව තේරුම් ගනිමින් තිරිංග තද කළේය. අ`දුර මැද්දෙන් අපට පෙනුණේ කුඹි ගුලක් සේ කඩිසරව වැඩෙහි යෙදෙන කුඩා කණ්ඩායමකි . ”මේ ? කවුද බං…?” මට කියවුණේ ඉබේටමය. ”අනිත් ඒක මේ මහ වැස්සේ…” ඒ මුවින් පිට නොවූ වාක්‍යයය.

 ”මොකක් හරි සීන් එකක් වගේ… බැහැලා බලමුද…?” පුවත් අවකාශය කොතැනද – අප එතැනය, මාධ්‍යවේදයේ මුල්ම පාඩම සිහියට නගා ගනිමින් ”රංජි වාහනය නවත්වන්න…” මට කියවුනේය. වාහන කිහිපයක් ද මහ මගට බාධාවක් නොවන සේ නවතා තිබුණි. එම වාහන සියල්ලම පාහේ ලංවිම ලකුණු සටහන් වූ ඒවාය. ” මොකද වෙලා තියෙන්නේ…” මුහුණේ බේරෙන වැහි පොද පිසලමින් මම ඇසුවේ එතැන සිටි කහපාට හෙල්මටයක් පැළදි අයෙකුගෙනි. ”සප්ලයි එකක් දෙන්න ආවා…” ඔහු යාන්තමට මා දෙස බලා සිය කාර්යයයේ නිමග්න වන අතරේම පවසා සිටියේය. ඡුායාරූප ශිල්පියාද කැමරාව සමග වෑන් රථයෙන් එළියට බැස අවට සිද්ධිය ඡුායාරූපයට නැගීම සදහා සැරසී සිටියේය. එසැනින්ම අප අසලට පැමිණියේ සුදු පැහැති හෙල්මටයක් පැළද ගත් මහත්මයෙකි. අදාළ බල ඇණියේ ප‍්‍රධානියා ඔහු බව, ඒ පැමිණීමෙන්ම පසක් විය. ” අපි දිවයින පත්තරෙන්… මෙතැන මොකද වෙලා තියෙන්නේ… ඔබතුමා කවුද…” අවශ්‍ය සියල්ල මුලින්ම එක ප‍්‍රශ්නයෙන්ම මම ඔහුගෙන් විමසා සිටියෙමි.

 ”මම විදුලි ඉංජිනේරු (තැනීම්) අමිත් දිසානායක. කොළඹ ප‍්‍රදේශයේ තොග සැපයුම්, කැනීම් කටයුතු තියෙන්නේ මගේ භාරයේ… මෙතැන ඇත්තටම වෙන්නේ, අලූත් සැපයුමක් ලබාදීමට එහා වැඩක්… පරණ

 ගොඩනැගිල්ලක් කඩලා, එහි ඇති විදුලි මීටරය අපිට අලූත් තැනකට අරගෙන යන්න වෙලා තියෙනවා. ඒ එක්කම එයාගේ විදුලි සැපයුම වැඩි කිරීමක් ඉල්ලලා තියෙනවා. ඒ කටයුත්තත් අපි ඉෂ්ඨ කරන්න ඕනේ. අපි මේ වැඬේ කරන්න කලින්ම සැලසුම් කළා. ඒත් ඒ අවස්ථාවේදී අපේ ඉල්ලූම්කරුගේ අවශ්‍යතා ඒ වෙලාව වෙනකොට ඉෂ්ඨ වෙලා තිබ්බේ නැහැ. අපිට ඒ අය දැනුම් දුන්නා, හෙට උදේ වෙනකොට විදුලි සැපයුම අවශ්‍යයි කියලා. පුලූවන් ඉක්මනට මේ වැඬේ කරලා දෙන්න කියලා ඔවුන් අපෙන් ඉල්ලා සිටියා. අද හවස හයට අපි මේ වැඬේ පටන් ගත්තා. මෙතැනට මගේ කුඩා කණ්ඩායමක් යෙදෙව්වා. සමාන්‍යයෙන් මට පනස් අට දෙනෙකු පමණ සම්පූර්ණ කණ්ඩායමක් ඉන්නවා. කැනීම් කටයුතු කරන්නේ කොන්ත‍්‍රාත්කරුවන් විසින්. මේ වෙනකොටත් මේ වගේම මුළු කොළඹ පුරාම අපි වැඩ කරගෙන යනවා. ඇත්තටම කිව්වොත් මේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක කොන්ත‍්‍රාත්කරුවන්ගේ අඩුවක් දැන් තියෙනවා. එහෙම කියලා අපේ සේවාදායකයාගේ ඉල්ලීම අපිට පරක්කු කරන්න බැහැ. ඒ නිසා විදුලිබල මණ්ඩලයේ අපේම කණ්ඩායමක් යොදවලා, ඒ අවශ්‍ය කැනීම් කරලා, සේවාදායකයාගේ ඉල්ලීම නියමිත වෙලාවටම අපි කරලා දෙනවා.”

 දැන් අපිට සිද්ධිය පැහැදිලිය. සියල්ල නොමැති වුවද විදුලිය නොමැතිව විනාඩි කිහිපයක් ගෙවීම ද අසීරුය. විදුලිය යනු ජනතා සේවයම ලාභය සහ සතුට කරගත් සේවාවකි. රාජ්‍ය යාන්ත‍්‍රණයක් ලෙස හදුන්වන  විටම අට – පහ සහ රස්තියාදුවී යන වචන අපගේ සිතට ගලා ආවත්, ඒ ආකල්පමය අදුර පලවා හරිමින් ලංවිම මෙසේ දිවා ? නොබලා, අව්ව වැස්ස නොබලා, ජනතාවට සේවය කරනාකාරය අහම්බයෙන් අපි දුටිමු.

 වර්ජන රැුළි එක පැත්තකය. වසංගතයෙන් වූ හානි තව අතකය. ඒ මදිවාට, මදි නොකියන්න වසින වැස්සය. ඔවුහුද ඔබ අපම වැනි මනුෂ්‍යයෝය. සැන්දෑ කළුවර ගලා හැලෙන විට ඔවුහුද සෙනෙහස දැල්වුණු නිවස කරා යෑමට කැමති සිත් ඇත්තෝය. එසේ වුවත් ඔබ සෙනෙහස දැල්වුණු නිවසට යන විට එහි විදුලිය නොමැත්තේ නම්… ඒ වාඩුව විද දරාගෙන සිය සේවය හිස මුදුනේ සහ සිත පතුලේම රදවාගෙන ලංවිම බලඇණි මහජන සේවය පිණිසම කැපවී සිටිති. මෙවන් කාලගුණ තත්ත්වයන් යටතේ සාමාන්‍ය බිදවැටීම් වලට අමතරව හදිස්සි බිද වැටීම් ගණනාවක් ඔවුනට ලැබෙන්නේ පැමිණිලි ලෙසය. ඒ සියලූ දෙනාට විදුලිය අවශ්‍ය වන්නේ මේ දැන්ය. මේ ඊට ද අමතරවූ කර්තව්‍යයකි. විදුලිබල මණ්ඩලයේ සේවකයෝ සියලූ දෙනා එක හැල්මට වැඩය. යෝධ ඉනිමං, ටෝච් ආදියෙන් සන්නද්ධව ඔවුහු වැටුප ඉක්මවා යන සිය සේවය සදහා කැපව සිටින බව පෙනේ.

 සියලූ දෙනා විදුලි වේගයෙන් වැඩය. වැස්ස වලාහක දෙවියෝද බරටම වැඩය. ගොඩනැගිල්ලේ පැත්තකට වි, යන්තම් නොතෙමි, ඉංජිනේරු අමිත් දිසානායක සමග සිදු කළ කතාවෙන් මුළු සිද්ධියම අපට පැහැදිලි විය.

 ” කොළඹ නගරය පුරාම මේ වගේ වැඩ අපි හැමදාම, හැමවෙලේම කරනවා. ගිය සතියේ අපිට විශාල අභියෝගයකට මුහුණ දෙන්න වුණා. මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිකරන පාලමකට අදාළ කටයුත්තක් අපිට ඉටු කරන්න වුණා. ඒ මාර්ග පාලම ඉදිකරන ස්ථානයේ විදුලිබල මණ්ඩලයේ කේබල් දහ අටක් පමණ තිබුණා. ඒ කේබල් නිසා ඒ අය ගේ පාලමේ, පයිල් කැප් එක ගහගන්න බැරිවෙලා තිබුණා. ඒ අයගේ ව්‍යාපෘතිය මේ නිසා පමාවෙන්න තිබුණා. මාර්ග සංවර්ධන අධිකාරිය කොම්පඤ්ඤ වීදිය මේ වැඩ කටයුත්ත කඩිනමින් ඉවර කරලා දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා. අපි ඒ මහා කටයුත්ත දවස් දෙකක් තුළ ඉවර කරලා දුන්නා. කේබල් දහඅටක් කිසිම ජොයින්ට් එකක් නොදා අපි කරලා දුන්නා. අපිට එතැන ජොයින්ට් තිහක් දාන්න තිබ්බා. ඒ කිසිම ජොයින්ට් එකක් නොදා අපි කේබල් දහ අට දවස් දෙකෙන් ගහලා දුන්නා. මේ මුළු කොළඹ ඉදිවෙන සෑම ගොඩනැගිල්ලක් සදහාම කැනීම් කරලා අපි තමයි විදුලි සම්බන්ධතා දෙන්නේ. ඒ සම්බන්ධතා කලට වෙලාවට, නිසි ප‍්‍රමිතියෙන් ලබා දීම තමයි අපේ කාර්යය. අව්ව වැස්ස බලලා, අපිට අපේ පාරිභෝගිකයා අසරණ කරන්න බැහැ. අපේ පාරිභෝගිකයා ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්න අපි කැපවෙලා ඉන්නවා.” තම බලකායේ කර්තව්‍ය තවදුරටත් ඉංජිනේරු අමිත් දිසානායක විස්තර කරද්දී, මේ රාජ්‍ය ආයතනයක්ම ද යන්න යළිත් අපිට සිහි කැදවා ගන්නට සිදුවිය.

 මේ විදුලිබල මණ්ඩලයේ නොපෙනෙන කතාවය. ඒ සදහා මාධ්‍ය සහ ජනතාව දෙන සම්මානය තිබෙන්නේ අතිශය දුර්වල තැනකය. විදුලිය මොහොතක් නැති වන විට නගන මැසිවිල්ලේදී මේ කිසිවක් ජනතාවට මතක් වන්නේ නැත.

 සියල්ල සිදුවන්නේ අතිශය  උද්යෝගිමත් ආකාරයෙනි. ඉංජිනේරුවා කවුද කම්කරුවා කවුද යන්න හදුනාගත හැක්කේ පැළද සිටින තොප්පියේ පැහැයෙන් පමණය. සියලූ දෙනා එක සීරුවට ඉලක්කය බලා වැඩය. මේ ආදර්ශ සම්පන්න රාජ්‍ය ආයතනය නොතිබෙන්න අප අදුරේය. ඔවුහු වැටුප මත්තෙම නහින පිරිසක් නොවෙති. රණවිරු, සුවවිරු සේම සිය රාජකාරිය සදහා මහත් කැපකිරීමක් ඔවුහු සිදු කරති. මේ වැඩ විරුවෝ විදුලි විරුවෝ ලෙස මින් මත්තේ සිටවත් අප හැදින්විය යුතුය.

 අප පැමිණි කර්තව්‍ය සදහා දැන් යායුතුය. ඇතිවී තිබූ හදිස්සි තත්ත්වය විදුලිබල මණ්ඩලයට දෝෂාරෝපණය කළ හැකි තත්ත්වයක් නම් සියලූ මාධ්‍ය මෙන්ම ජනතාව ද මේ සදහා පුළුල් ප‍්‍රචාරයක් දෙනවා නියතය. සමහර විට සජීවිව බ්‍රේකින් නිව්ස් ද ලබාදෙනවා ඇත. ඒත් මේ හොදට, කැපවීමට, සම්මාන නැත. අවම වශයෙන් ස්තුතියක් හෝ නැත. ඔවුහු ද ඒ සියල්ල මුදිතාවෙන් විදිමින් සිය සේවය සිදු කරගෙන යන්නේ, තම දේශයට ජනතාවට සේවය සලසන උත්තුංග අරමුණෙනි. වෑන් රථයට ගොඩවීමට පෙර ඒ නිලධාරීන්ට ස්තුතිය පුද කරන ලද්දේ, ඔවුන් ගේ සේවය ඇසින් දැක, විස්තර ආසා බුද්ධියෙන් තේරුම් ගත් ගෞරවය පෙරදැරිවය.

 ” පොළොව කොටන තැන පාර කපන තැන ගිනියම් අව්වේ මහා වරුෂාවේ දෙවියෝ වැඩ ඉන්නේ…”

 ටී.එම්. ජයරත්න ගයන ගීතයේ ඒ කොටස වෑන් රථයේ, ප‍්‍රචාරය වන්නට පටන් ගෙන තිබුණි. සවනට වැකෙන ගී පද සමග දෑසට පෙනුණේ, අ`දුර බි`දින, විදුලි විරුවෝ අපේ දෑස මානයෙන් සෙමින් සෙමින් දුරස්වන ආකාරයය. එසේ වුවත් ලද අත්දැකීම සමග ඔවුහු සැබෑ විරුවෝ ලෙස හදවතේ ගැබුරේ ලැගුම් ගෙන සිටියෝය.

 විද්‍යා උදපාදී –  ආලෝකෝ උදපාදී  විද්‍යාව උදාවුණා –  ආලෝකය පහළ වුණා…

 ඒ බුදු වදන, විජුල්ලතාප පුජා පෙරදැරිව, විදුලි විරුවෝ ජාතියට සෑම මොහොතකම පුදමින් සිටිති. ඔවුන් පිළිබදව විමසිල්ලෙන් සහ උපහාර පෙරදැරිව සිටින ලෙස ජාතියට තවත් වරක් මතක් කරමින්, අපට හදිස්සියේ ලැබුණු පුවත මෙසේ නිමා කරමි.

 සිරිමන්ත රත්නසේකර
 ඡායා- කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment