යථාපි තමරෝ පුප්ඵං
වණ්ණගන්ධං අහෙටයං
ඵලෙති රසමාදාය
ඒවං ගාමේ මුනිවරෙ
“යම් සේ බඹරා මලත් එහි පැහැය හා සුවඳත් නොනසා රොන් ගෙන නැඟී යයි ද එමෙන්ම භික්ෂුව දායකයන්ගේ ශ්රද්ධාවටත් භෝගයන්ටත් හානි නොකොට ගමෙහි පිඬුසිඟා හැසිරෙයි”
මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජ්ජාව ලැබූ අරිට්ඨ තෙරණුවෝ ලක්දිව පළමු බෞද්ධ භික්ෂුවයි. උන්වහන්සේගෙන් ප්රභවය වූ ලාංකේය භික්ෂු පරපුර පෞඪත්වය, අදීනත්වය හා අභිමානය ඇති වැ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීය. ගමක් ගමක් පාසා වෙහෙර විහාර ඉදිවීය. ගැමියෝ ගමේ පංසල වටා ඒකරාශී වෙමින් දැහැමි ජීවිතයකට හුරුපුරුදු වූහ. ගොවිතැන, ගව පාලනය වැනි ජීවන වෘත්තීන්ට යොමු වූහ. ලද විවේකය අර්ථවත්ව භාවිත කළහ. අවුකන පිළිමය, සඳකඩපහණ, මුරගල, කොරවල්ගල වැනි විශිෂ්ට කලා නිර්මාණ එහි ප්රතිඵලයෝය. ඔවුහු මහ මුහුද පරයන වැව් තැනූහ. අහස්කුස සිපගන්නා තරමට ස්තූප තැනූහ. “ගමයි පංසලයි, වැවයි දාගැබයි, කහ සිවුරයි නිල් ගොයමයි” වැනි සංකල්ප ඔස්සේ ගිහි – පැවිදි සම්බන්ධය ශක්තිමත් විය. එය ගහට පොත්ත, පොත්තට ගහ තරමට තීව්ර විය. එපමණක් නොව මෙරට ඇති වූ විවිධ දුෂ්කර අවස්ථාවල භික්ෂුහු පෙරමුණ ගත්හ. ආක්‍රමණ හමුවේ අභීත සෙන්පතියන් ලෙසින් මහජනයා සමග සිට ගනිමින් ජාතියට ජීවය දුන්හ. පණ පෙවූහ. වීරවරයන් තැනූහ. පාලකයන් පත් කළහ. වැරැදි පාලකයන් නෙරපූහ.
මෙලෙස අනන්‍යතාවක් ඇතව ශ්‍රී ලාංකේය භික්ෂු පරපුරේ අභිමානවත් යතිවරුන් අතර ඕවිටිගල ශ්‍රී සුනන්දරාමාධිපති කළුතර දිස්ත්‍රික්කයේ ද්විතීය සංඝනායක ඕවිටිගල සුමේධ මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්රතාපවත් භික්ෂු චරිතයකි. උන්වහන්සේ කරුණා දයා ආදී ගුණයෙන් යුතු මහ තෙරුන් වහන්සේ නමකි. කුශාග්‍ර බුද්ධියක් ඇති දුර්ලභ ගණයේ සංඝ පීතෘවරයාණන් නමකි. දිසාපාමොක් මහ ඇදුරු පරපුරෙන් පැවැත එන ශිෂ්‍යවරයන් මැනවින් හික්මවමින් ශික්ෂණයත්,දැනුමත් ලබාදෙන විශිෂ්ට ගණයේ ආචාරවරයාණන් නමකි. දායක කරකාදීන් පාපයෙන් වෙන්කොට යහපතෙහි යොදවන ප්රබුද්ධ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි.
ශ්‍රද්ධා ශීල ගුණයෙන් යුතු ආර්. එච්. ජූලිස් සිඤ්ඤෝ සහ හේවගේ දෝන මැගිනෝනා යන දම්පතීන්ට දාව 1954.07.12 දින මෙලොව ජන්මලාභය ලැබූ උන්වහන්සේ දරුවන් 09 දෙනකුගෙන් යුත් පවුලේ 05 වැනි දරුවා වූහ. දෙමව්පියන්ගේ ආගමික ළැදියාවත් පුත් කුමරුන්ගේ සංසාරික පුණ්‍ය මහිමයත් නිසාවෙන්ම 1966.07.27 දී පතළ කීර්ති ඇති බදුගම ශ්‍රී සරණංකර මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ හා ඕමත්තේ සෝමරතන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ශිෂ්‍යරත්නයක් ලෙස උතුම් පැවිදි බිමට පත්වීමට වාසනාවන්ත වූහ.
පළාතේ කීර්තිමත් විද්‍යාස්ථානයක් වූ බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙනට ඇතුළත් වූ ඕවිටිගල සුමේධ සාමණේරයන් වහන්සේ ගුරු සිසු දෙපිරිසගේම ආදර ගෞරවයට පාත්‍ර වෙමින් ප්‍රාචීණ පණ්ඩිත උපාධිය සමත්වීම දක්වා අධ්‍යාපනය ලැබූහ. පිරිවෙන් අධ්‍යාපනය හමාර කළ උන්වහන්සේ කැලණිය විශ්වවිiාලයට ඇතුළත්ව දෙවැනි පෙළ සාමාර්ථයක් සහිතව ශාස්ත්‍රවේදී උපාධිය ලැබූහ. දැන උගත්කම්වලින් පිරිපුන් තරුණ භික්ෂූන් වහන්සේ නමක් වූ අප කතානායකයාණෝ සිය ගුරු දේවයාණන් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව 1981 වසරේ ඕවිටිගල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට පත්වූහ.
ඕවිටිගල සුමේධ නායක මාහිමිපාණන් වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට අයත් භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ ස්වකීය සංඝ සභාවට ඉමහත් ගෞරවයක් ඇතිව කටයුතු කරන සුපේශල ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමකි. ඒ බව මා හොඳින් දුටුවේ සංඝ සභාවේ කල්‍යාණි කාරක සංඝ සභිකයකු ලෙස උන්වහන්සේ කටයුතු කරන කාලයේදීය. සංඝ සභාවේ යම් කටයුත්තක් වේ නම් එය ඉමහත් ඕනෑකමින් හා ගෞරවයෙන් ඉටු කිරීම නායක හාමුදුරුවන්ගේ සිරිතයි. උන්වහන්සේගේ ජාතික, ආගමික, අධ්‍යාපනික හා සමාජ මෙහෙවර ඇගැයීම් වස් තත් සංඝ සභාවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ද්විතීය සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පිරිනමනු ලැබීය.
ඕවිටිගල නායක හාමුදුරුවන් වහන්සේ මට මුණගැසුණේ 1990 දශකයේ මුල්භාගයේ බෙල්ලන පිරිවෙනේදී අප කුඩා සාමණේරයන් වහන්සේලා ලෙස එහි අධ්‍යාපනය ලබන සමයේදීය. උන්වහන්සේ ශිෂ්‍යවරයන්ට සැබැවින්ම ගුරු පියෙකි. අපගේ වරදේ දී දැඩි වෙන උන්වහන්සේ ක්ෂණයකින් වෙඬරුපිටක් සේ උණුවෙන හදවතක් ඇති යතීශ්වර තෙරනමකි. සංස්කෘත විෂයභාර ගුරුවරයා වූ උන්වහන්සේ රසවත්ව විෂය ඉගැන්වූවා පමණක් නොව, ජීවිතය ජය ගන්න ඉගැන්වූහ. සාධාරණත්වය, මනුෂ්‍යකම, ආචාරශීලී බව කියා දුන්හ. ප්‍රශ්න, ගැටලු හමුවේ නොසැලී, ධෛර්යයෙන් ක්රියාකරන්නට මඟ කියා දුන්හ. උන්වහන්සේ නියමිත වේලාවට පිරිවෙනට වැඩම කළහ. ප්‍රමාද වීම සුමේධ හාමුදුරුවන්ගේ සිරිත නොවේ. පිළිවෙළට සිවුර පෙරවූහ. අපිළිවෙළ ප්‍රතික්ෂේප කළහ. සෑම ශිෂ්‍යයකුටම සමානව සැලකූහ. මෙවැනි උත්තුංග ගුණ රාශියක් ස්වකීය ජීවිතයෙන් ප්‍රකට කළ සුමේධ නායක හාමුදුරුවන් වහන්සේ බුද්ධ කාලයේ වැඩසිටි තෙරවරුන්ගේ මඟගත් සැබෑම සත්පුරුෂ මහ තෙරවරුන් වහන්සේ නමක් යැයි මට සිතේ. සිය ගුරුබිමේ 17 වසරක සේවා කාලයක් සම්පූර්ණ කළ උන්වහන්සේ ස්වකීය විහාරස්ථානයේ සුනන්දාරාම පිරිවෙන ආරම්භ කර රටට අවැසි යති පරපුරක් තැනීමට ගන්නා වෙහෙස ද පැසසිය යුත්තකි.
ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය සමග එකතු වෙමින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී, හැකියාව ඇති දූ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙමින් සිදු කරන සේවාව ද මහමෙරක් තරම් වටිනා මෙහෙවරකි. තමන් වහන්සේට සිව් පසයෙන් උපස්ථාන කරන දායක කාරකාදීන්ට කරුණා මෛත්‍රීයෙන් ක්‍රියා කරන උන්වහන්සේ විහාරාරංග අලුත්වැඩියා කරමින්, නවීකරණය කරමින්, නව නිර්මාණ කරමින්, අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් සැබෑ බුද්ධ පුත්‍රයකුගේ කාර්යභාරය මැනවින් ඉටුකිරීම පළාතේ ජනී ජනයාගේ ගෞරවයට හා ප්‍රසාදයට හේතුවී ඇත.
ප්‍රදේශයේ ජාතික, ආගමික, සංස්කෘතික සියලු කාර්යයන්හි පෙරමුණ ගෙන ක්‍රියාකරන අපේ නායක මාහිපාණන් වහන්සේ බොහෝ තැන මුලසුන දරති. විචිත්‍ර ලෙස අනුශාසනා කරති. එම අනුශාසනා තුළ ද ගත යුතු දේ බොහෝය. ගැඹුරුය. සරලය. එමෙන්ම අර්ථවත්ය.
2024.07.12 දිනට ස්වකීය ජීවිතයේ 70 වැනි විය සපුරන ව්‍යක්ත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න, බහුශ්‍රැත, විනීත, විශාරද, ශික්ෂාකාමී මහතෙරුන් වහන්සේ නමක් වන ඕවිටිගල සුමේධ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට උතුම් රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සම්පත වේවා.
ආචාර්ය අලුත්ගම ධම්මපාල හිමි