දිවියෙන් ඉවතට දඟකැවුණු ශතවර්ෂයේ පන්දුව

202

වර්ෂ 1969 සැප්තැම්බර් 13 දා ඔසටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ මෙල්බන් නගරයේ එම්.සී.ජී. ක‍්‍රීඩාංගණයට නුදුරු ගමක උපත ලද ඔස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් ක‍්‍රීඩක ෂේන් කීත් වෝන් ක‍්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පන්දු යවන්නන්ගෙන් කෙනෙකි. ඔස්ටේ‍්‍රලියාව බිහි කළ දකුණත් පා දඟ පන්දු යවන්නෙක් වූ ඔහු වර්ෂ 2000 දී ක‍්‍රිකට් විශේෂඥ මණ්ඩලයක් විසින් ශත වර්ෂයේ විස්ඩන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් පස්දෙනාගෙන් කෙනකු ලෙසට තෝරා ගන්නා ලදී.

වර්ෂ 1992 දී සිය පළමු ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කළ ෂේන් වෝන් ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර (ODI) කඩුලූ දහසකට වැඩි ප‍්‍රමාණයක් ලබා ඇත. වෝන්ගේ ටෙස්ට් කඩුලූ 708 ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඕනෑම පන්දු යවන්නකු ලබාගත් වැඩිම කඩුලූ සංඛ්‍යාවේ වාර්තාව විය. එය 2007 වන තෙක් පැවතිණි. වෝන් 2005 සිට 2007 දක්වා වාර තුනක් හැම්ප්ෂයර් කණ්ඩායමේ නායකයා විය. වෝන් 2007 ජනවාරි මාසයේදී එංගලන්තයට එරෙහිව ඕස්ටේ‍්‍රලියාවේ අළු බඳුන තරගාවලියේ ජයග‍්‍රහණය අවසානයේ ජාත්‍යන්තර ක‍්‍රිකට්වලින් විශ‍්‍රාම ගියේය. ඔස්ටේ‍්‍රලියාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම එක්දින කණ්ඩායමට 2007 වෝන් නම් කෙරිණි. ඔහු ඉන්දීය ප‍්‍රීමියර් ලීගයේ පළමු වාර හතරේදී (2008-2011) රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් නායකයා සහ පුහුණුකරු යන දෙඅංශයෙන් ම ක‍්‍රීඩා කළේය. 2012 දී විස්ඩන් ක‍්‍රිකටර්ස් අල්මානාක් හි 150 වැනි සංවත්සරයේදී, වෝන් සර්වකාලීන ටෙස්ට් ලෝක XI කණ්ඩායමට නම් කරන ලදී. ඔහු ක‍්‍රිකට් ඔස්ටේ‍්‍රලියා විසින් ක‍්‍රිකට් හෝල් ඔෆ් ෆෙම් වෙත ද ඇතුළත් කරන ලදී.

වෝන් ක‍්‍රිකට් චින්තනයේ විප්ලවීය වෙනසක් ඇති කළේ මිය යන කලාවක් ලෙස සැලකෙන පා දඟ පන්දු යැවීමේ ප‍්‍රවීණත්වය ඔහු සමඟින් වූ බැවිනි. විශ‍්‍රාම ගැනීමෙන් පසු ඔහු ප‍්‍රධාන වශයෙන් ඔස්ටේ‍්‍රලියාවේ නයින් නෙට්වර්ක් හි ක‍්‍රිකට් විස්තර විචාරකයකු ලෙස නිතිපතා සේවය කළේය.

ෂේන් වෝන් පිළිබඳ ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් ලෝලීන්ගේ මතකය 1996 ලෝක කුසලානය වෙත දිව යනු ඇත. ඔහු එහිදී අපේ ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංගයන් සමග ක‍්‍රීඩා පිටියේදී ඇති කරගත් ප‍්‍රදර්ශනීය ගැටුම් ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් ලෝලීන්ගේ කේන්තිය අවුස්සන සුලූ විය. එහෙත් ඔහු තුළ වූ ආකර්ෂණීය ක‍්‍රීඩා විලාසය සහ ප‍්‍රදර්ශනීය බව ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනා
ගන්නට සමත් විය. ෂේන් වෝන් පිළිබඳව ප‍්‍රවීණ ක‍්‍රිකට් විස්තර විචාරක පාලිත පෙරේරාගේ ආවර්ජනය මෙසේ ය.

”ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ ප‍්‍රධාන ක‍්‍රිකට් පිටිය වන්නේ මෙල්බන් ක‍්‍රිකට් පිටිය (එම්.සී.ජී.) යි. ෂේන් වෝන් එංගලන්තයට එරෙහි ව සිය ප‍්‍රථම කඩුලූ ත‍්‍රිත්වය හෙවත් හැටි‍්‍රක් එක (hat-trick) 1994 දී අළු බඳුන තරගාවලියේ දී සිය ගමේ පිහිටි මෙම එම්.සී.ජී. ක‍්‍රීඩා පිටියේ දීයි. එම පිටියේ කඩුලූ ත‍්‍රිත්වයක් ලබා ගත් ප‍්‍රථමයා වන්නේත් ෂේන් වෝන්මයි. ඔස්ටේ‍්‍රලියාවේ චැනල් 9 ඔස්සේ ඒ අවස්ථාව විස්තර කරමින් සිටියේ ශ‍්‍රී ලංකාවේ අප මිත‍්‍ර ප‍්‍රවීණ ක‍්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රෙග් විසිනුයි. ෂේන් වෝන් එම කඩුලූ ත‍්‍රිත්වය ගන්නවාත් සමඟම අප මිත‍්‍ර ටෝනි ග්‍රෙග් ‘Its a hat-trick ”’ Shane Warnezs done it” Hezs got a hat-trick” යනුවෙන් ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් යුතුව විස්තර විචාරය කළා. ඒ වගේම ෂේන් වෝන් තමන්ගේ 700 වැනි ටෙස්ට් ක‍්‍රිකට් කඩුල්ල නැතහොත් විකට්ටුව ලබා ගත්තේත් මෙම එම්.සී.ජී. පිටියේදී ම යි. මේ නිසා ම ඔහු වික්ටෝරියා ප‍්‍රාන්තයේ සම්භාව්‍ය පුරවැසියෙක් ලෙස සලකනවා. ක‍්‍රිකට් විස්තර විචාරකයෙක් හැටියට ෂේන් වෝන්ව මා වර්ග කරන්නේ මේ ලෝකයේ දුටු විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා හැටියටයි. ඔහු පන්දු යවන අයුරු ශ‍්‍රී ලංකාවේදී මගේ මේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. ඒ නිසා ඔහුගේ පා දඟ පන්දුවල තිබුණු විස ගතිය ප‍්‍රතිවාදී පිතිකරුවන්ට කොතරම් නම් හානිදායක වුණා ද කියා මා දැක තිබුණා.

ෂේන් වෝන් 2007දී ටෙස්ට් ක‍්‍රීඩා දිවියෙන් සමුගත්තා. ඒ වනවිට ඔහු ටෙස්ට් ක‍්‍රිකට් තරග 145ක ක‍්‍රීඩා කර කඩුලූ 708 ක් ලබාගෙන තිබුණා. ඒ අනුව ඔහු ලොව වැඩිම ටෙස්ට් කඩුලූලාභීන් අතර දෙවැන්නායි. ප‍්‍රථමයා ශ‍්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් බව අපි දන්නවා. මුරලිදරන් ලබා ඇති කඩුලූ සංඛ්‍යාව 800 යි. ෂේන් වෝන්ට බොහෝ අය කතා කළේ ‘‘වෝනි” කියා යි. වෝනිගේ ක‍්‍රීඩා දිවියේ සුවිශේෂ ස්ථාන කීපයක් මට සලකුණු කළ හැකියි. ශේන්ගේ මංගල ටෙස්ට් තරග 1992 දී ඉන්දියාවට එරෙහිව සිඞ්නිවල පැවතියත් ඔහු එහිදී එතරම් දස්කම් පෑවේ නෑ. නමුත් ඊට සති කිහිපයකට පසුව ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතුව ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායම ශ‍්‍රී ලංකා සංචාරයට එක්වූ අවස්ථාවේදී කිසිම ලකුණක් නොදී විකට් තුනක් බිඳ හෙලන්නට වෝන් සමත් වුණා. එයින් මාස හතරකට පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඔස්ටේ‍්‍රලියාවේ පැවති තරගයේ අවසන් දිනයේදී වෝන් පන්දු 52ට විකට් 7ක් බිඳ හෙළුවා. මෙයින් ඔහුගේ පා දඟ පන්දු යැවීමේ විශිෂ්ට බව ලොව ප‍්‍රකට කරවූවා. ෂේන් වෝන්ගේ අන්තර්ජාතික ක‍්‍රිකට් පිමි ආරම්භ වන්නේ මේ ආකාරයටයි. පාදඟ පන්දු යවන්නකුට එක් දින තරගයකදී තීරණාත්මක පන්දු යවන්නෙක් විය හැකි බව ෂේන් වෝන්ගේ විශිෂ්ට පන්දු යැවීම දකිනතුරු කිසිවෙක් විශ්වාස නොකරන්නට ඇති. ෂේන් වෝන්ගේ එංගලන්ත චාරිකාවේ අළු බඳුන ටෙස්ට් තරගාවලියේ සිය පළමු ටෙස්ට් තරගයේදී ඔහුව පන්දු යවන්න කැඳෙව්වේ දෙවැනි දිනයේදීයි. ඒ 1993 ජූනි 04 වැනිදායි. එංගලන්තයේ මැන්චෙස්ට් නුවර ඕල්ඩි ට‍්‍රැෆර්ඩි ක‍්‍රීඩාංගණයේදී මේ තරගය පැවැත්වුණා. ඔහු පළමුවෙනි ඕවරයේ පළමුවෙනි පන්දුවෙන්ම ඔහුගේ ජීවිතයේ අතිවිශිෂ්ට විකට් එකක් ලබා ගත්තා. එංගලන්ත නායක දක්ෂ පිතිකරුවකු වූ මයික් ගැටිංගේ විකට්ටුව එයයි. ෂේන් වෝන් ඒ අවස්ථාවේ යැවූ පන්දුව ලොව පුරා සිටින ක‍්‍රිකට් විස්තර විචාරකයන් වර්ග කරන්නේ ‘ශත වර්ෂයේ පන්දුව‘ ලෙසයි. මයික් දකුණතින් පිත්ත හසුරවන ක‍්‍රීඩකයෙක්. ෂේන් වෝන් යැවූ පා දඟ පන්දුව මයික්ගේ පාදයේ පිටිපසට අඟල් 12 ක් පමණ ඈතින් පතිත වෙනවාත් සමගම තමාගෙන් ඉවතට යන පන්දුවක් කියා සිතා මයික් පන්දුවට පහර ගැසීමේ සිතුවිල්ල අතහැරියා. නමුත් පන්දුව බිම පතිත වූ තැනින් අඟල් 24ක පමණ දඟයක් කවාගෙන පා ඉන්න පැත්තේ ඉඳලා කැරකිලා ගිහිල්ලා මයික්ගේ ඕෆ්ස්ටම්ප් එකේ උඩ වැදුණා. මේ දඟ කැවීම හරිම පුදුමාකාරයි. ඒ තමයි ෂේන් වෝන්ගේ එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් දිවියේ පළමු විකට්ටුව. ඒ අවස්ථාවේ මයික් වගේම පන්දු යවන්නාගේ විකට්ටුව අසල ඉන්නා, විනිසුරු ලෙස ඒ අවස්ථාවේ සිටි ලෝකප‍්‍රකට ක‍්‍රිකට් විනිසුරු ඩිකී බර්ඩි විශ්මයෙන් බලාගෙන හිටියා. ඒ නිසා ඒ දඟ කැවීම වර්ග කරන්නේ ශතවර්ෂයේ පන්දුව හැටියටයි. ලෝකයේ ක‍්‍රිකට් පිළිබඳ ලියැවෙන එන්ගලන්තයේ විස්ඩන් සඟරාව කවුරුත් නම් කරන්නේ ක‍්‍රිකට් බයිබලය කියායි. ඒ තරම් ගෞරවනීය ස්ථානයක් 1850 ඉඳලා මේ විස්ඩන් සඟරාවට ලැබිලා තියෙනවා. එම සඟරාව විසින් විසිවන ශතවර්ෂයේ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් පස්දෙනා නම් කරනු ලැබුවා. ඒ අතරට ෂේන් වෝන් ඇතුළත් වුණා.

ෂේන් වෝන් 2007දී සිය ක‍්‍රීඩා දිවියට විශ‍්‍රාමය තැබීමෙන් පසු ක‍්‍රිකට් පුහුණුකරුවකු හැටියටත්, ක‍්‍රීඩා විස්තර විචාරකයකු හැටියටත් කටයුතු කළා. ක‍්‍රිකට් විස්තර විචාරයේදී ක‍්‍රිකට් පිළිබඳව ඔවුන්ගේ තිබුණු අභ්‍යන්තර දැනුම විශ්ලේෂණය ඉතාමත්ම ප‍්‍රශංසනීයයි. ඒ වගේම අයි.පී.එල් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයෙන් මුල්කාලයේදීත්, පසුව එහි උපදේශක ලෙසත් ඔහු කටයුතු කළා.

ෂේන් වෝන්ගේ දඟ පන්දු යැවීමේ ආයුධ තුනක් තිබුණා. ඔහු ඉතාමත්ම වේගයෙන් දඟ පන්දු යවන කෙනෙක්. මේ තරම් වේගයෙන් දඟ පන්දු යැවීමට විස්කම් පාන පා දඟ පන්දු යවන්නෙක් ලෝකයේ තාමත් මම දැකලා නැහැ. ඒ වේගය නිසාම තමයි බොහෝ පිතිකරුවන්ට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යාමට සිදු වුණේ. ඔහුගේ flipper පාපන්දුව තණ නිල්ලේ වැදුනට පස්සේ ඉහළ යන්නේ නෑ. අඩියක් පමණ ප‍්‍රමාණයකට තමයි ඉහළ යන්නේ. ඔහුගේ ගුග්ලි පන්දුව මුදාහරිද්දි අත කරකවන්නේ පා දඟ පන්දුවක විලාශයෙන් වුණත් තණ තිල්ලෙ පන්දුව පතිත වුණාට පසුව පන්දුව දඟ කැවෙන්නෙ පිට දඟ, ඕෆ් බිරේක්, ලෙසටයි. අනික් පන්දුව වන්නේ රෝං අන් පන්දුවයි. මේ පන්දු විශේෂ තුනම ඔහුගේ අතිශය විස සහිත පන්දු තුනක් ලෙස පිතිකරුවන් දැන සිටියා. නමුත් ආසියාතික රටවල පිතිකරුවන් ඉතා හොඳින් මෙවැනි පන්දුවලට මුහුණ දුන් නිසා ඔවුන් ඉදිරියේ වෝන්ට වික‍්‍රමයන් පාන්න අපහසු වුණා. වෝන්ගේ පන්දුවලට හොඳටම තැලූවේ සචින් ටෙන්ඩුල්කාර් බව අප දැක තිබෙනවා.

අර්ජුන රණතුංග සමඟ ක‍්‍රීඩා පිටියේදී ෂේන් වෝන් නිතර කේන්ති ගත්තා. 1996 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ෂේන් වෝන් යැවූ පන්දුවකට අර්ජුන රණතුංග පෙරළා පහර ගැසූ පසු ඒ පන්දුව පෙරලා පන්දු යවන්නා වෙත ආවේ උඩපන්දුවක් හැටියටයි. ඒ වෙලාවේ තමන්ගේ හිසට උඩින් යන මේ උඩපන්දුව ඇල්ලීමට අත්දෙකම අහසට විසි කරල එසවූ නමුත් ඔහුගේ ඇඟිලි අතරින් පන්දුව හිලිහී හතරේ සීමාව දක්වා ගියා. ඒ අවස්ථාවේ අර්ජුන සිය දෙතොල් අතර දිව තදකර කටින් වාතය ශබ්ද නගා පිට කළ බවට ඔස්ටේ‍්‍රලියානු ටැබ්ලොයිඞ් පත්තරවල පළවෙලා තිබුණා. මේ ගැන මම සොයා බැලූවත් එහි සත්‍ය බවට තොරතුරක් හොයාගන්න මට ලැබුණේ නෑ. නමුත් මේක ඔස්ටේ‍්‍රලියාවේදී ප‍්‍රකට විහිලූවක් බවට පත්වෙලා තිබුණා. එම තරගයේ අවසන් ඕවරයේදී ෂේන් වෝන් එවූ ෆුල්ටොස් පන්දුවට අර්ජුන රණතුංග ස්ක්වෙයාර් ලෙග් කලාපය හරහා හතරේ පහරක් එල්ල කරමින් ශ‍්‍රී ලංකාවට ඓතිහාසික ක‍්‍රිකට් ජයග‍්‍රහණය ලබා දුන්නා. ඒ පන්දුව එව්වේත් ෂේන් වෝන් ම යි.

තුෂාරී කළුබෝවිල

advertistmentadvertistment
advertistmentadvertistment