දිවි රඟමඬලෙන් සමුගත් ලීනා

1295

ඇගේ රුව මා පළමුවෙන් දුටුවේ 1950 වසරේ මැද භාගයේදී ය. මා කොට කළිසම් අඳින පාසැල් කොලු ගැටයකුව සිටියදී මගේ වැඩිමහල් සොහොයුරු කොළඹ මරදානේ සෙන්ට්‍රල් සිනමා හලේ ප්‍රදර්ශනය වූ එක්තරා සිංහල චිත්‍රපටයක් බැලීමට අපේ පවුලේ සියල්ලන් කැඳවාගෙන ගියේය. ඒ වන තෙක් මා නරඹා තිබුණේ රුක්මණි දේවි… කාන්ති ගුණතුංග …ක්ලැරිස් ද සිල්වා… රෝහිණි ජයකොඩි…රීටා රත්නායක වැනි සිංහල නිළියන් රඟපා ඇති චිත්‍රපට පමණෙකි.

‘සුරතලී’ නමින් වූ එම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑවේ ලීන ද සිල්වා නම්.. බොහෝසේ ගැමි පෙනුමකින් යුත් රෙද්ද හැට්ටයට මනා සේ අඟ පසඟ හැඩ මතු වී පෙනුණ සැබැවින්ම අහිංසක පෙනුමකින් හෙබි නිකටෙහි ලස්සන උපන් ලපයක් ද සහිත යොවුන් ලලනාවකි.

ලීනාගේ ඒ අහිංසක පෙනුම කොලු වයසේ සිටි මා සිත් ආකර්ශනයට පත් කළේ ය. ඇය එහි රඟපෑවේද ඇගේ රුවටම සියයට සියයක්ම ගැළපෙන අහිංසක ගැමි කතකගේ චරිතයකි. එම නිසාම ඇය කෙරෙහි ඇති ආකර්ශනය තවත් වැඩි විය. මා තුළ හටගත් ඒ හැඟීම මෙරට බොහෝ ලබාල යෞවනයන් යෞවනියන් තුළ ද ඇති වී තිබෙන බව මට පැහැදිළිවම වැටහී යෑමට වැඩි කාලයක් ගත නොවීය. සිංහල සිනමාවේ මෙතෙක් බිහි වූ පෙනුමින් අහිංසකම ප්‍රධාන නිළිය ඇයයි.

ලීනාගෙ බාහිර පෙනුම පමණක් නොව අභ්‍යන්තර ගති පැවතුම් ද අතිශයින්ම අහිංසකය. සරල ය. ඇය ඒ යුගයේ පහළ වූ නිහතමානීම නිළියයි. ඇය නිහතමානිකමින් රුක්මණි දේවි සමග සමතැන් ගත්තීය. ඇගේ සිනහව සෑම විටෙකම අව්‍යාජ ය. සිත හෝ හදවත තුළ එකක් තබාගෙන මුහුණේ සිනහවෙන් තවෙකක් පෙන්වන නිළියක් නොවූවාය.

දිවි රඟමඬලෙන් සමුගත් ලීනා

ලීනා ද සිල්වා සිය ජීවිත කාලයේදී ලත් ලොකුම භාග්‍යය ඇයට හැම අතෙකින්ම ගැළපෙන ස්වාමි පුරුෂයකු ලැබීමය. ඇය වැනි සමාජයේ සහ සිනමා ක්ෂෙත්‍රයේ තැලිී පොඩි වී නොසිටි ආගන්තුක අහිංසක සරල ලස්සන ස්ත්‍රියකට ආත්ම ගෞරවය රැක ගෙන නිළියගේ භූමිකාව සාර්ථකව කරගෙන යන හරිමඟ පෙන්නුවේ ඇගේ ස්වාමියා වු එවකට සිංහල සිනමාවේ ප්‍රධාන නළුවකු ලෙස කීර්තිමත් නාමයක් රඳවා ගෙන වැජඹුණු රවීන්ද්‍ර රූපසේනයි. ඔහු ඒ වන විට සිය ප්‍රෞඩත්වයද හැකියාවද හොඳ නාමයද රැකගෙන සිනමා ක්ෂෙත්‍රයේ බැබැලුණ සිනමා තරුවක් විය. අලුතින් රංගනයට පිවිසි ඇයට තමන්ට රිසි රිසි අයුරින් රඟපෑමේදී අයුතු බලපෑම් කිරීමට ඔහු එවකට සිටි චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට හෝ නිෂ්පාදකවරුන්ට ඉඩ නුදුන්නේය.

ලීනා යහපත් චරිතවත්, ආදර්ශමත් සිනමා නිළියක සේ අවසානය දක්වා නමක් දිනා සිටි නිළියකි.

සිය සැමියාගේ අකල් වියෝවෙන් පසු ලීනා ටික කලක් සිනමාවෙන් ඈත් වී සිටි බව සත්‍යයකි. ඒ අන් කිසි කරුණක් නිසා නොව ඒ වනවිට සිංහල සිනමාවේ බාහිර හැඩ හුරුකම තරමක් දුරට වෙනස් වී ඇති බව නිරීක්ෂණය කිරීමෙනි. බොහෝ තරුණ නිළියන් පිහිණුම් ඇඳුමින් සැරසෙමින් කොට කළිසමින් සැරසෙමින්…පිරිමි නළුවන් පූර්ණ ලෙස වැළඳ ගනිමින්.. අඩ නිරුවත් බව හෝ නිරුවත්බව ප්‍රදර්ශනය කරමින් කරන ලබන චරිතවලට කිසිදු ප්‍රතිකේෂ්ප කිරීමක් නැතිව ඉදිරිපත් වී තිබිණ. ඇයට කිසි දිනයක එවන් චරිත හෝ දර්ශනවලට කැමැත්තක් නොවුණ නිළියකි.

එහෙත් ඇගේ සිනමා ආගමනය යළිත් සිදු වුයේ කිසිවකු නොපැතූ අවස්ථාවක ය. විශිෂ්ට සිනමා අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් ගඟ අද්දර චිත්‍රපටයේ රඟපෑමට ලීනාට ඇරැයුම් කළාය. තමා තුළ තවමත් රංගන හැකියාවන් පවතින බව ඈ ඉන් යළිත් ඔප්පු කළාය. ඉන්පසු ලීනා යළිත් සිනමාව තුළ නිළියක ලෙස සිය ආත්ම ගෞරවයද… සිය අභාවප්‍රාප්ත සැමියාගේ ගෞරව නාමයද රැක ගනිමින් වසර කිහිපයක් විවිධ චරිතවලට පණ පෙව්වාය.

ලීනා සිය දීර්ඝ රංගන දිවියේදී කිසි විටෙක කිසිම කෙනෙකු වෙතින් කිසිම විෂමාචාර කට කතාවක් අසා නැති පරමාදර්ශී නිළියෙකි. මගේ හැඟීම අනුව ඇගේ රංගන දිවියේ හොඳම රංගනයන් ඉදිරිපත් වී ඇත්තේ ජබීර් ආර් කාදර්ගේ ‘සුනීතා’ චිත්‍රපටයේ සහ ‘රන් රස’ චිත්‍රපටයේ ය.

ලීනා ද සිල්වා නිළි අහිංසකාවියට සුබ ගමන්…..!

මෙල්රෝයි ධර්මරත්න
(ප්‍රවීණ සංගීතවේදි හා ගායන ශිල්පි)
(මුහුණු පොතේ තැබූ සටහනකින් උපුටා ගන්නා ලදී.)

advertistmentadvertistment
advertistmentadvertistment