දිස්ත්‍රික්ක 13ක එක්ලක්ෂ හැටදහසක් පීඩාවට

103

දිස්ත්‍රික්ක 13ක ග්‍රාමසේවා වසම් 89කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 40,758ක පුද්ගලයන් 1,59,511ක් ඊයේ (15දා) පෙරවරුව වනවිට පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පසුගිය 07 වැනිදා සිට මෙම ආපදා තත්ත්වය ඇතිවී තිබේ. වර්ෂාපතනයේ අඩුවීමක් ඊයේ (15දා) වාර්තා වුවත් ගංවතුර හේතුවෙන් ජනතාව ඊයේ (15දා) වනවිටත් පීඩාවට පත්ව තිබුණි.

අවතැන්ව ඇති පවුල් 2,433ක පුද්ගලයන් 10,361ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 80ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හිරාන් තිලකරත්න මහතා පැවසීය. මරණ 03ක් සහ තුවාල ලැබීම් 02ක් වාර්තා වී ඇත. වැඩිම පිරිස එනම් පවුල් 20,553ක පුද්ගලයන් 82,839ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ද කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 15,941කට අයත් පුද්ගලයෝ 60,233ක් ද ඊයේ (15දා) වන විට පීඩාවට පත්ව සිටිති.

නිවසකට පූර්ණ හානිවී තවත් නිවාස 370කට අර්ධ හානි සිදුවී ඇත. පවුල් 78ක පුද්ගලයන් 248ක් ඥාතී නිවාසවල ද පවුල් 2,433ක පුද්ගලයන් 10,361ක් ආරක්ෂිත ස්ථාන 80ක ද රැඳවීමට පියවර ගෙන ඇත.

කළුතර, ගම්පහ, කොළඹ, කිලිනොච්චිය, කෑගල්ල, රත්නපුර, හම්බන්තොට, ගාල්ල, පොළොන්නරුව, මහනුවර, කුරුණෑගල, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක දහතුනේ ජනතාව පීඩාවට පත්ව සිටිති.

ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් ද කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 08 සඳහා දෙවැනි ගණයේ නාය අවදානම් නිවේදන නිකුත් කර තිබිණි. ජනතාව ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කර නොතිබිණි.

දිවයිනට බලපා තිබූ වැසි සහිත කාලගුණික තත්ත්වය අද (16දා) වනවිට යම් අඩුවීමක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුර පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක තරමක වැසි ඇතිවිය හැකි බවද තිලකරත්න මහතා කීය.

අධික වර්ෂාපතනය හේතුවෙන් බණ්ඩාරගම, වලල්ලාවිට, බුලත්සිංහල, මිල්ලනිය, දොඩංගොඩ, මිනුවන්ගොඩ, ජා ඇළ, කැලණිය, මහර, ගම්පහ, කටාන, අත්තනගල්ල, බියගම යන ප්‍රදේශවල මාර්ගවල ස්ථාන කිහිපයකින් ගමනාගමනයට බාධා පැමිණ තිබුණි.

පීඩාවට පත් ජනතාව බේරා ගැනීම සඳහා ගම්පහ, කොළඹ, කළුතර යන දිස්ත්‍රික්කවල බෝට්ටු 13ක් සමග පොලිස් නිලධාරීන් 46ක් යෙදවීමට කටයුතු කර ඇත.

මේ අතර බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණයවීම නිසා උතුරු අක්ෂාංශ 06ත් 12ත් සහ නැඟෙනහිර දේශාංශ 81 සහ 93ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැයට කිලෝමීටර් 60 – 70) සමගින් තද වැසි පැවතිය හැකි නිසා නැවත දැනුම් දෙනතුරු එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

චමින්ද සිල්වා


advertistmentadvertistment