ගාල්ලෙන් මරණයක්
කළු ගඟ – අත්තනගලු ඔය පිටාර මට්ටමේ
කලා වැවේ වාන් දොරටු 2ක් අරී
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 17,078කට අයත් පුද්ගලයන් 67591ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගාල්ල ප්‍රදේශයෙන් එක් මරණයක් වාර්තා වන අතර අයහපත් කාලගුණයෙන් 11ක් තුවාල ලබා ඇත. පීඩාවට පත් පවුල් 27ක පුද්ගලයන් 122ක් ආරක්ෂිත ස්ථාන 3ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය කියයි.
මේ අතර රත්නපුර, කොළදන්කුල, එගොඩ ඇල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (21දා) උදේ ගසක් කඩා වැටීමෙන් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. සිද්ධියෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ලබන 27 වැනිදා දක්වා දවස පුරා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (21දා) පැවසීය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මහනුවර යන පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවත් මාතලේ, ගාල්ල, මාතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවත් හෙතෙම කියා සිටියේය.
ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කළුතර, මාකෙළිඇල්ල ප්‍රදේශයෙන් වාර්තා වන බවත් එය මිලිමීටර් 107.5ක් බවත් ඒ මහතා සඳහන් කළේය. මෙම දින කීපය තුළ ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ ගැන අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ශ්‍රේණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා කාලය තුළ බුලත්සිංහල, මදුරාවල, පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව කියයි.
ඊට අමතරව අත්තනගලු ඔය ද්‍රෝණියේ ජල මට්ටම ද ඉදිරි පැය 48 දක්වා වූ කාලයේ ඉහළ යෑමත් සමඟ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇළ, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ගංවතුර අවදානමකට ලක්ව තිබේ.
පවතින වැසි තත්ත්වයත් සමඟ ඊයේ අලුයම වනවිට කලා වැව ජල ධාරිතාව උපරිම මට්ටමට වැඩිවීම හේතුවෙන් කලා වැවේ හදිසි වාන් දොරටු දෙකක් ඊයේ උදෑසන විවෘත කිරීමට පියවර ගත් බව කලා වැව ජලාශ භාර කාර්යාලය පවසයි.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඊයේ කොළඹ නගරයේ ආමර්වීදිය, පුරහල ප්‍රදේශය, තුම්මුල්ල ඇතුළු මාර්ග කීපයක් වැසි ජලයෙන් යටවී තිබීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල විය. වැසි හමුවේ කොළඹ නගරයේ විශාල ගස් යට වාහන නවතා තැබීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
අධික වැසි නිසා නිවාස 25කට පූර්ණ හානි සිදුවී ඇති අතර තවත් නිවාස 502කට අර්ධ වශයෙන් හානි සිදුවී තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා, ධර්මසේන වැලිපිටිය