දුක්මුසු වතුර බිල

838

තව දින කීපයකින් අපේ රටේ වතුර බිල ඉහළ යෑමට නියමිතය. මෙදා සැරේ වතුර බිල 70% න් පමණ ඉහළ යන බවක් පෙනෙන්නට ඇති බැවින් බිල ගෙවාගත නොහැකිව ගඟේ මුහුදේ ඇති වතුරටම පැන මිය යෑමට ඔබට සිතුනොත් පුදුම නොවන්න. එහෙත් වතුර බිලක් වෙනුවෙන් සිය දිවි නසාගැනීම නොහොබිනා බව අපගේ මතය වේ. අප සිය කැමැත්තෙන් මැරෙනවා නම් මිය යා යුත්තේ හතර වටේටම දැනෙන ගේමක් ගැසීමෙන් පසුවය. එහෙත් මේ මොහොතේදී රට වැසියා කුමන ගේම් එකක් ගැසුවත් ඒ බවක් කාටවත් දැනෙන්නේ නැත. එයට හේතුව ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ වඩාත්ම දුෂ්කර ආර්ථික සමය ගතකරමින් සිටීමය. අනෙක් අතට අපේ රටේ මිනිස්සු කිසිම ගේමක් හරියාකාරව ගසා ගැනීමට නොදනිති. ඔවුන් කිසියම් වැඩක් කිරීමට ගියොත් එහි අවසානය චොර කර ගැනීමට ඉතාම ප්‍රිය ය. මේ සඳහා ඇති හොඳම උදාහරණය අරගලයයි. අරගලයේ මුල් ටික හොඳ විය. මැද ටික ගඳ විය. අග ටික කුණු විය. මේ තුනම එකතු වූ විට අරගලය චොර වී ඇති බව පෙනින. ජන අරගලයකට එවැනි ඩැමේජ් එකක් සිදුවූ විට ජනතා විශ්වාසය යළි ලබාගැනීම ඉතාම දුෂ්කරය. මීට දින කිහිපයකට පෙර ආණ්ඩුව විසින් විදුලි බිලද ඉහළටම නංවන ලදී. එහිදී සාමාන්‍ය ජනයාට සිදුවූයේ වෝල්ටේජ් 33000 ක විදුලි රැහැන් ඇති විදුලි කණුවක ඉහළටම නැග එම විදුලි රැහැන අල්ලා දිවි තොර  කර ගැනීමය. එහෙත් කවුරුවත් එසේ කළේ නැත. ජීවිතය යනු දුෂ්කරතා සමුදායකි. මෙම දුෂ්කරතා ජයගැනීමට ජීවිතය ජය ගැනීම යැයි කියනු ලැබේ. අප මේ උත්සාහ කරන්නේ ජීවිතය පිළිබඳ දර්ශනවාදී පාඨමාලාවක් පැවැත්වීමට නොවේ. ලයිට් බිලත් වැඩිවී, කෑම බීමවල මිලත් වැඩිවී, ප්‍රවාහන ගාස්තුත් වැඩිවී, වතුර බිලත් වැඩිවී ජනතා කෝපයත් වැඩිවූ විට එය පාලනය කිරීම සඳහා කිසියම් දාර්ශනික ප්‍රවේශයක් අනුගමනය කළ යුතුය යන මෝඩ මතයක් අප තුළ හටගෙන තිබේ. ඉහත සඳහන් කරුණු ස්වල්පය ලිව්වේ එකී මෝඩ මතය වෙනුවෙනි.

 මෙයට අවුරුදු හැට හැත්තෑවකට පෙර ලංකාවේ නාගරික ප්‍රදේශවල වතුර ටැප් තිබුණු නමුත් කවුරුවත් වතුර සඳහා මුදල් ගෙව්වේ නැත. ටැප් එක ඇරීම, වතුර ඒම, එම වතුර පානය කිරීම හෝ එයින් ස්නානය කිරීම, ඉන්පසු ටැප් එක නොවසාම ගෙදර බලා යෑම යනාදිය එක දිගට සිදුවිය. 1965 වන විටත් ශ්‍රී ලංකාවේ නළ ජල සම්පාදනය සිදුකෙරුණේ ජනතා සේවයක් ලෙසය. එකල මේ පහසුකම නාගරික පන්තියට පමණක් සීමා වූ බව නැවතත් මතක් කර දෙමු. නගරාසන්න පාසල්වලට වතුර ටැප් තිබුණු අතර එම ටැප්වලට වතුර ආවේ කොහෙන්දැයි ළමයි තබා ඉස්කෝලේ ප්‍රින්සිපල්වත් දැන සිටියේ නැත. මේ අතර රටේ ජනගහනය වැඩිවී ජනාවාස ප්‍රමාණයද ඉහළ යන්නට පටන් ගත්තේය. ශ්‍රී ලංකාවේ ජනගහනය ක්‍රමානුකූල ලෙස වැඩිවූ ජනගහනයක් නොවේ. 1960 දක්වා මේ රටේ ජනගහනය වැඩිවූයේ ඉතාම අල්ප වශයෙන් පමණි. 1970 න් පසු ඒ ගමන වේගවත් විය. 1990 සිට 2000 දක්වා ඒ ගමන ධාවන තරගයක් මෙන් ඉක්මන් විය. එහෙත් ක්‍රි. ව. 2000 න් පසු ජනගහනයේ කිසියම් පාලනයක් ඇතිවූ බව දක්නා ලදී. එසේ වුවද තිබෙන ජනාවාසවලට හරියාකාරව පානීය ජලය ලබා ගැනීම ප්‍රශ්නයක් විය. ඇත්තම තත්ත්වය නම් මේ ප්‍රශ්නය පටන් ගන්නේ 1975 දීය. එවිට එවකට තිබූ සමගි පෙරමුණු ආණ්ඩුව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නමැති ආයතනයක් පිහිටුවා ජලය බෙදාහැරීම කළමනාකරණය කිරීමට පටන් ගත්තේය. 1980 වන විට මේ රටේ ජනයා ඉතා කුඩා ජල බිලක් ආණ්ඩුවට ගෙවූහ. 2010 වන විට වතුර සඳහා ආණ්ඩුවට තමා මිලක් ගෙවන බවට ජනතාවට දැනෙන තරමට ජල බිල නැංගේය. 2020 වන විට නළ ජලය යනු විදුලිය මෙන්ම ඉතා පරිස්සමෙන් පාවිච්චි කළ යුතු ද්‍රව්‍යයක් බවට පත්විය.

 ශ්‍රී ලංකාවේ නාගරික භූගත ජලය ඉතාම අපිරිසිදුය. උදාහරණයක් වශයෙන් කොළඹ නගරය ගත්තොත් එහි නාගරික භූගත ජලයෙන් 30% ක Brand New අසූචි ඇත. මේ නිසා පිරිපහදු කළ හෙවත් Treatment එකක් කළ පානීය ජලය අත්‍යවශ්‍ය ය. ජල සම්පාදන මණ්ඩලය කොළඹට පමණක් නොව මුළු රටටම පිරිපහදු කළ පානීය ජලය සපයයි. මේ පිරිපහදු කාර්යය සඳහා යන්ත්‍ර, රසායනික ද්‍රව්‍ය සහ ශ්‍රමය අවශ්‍යය. මේ සියලු දෙයකම මිල ඉහළ ගොස් ඇති බැවින්ද දීර්ඝ කාලයකින් වතුර බිල නංවා නැති බැවින්ද ජල බිල නැංවීමට සිදුවන බව වෝටර් බෝඩ් එක කියයි. එහෙත් මේ සා විශාල ප්‍රමාණයකින් ආණ්ඩුව ජල බිල නංවන්නේ මන්දැයි අපට නොතේරේ. පෙට්‍රල් මිල, ගෑස් මිල, යනාදිය ඉහළ යෑම නිසා ශ්‍රී ලංකාව දුෂ්කර ජීවිත ගතකරන විඩාපත් ජාතියක් බවට පත්ව තිබේ. ජීවිතය මේ තරම් විඩාපත් නම් ඒ ජීවිතය තුළ අප ලගින්නේ කුමටද? දැනට මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු දීම පුවත්පතකට අයිති කාර්යයක් නොවේ. ලංකාව බංකොලොත් වූ රටකි. ජනතාව බලා සිටින්නේ එය ගොඩඑන තුරුය. අලුත් අය වැය ලේඛනයෙන් මිනිස්සු සහන අපේක්ෂා කරති. ආණ්ඩුවේ යුතුකම වන්නේ ආර්ථික දුක් ගැහැට වලින් කම්පාවට පත්ව සිටින මේ ශෝකී ජාතියට කිසියම් සතුටක් ලබා දීමය. ඒ සතුට ජනතාවට ලැබිය යුත්තේ පහසු ජීවිතයක් ගත කිරීම මගිනි. ඊට වඩා වැඩි දාර්ශනික උත්තර මේ මොහොතේදී අපට අවශ්‍ය නැත.

advertistmentadvertistment
advertistmentadvertistment