දුක් විඳින ජනතාවට සතුටක් ගෙන එන්නට හැකිනම් ඒක තමයි ලොකුම ජයග්‍රහණය – චාමික

387

ආසියානු කුසලාන අවසන් මහා තරගයට පෙර චාමික කරුණාරත්න දිවයින’ට කියයි

ආසියාව යනු අපේ කලාපයයි. එම කලාපයේ ක්‍රිකට්  පිටියේ ශූරයා කවුරුන්ද යන්න අද තීරණය වේ. මේ  කලාපයේ ක්‍රිකට් බලධාරියා වන ආසියානු ක්‍රිකට් කවුන්සිලයට  අයත් සාමාජික රටවල් ගණන 25ක් පමණ වේ. ඒ සාමාජිකයන්  අතරින් කලාපයේ ලොක්කා තෝරන සටනේ අවසන් දෙදෙනා අතරට  ශ්‍රී ලංකාවද එක් වී තිබේ.

රටේ දසතම දුක්, පීඩාවලින් වසා ගෙන තිබියදී ක්‍රිකට්  අතින් හෝ මෙසේ සැනසීමක් ලබා ගන්නට හැකි වීම එක් අතකට භාග්‍යයකි. ශූරතාව හිමි වුවද නැති ද ශ්‍රී ලංකා කණ්ඩායම හිටි හැටියට මෙතෙක් දුර හෝ පැමිණීම  භාග්‍යයකි. ඒ භාග්‍යය මෙරටට උදා කර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන චාමික කරුණාරත්න ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග අවසන් තරගයට පෙර සාකච්ඡාවක නිරත විය. මේ එම සාකච්ඡාවේ සටහනයි.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. තරගාවලියට සහභාගි වන විට කණ්ඩායමට බලාපොරොත්තුවක් තිබුණාද අවසන් මහා තරගයට පිවිසීම පිළිබඳව?

පිළිතුර – ඔව්. අවසන් මහා තරගයට පිවිසීම තමයි අපේ ඒකායන අරමුණ වුණේ. ප්‍රබල ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය පරාජය කරලා අපි ඒ අවස්ථාව උදා කර ගත්තා. දැන් අපට තියෙන්නේ ඒ කඩඉම ජයගෙන රටට තවත් ආසියානු කුසලානයක් හිමි කර දීමයි.

ප්‍රශ්නය – ඒත් තරගාවලියේ ආරම්භය ශ්‍රී ලංකාවට එතරම් සුබදායී වුණේ නැහැ. ඇෆ්ගනිස්තානය අතින් දරුණු පරාජයකට ලක් වුණා. එතකොට බලාපොරොත්තු බිඳුණද?

පිළිතුර – නැහැ. එදා තමයි අපි යළි ශක්තිමත්ව නැගිට්ටේ. ඇෆ්ගනිස්තානයට පරාජය වීම අපට ගොඩක් ලොකු පාඩමක් වුණා. වැරැදි අඩුපාඩු හොයා ගන්න ලැබුණා. ඒවා නිවැරදි කර ගත යුතු ආකාරය පුහුණුකරුවන් සහ නායකයා සමග එක්ව සාකච්ඡා කළා. කොහොම හරි ඉදිරි තරග ජය ගෙන අපේ ඉලක්කයට යා යුතුයි කියන තැනට වැඩ කළා.

ප්‍රශ්නය – මෙතෙක් පැමිණි ගමනේ කවුද තීරණාත්මක සාධකය වුණේ?

පිළිතුර – එයා හොඳයි මෙයා හොඳයි කියන්න බැහැ. මේ පැමිණි ගමන තනිකර සාමුහික ගමනක්. ඔබ දකින්නට ඇති බංග්ලාදේශයට එරෙහි තරගයේදී අසිත ප්‍රනාන්දු, අනෙන් තරගවල පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක භානුක රාජපක්ෂ, නවක ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ, මහීෂ් තීක්ෂණ ආදී හැම ක්‍රීඩකයෙකුම පාහේ මේ ජයග්‍රහණවල කොටස් කරුවන් වුණා. අපි කණ්ඩායමක් ලෙස යම් තැනකට ඇවිත් තියෙන්නේ මේ එකමුතුකම නිසයි. හැබැයි අපිට තව මීට වඩා දිගු ගමනක් යන්න තියෙනවා.

ප්‍රශ්නය – අවසන් මහා තරගයේදී පකිස්තානය සමගයි තරග වැදීමට නියමිතව තිබෙන්නේ. ඔබේ තක්සේරුව කොහොමද මේ ප්‍රතිවාදියා පිළිබඳව?

පිළිතුර – පකිස්තානය කියන්නේ ගොඩක් ප්‍රබල කණ්ඩායමක්. අපි වගේම ඔවුනුත් ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය සුපිරි වටයේදී පරාජය කළා. ලෝකයේ පන්දු වාර 20-20 පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සහ දෙකට සිටින පිතිකරුවන් දෙදෙනාම පකිස්තානය සතුයි. මොහොමඩ් රිස්වාන් සහ බාබර් අසාම්. ඒ වගේම ඔවුන්ට හොඳ වේග පන්දු යැවීමේ බලඇණියක්ද සිටිනවා. ඒ නිසා පකිස්තානය කියන්නේ හොඳ ප්‍රතිවාදියෙක් වගේම ප්‍රබල තරගකරුවෙක්

ප්‍රශ්නය – මේ ප්‍රබල ප්‍රතිවාදියා හමුවේ මොනවගේ සූදානමක්ද තියෙන්නේ?

පිළිතුර – අපි මේ තරගාවලියේ දී වගේම පෙර තරගවලදිත් එක් එක් කණ්ඩායමට අවශ්‍ය ආකාරයට සැලසුම් හදලා තරග වැදුණු කණ්ඩායමක්. ඒ අනුව අවසන් මහ තරගය සඳහාත් අපේ හොඳ සැලසුමක් තියෙනවා. තරගයේදී වැරදි නොකර එම සැලසුම ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් අපට ශුරතාව දිනා ගන්න පුළුවන්.

ප්‍රශ්නය – කණ්ඩායමේ වෙනස්කම් සිදු වෙයිද අවසන් තරගයේදී?

පිළිතුර – වෙනස්කම් ගැන මම දන්නේ නැහැ. හැබැයි අපේ අතිරේක ලැයිස්තුවේ ඉන්න ක්‍රීඩකයන් ද හොඳ දක්ෂ අය. කවුරු ඇතුළට ආවත් නාවත් ප්‍රශ්නයක් නැහැ. හොඳ සමතුලිත කණ්ඩායමක් අපට ඉන්නවා.

ප්‍රශ්නය – ඉන්දියාව මේ තරගාවලියෙන් දැන් ඉවත් වෙලා අවසන්. ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා සමගයි අපි එදාට සටන් වදින්නේ. සතුරාගේ සතුරා මිතුරා කියලා කියමනක් තියෙනව. ඒ කියන්නේ එදාට ඩුබායි ක්‍රීඩාංගණයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ සහාය නොඅඩුව අපට ලැබෙයිද. මොකද හිතෙන්නෙ?

පිළිතුර – අපේ ක්‍රීඩකයන්ට ලෝකයේ හැම අතින්ම ආශිර්වාදය හිමිවන කාලයක තමයි අපි දැන් ඉන්නේ. විශේෂයෙන් අපේ රට දැන් පත්ව තිබෙන තත්ත්වය තුළ හැම රටක්ම අපිට ආශිර්වාද කරනවා. මේ දෙකෝටියක් වන ජනතාවට සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන් ජයග්‍රහණයක් ලබා දීලා ඔවුන්ගේ දුක් සංකා මොහොතකට හෝ අකා මකා දමන්නට අපට හැකි නම් එය තමයි අපේ ලොකුම ජයග්‍රහණය.

ප්‍රශ්නය – මොකද හිතෙන්නෙ පසුගිය වසර එකහමාරක දෙකක කාලය දෙස ආපසු හැරී බැලුවොත්?

පිළිතුර – වසර එකහමාරකට පමණ පෙර අපේ ක්‍රිකට් එතරම් හොඳ තත්ත්වයක නොවෙයි තිබුණේ. ඒ තත්ත්වයෙන් ගොඩ ගන්නට ක්‍රීඩකයන්, තේරීම් කමිටු සාමාජිකයන් විශාල දායකත්වයක් ලබා දුන්නා. එදා මෙදා මේ ඇති වූ වෙනසට හේතු වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව රටේ ක්‍රිකට් නංවාලීමේ අවංක වුවමනාවෙන් සිදු කරන ලද සේවය නිසයි. ඔවුන් තරුණ ක්‍රීඩකයන්ට ගොඩක් අත දුන්නා. ඔවුන් කෙරෙහි විශ්වාසය තැබුවා. විශේෂයෙන් චරිත් අසලංක, පැතුම් නිශ්ශංක සහ මා ඇතුළු ක්‍රීඩකන් මීට වසර එකහමාරකට පමණ පෙර කොහේද හිටියේ? මෙවැනි දක්ෂතා ඇති ක්‍රීඩකයන් හඳුනාගෙන කණ්ඩායමට ගෙනාවා. ඒ වගේම ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය අපි ඒ ආකාරයෙන්ම රැක ගත්තා. මහන්සි වුණා. කැපවීමෙන් වැඩ කළා. ඒ ප්‍රතිඵල තමයි මේ එන්නේ. කණ්ඩායම ගත්තොත් වයස අතින් අවුරුදු 25ක පමණ සාමාන්‍යයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් තරුණ කණ්ඩායමක්. මම ගිය අවුරුද්දෙත් කිව්වා වෙනසක් කරලා පෙන්වනවා කියලා. මේ අවුරුද්දේ මුලදිත් කිව්වා. ඒ නිසා බලන් ඉන්න මේ සහෝදරයන් වැනි තරුණ කණ්ඩායම වෙනසක් කරලා පෙන්වනවා.

ප්‍රශ්නය – වසර අටකට පමණ පසුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ. ලෝක කුසලාන තරගාවලියත් ළඟ එනවා. කොහොමද ඒ පිළිබඳව දකින්නේ?

පිළිතුර – අපිට දිගු කාලීන සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මට ලෝක කුසලාන තරගාවලියත් ඇතුළත්. බලාපොරොත්තු අත් හරින්න එපා.

ප්‍රශ්නය – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එනවිට ශ්‍රී ලංකාව දෙස ඉන්දීය මාධ්‍ය බැලුවේ පහත් ඇසකින්. ඔවුන් අපව අවතක්සේරුවට ලක් කළා. ඒ තත්ත්වය පිළිබඳව ඔබ මොකද කියන්නේ?

පිළිතුර – මාධ්‍යය පැත්තෙන් ගත් විට හොඳ දේවලුත් යනවා. නරක දේවලුත් යනවා. එහිදී අපි හොඳ දේවල් හොඳ විදිහට දකිනවා. නරක දේවල් දැක්කත් නොදැක්ක විදිහට ඉන්නවා. මොකද අපි ඒවට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. ඒ ඇයි මාධ්‍යට පුළුවන් ක්‍රීඩකයෙකු ඇති කරන්නත් නැති කරන්නත්. ඊට හොඳම උදාහරණ තමයි කුසල් මෙන්ඩිස්. ඔහු සෑහෙන කාලයක් මාධ්‍යයේ විවේචනයට ලක් වුණා. ඒත් දැන් ඔහු ලෝකයම කතා වෙන තරම් දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙකු බවට පත් වෙලා තිබෙනවා. ඉන්දියාව ඉතින් ලොකු රටක් නිසා මේ අවස්ථාවේදී එහෙම කරන්න ඇති. ඒත් අපි මාධ්‍ය එක්ක දුවන්නේ නැහැ. අපි හැමවිටම දුවන්නේ කණ්ඩායමත් එක්ක රට වෙනුවෙන්. අපි ඒ අය කියන දේවල් ගණන් ගන්නෙ නැහැ. ඒ දේවල්වලින් සිදු වෙන්නේ අපි තවත් නැගිටින එක. පළමු තරගය පරාද වීමෙන් පසුව සිදු වුණේත් ඒ නැගිටීමම තමයි.

ප්‍රශ්නය – ඔබ ක්‍රීඩා පිටිය තුළදී ගොඩක් කාර්යබහුල බවක් පෙන්නුම් කරනවා. සෑමවිටම එහෙට යනවා. මෙහෙට යනවා කාට හරි මොනවා හෝ කියනවා. හරිම උනන්දු ස්වරූපයක් තමයි හැමතිස්සෙම ඔබගෙන් දකින්නට ලැබෙන්නේ. කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ට වඩා මොකක්ද මේ ඔබ පෙන්වන කාර්යය බහුලත්වය?

පිළිතුර – සිනාසෙයි.. ඔව් සමහරවිට කට්ටියට හිතෙන්න පුළුවන් මම දඟලන කෑ ගහන කේන්ති ගන්න කෙනෙක් කියලා. ඇත්තටම ඒවා පිට්ටනියට විතරයි. මොකද රටේ ජයග්‍රහණය විතරයි එතනදි මගේ ඔළුවේ තියෙන්නේ. මම ක්‍රිකට්වලට අමතරව බැඩ්මින්ටන් සහ මලල ක්‍රීඩා කළා. ඒ හැම ක්‍රීඩාවකදීත් මගේ ඔළුවේ වැඩ කරන්නේ ජයග්‍රහණය විතරයි. හැබැයි ඒ හැම දෙයක්ම ලණුවෙන් ඇතුළේ පමණයි. ලණුවෙන් එළියේ මම හරිම නිදහස් විනෝදකාමී පුද්ගලයෙක්.

සාකච්ඡා කළේ –  කුෂාන් සුබසිංහ ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment