දුක සහ දුකට හේතුව

1448

යුරෝපයේ සහ අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි ඇතැම් රටවල ඇතැම් අවස්ථාවලදී හැමදේටම පෝළිමේ ඉන්නට සිදුවේ. විශේෂයෙන් අප්‍රිකානු රටවල ඉන්ධන, ගෑස් සහ ආහාර සඳහා නිරන්තරයෙන් පෝළිම් හටගනී. ඒවාට සාපේක්‍ෂව බලනවිට ලංකාවට පෝළිම් සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් නැත. ලංකාවේ පෝළිම් සංස්කෘතිය අවස්ථා ස්වල්පයකට පමණක් සීමාවී තිබේ. එදත් අදත් අප දැන සිටි එකම සහ දිගම පෝළිම බස් පෝළිමය. ඊට අමතරව දෙවන ලෝක යුද සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ජනතාව පෝළිම්වල ලැග්ගාහ. 1970 සමගි පෙරමුණ ආණ්ඩුව සද්භාවයෙන් අනුගමනය කළ ඇතැම් ආර්ථික සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති නිසාද ජනයා පෝළිමේ සිටියහ. මින් පළමු වැන්න සමූපකාරයේ හාල් පෝළිමය. හත්තෑවේ සමගි පෙරමුණ ආණ්ඩුව සහල් පිටරටින් ගෙන්වීම වළක්වනු පිණිස වැඩි වැඩියෙන් කුඹුරු වගාකිරීමටත් බත් වෙනුවට මඤ්ඤොක්කා, බතල සහ අර්තාපල් නොවන අල වර්ග පරිභෝජනයටත් ජනතාව පුරුදු කිරීම සඳහා වෙළෙඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය සීමාකර සහල් වෙළෙඳාම සමූපකාරයට භාරකළේය. සෑම පාරිභෝගිකයකුටම හාල් සේරු දෙකක් නොමිලේද තවත් සීමාසහිත සහල් ප්‍රමාණයක් සේරුව සත 25 බැගින්ද දෙන ලදී. මේවා ලබාගැනීමට මිනිස්සු පෝළිම්වල සිටියහ. මෙවැනි පෝළිමක වැඩිම වුණොත් පහළොස් දෙනකු හෝ විසිදෙනෙකි. මේ පෝළිමට අමතරව පාන් සඳහාද පෝළිමක් තිබිණ. එකල පස්දෙනකුගෙන් යුත් පවුලකට දිනකට සපයන ලද්දේ පාන් රාත්තල් දෙකහමාරකි. පාන් සෑදීම සහ බෙදාහැරීම බලයලත් බේකරිවලට සීමාවිය. මේ නිසා උදයටත් හවසටත් පාන් බේකරි ඉදිරිපිට සීමිත පෝළිම් දක්නට ලැබිණ. මේ කියන කාලයේදී චූන් පාන් නැත. ප්‍රේස්ටි්‍ර ෂොප් ද නැත. පීසා හෝ බර්ගර් නැත. කල්තබාගත හැකි පෙතිපාන්ද නැත. එකල ශ්‍රී ලංකාව ගැමි රාජ්‍යයකි. ලංකාව, වියට්නාමය, කාම්බෝජය, ඉන්දියාව, භූතානය, නේපාලය යන රටවල් සියල්ල මේ කාලයේදී තිබුණේ ශ්‍රී ලංකාවේ ගැමි ආර්ථිය හා සමාන තැනකය. මේ අතර 1977 දී හදිසියේම සිංගප්පූරුව වීමට මේ රටේ ආණ්ඩුවට සිතිණ. අපට කෙලවීම පටන් ගන්නේ එතැණිනි.

 අද තිබෙන පෙට්‍රල් පෝළිම් සහ ගෑස් පෝළිම් යන දෙවර්ගය ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් පහළවුණු දීර්ඝතම පාරිභෝගික භාණ්ඩ පෝළිම් ලෙස සැළකිය හැකිය. මේ පෝළිම් හා සසඳන කල හැත්තෑහතේ පාන් පෝළිම් සහ හාල් පෝළිම් ශූන්‍ය බවට පත්වේ. නූතන පෙට්‍රල් පෝළිම් සහ ගෑස් පෝළිම් සැලකිය හැක්කේ මිනිසුන්ට දඬුවම් කිරීම සඳහා පනවන ලද පෝළිම් ලෙසය. මේවායේ සිටගෙන සිටීම සඳහා නිශ්චිත කාලයක් නැත. ඇතැම් විට පෙට්‍රල් පෝළිමකට යන වාහනයක් තෙල් ගසාගෙන පෝළිමෙන් ඉවත්ව යන්නේ දවස් දෙකකට පසුය. ඒ දවස් දෙක පුරාම වාහන අයිතිකාරයෝ කුණුහරුපයෙන් ආණ්ඩුවට බනිමින් පෝළිම්වල කල්ගෙවති. සාමාන්‍ය ජනතාව හොඳටම අමාරුවේ වැටෙන්නේ භූමිතෙල් පෝළිමේ සිටගත් විටය. ඇතැම් විට භූමිතෙල් පෝළිමක ගතකළ යුතු කාලය පැය 24 කි. ගෙදරින් ප්ලාස්ටික් පුටු ගෙන ජනයා ඒවායේ ඉඳගෙන හිස් භූමිතෙල් බූලියද පැත්තකින් තබාගෙන රෑ පහන් කරති. ඇතැම් විට මධ්‍යම රාත්‍රිය වනවිට පුටු පෝළිමක් දක්නට ලැබේ. ගෑස් පෝළිමේද වැඩිපුර සිටින්නේ හිස් ගෑස් ටැංකිය. ඉතාම නරක තත්ත්වය වන්නේ දවස් දෙකක් පමණ පෝළිමේ සිට අන්තිම තැනට ගියවිට ගෑස් හෝ ඉන්ධන ඉවර වී ඇති බව දැනගන්නට ලැබීමය. ඉන්ධන රැගත් නැව් විශාල වශයෙන් කොළඹ වරායට පැමිණ තිබෙන බව ඛනිජ තෙල් ඇමැති කංචන විජේසේකර නිතර කියයි. එහෙත් මේ නැව්වල ගෙන්වන තෙල් ගොඩබිමට ගෙනෙන බවක් නොපෙනේ. සමහර විට වැරදීමකින් මේවා මුහුදටම පොම්ප කරනවා විය යුතුය. එම වැරැද්ද හදාගත්තේ නැතිනම් ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා දර වශයෙන් පාවිච්චි කිරීමට මේ රටේ මිනිස්සු උත්සුක වනවා ඇත.

 තෙල් පෝළිම් නිසා ත්‍රිරෝද රථ රියැදුරෝ මහත් දුකක් විඳිති. වෙනදා මාසයේ දවස් තිහම දුවන ඔවුහු දැන් දුවන්නේ මසකට දින පහළොවක් පමණි. එයට හේතුව දවසක් ඇර දවසක් පෙට්‍රල් පෝළිමේ පැය 24 ක් ගතකිරීමට ඔවුනට සිදුවීමය. ඒ නිසා අද ගහන තෙල් වලින් හෙට වැඩකළ හැකිය. අනිද්දා ගහන තෙල් වලින් ඉන්අනිද්දා වැඩකළ හැකිය. බස් රියැදුරන්ගේ තත්ත්වයත් එයමය. මෙය ආණ්ඩුවේ මිල සූත්‍රය හා සමාන කාරණයකි. මාසයකට දවස් 15 ක් වැඩකරන කෙනකුට ආහාර වලට මුදල් වියදම් කර ජීවත්විය හැක්කේ එකී වැඩකරන දින පහළොව පමණි. පාසල් වෑන් රථ රියැදුරෝ ඉකුත් මාසයේදී සම්පූර්ණ වශයෙන් වාගේ ස්වකීය සේවය අත්හිටුවා ගෙවල්වලට වූහ. මේ මොහොතේදී මේ රටේ ජනයා මැරී නොමැරී දුක්විඳිති. දුක ඉන්ධන සහ ගෑස්ය. දුකට හේතුව මේ දෙක නැතිවීමය.

advertistmentadvertistment
advertistmentadvertistment