දුන්හිඳ අනතුර ගියර් හුටපටයක්ලු

13559

බදුල්ල දුන්හිඳ ඇල්ල අඹගහඔය පහේ කණුව ප්‍රදේශයේදී ඇතැම් රියැදුරන් වාහන පදවද්දී ගියර් මාරු නොකර තිරිංග පාගමින් වාහන පැදවීමට පුරුදුවීම හේතුවෙන් අනතුරු සිදුවන බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙම මාර්ගයේදී සිකුරාදා අලුයම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස්රියක් අනතුරකට ලක්වී සිසුන් දෙදෙනෙකු මියගොස් තවත් සිසුන් 41 දෙනෙකුට තුවාල සිදුවී රෝහල්ගත කිරීමේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් කන්දෙවත්ත මහතා එසේ පැවසීය.

මෙම මාර්ගයේ ගමන් ගන්නා ඇතැම් වාහන රියැදුරන් නොදන්නාකමට වාහනයේ මෙසේ තිරිංග තද කරමින් ධාවනය කිරීම හේතුවෙන් තිරිංග රත් වී ඇලෙන බවත් මේ හේතුව නිසා එම තිරිංග අක්‍රිය වෙන බවත් හෙතෙම පැවසීය.

මෙම අනතුරෙන් ළමුන් හයදෙනෙකු බරපතළ තත්ත්වයෙන් පසුවන බවද පොලිසිය කියයි.

කෙසේ වෙතත් මෙම අනතුර පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් කරගෙන යයි.

මෙම මාර්ගයේ වාහන පදවන රියැදුරන් තිරිංග මෙන්ම ගියර් මාරුකිරීම පිළිබඳව කල්පනාකාරී වියයුතු බව පොලිසිය සඳහන් කරයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment