දුනු ඊතල ප‍්‍රහාරයකින් 5 ක් මරුට… නෝර්වේ ත‍්‍රස්ත බියෙන් තැතිගනී

264

සැකකරු අන්තවාදියෙක් – පොලිසිය ගිනිඅවි රුගෙන පාරේ… සිද්ධිය සුළුකොට තකන්නේ නෑ – අගමැතිනිය කියයි

නෝර්වේහි කොන්ග්ස්බර්ග් නගරයේ දී පෙරේදා (13 දා* දුනු ඊතල යොදාගෙන ඩෙන්මාර්ක් ජාතිකයකු විසින් එල්ල කරන ලද මාරක ප‍්‍රහාරයකින් එරට පුද්ගලයින් පස්දෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූවන් අතර සේවය නිමකර යමින් සිටි එරට පොලිස් නිලධාරියකු ද සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය පවසයි. ප‍්‍රහාරය කොන්ග්ස්බර්ග් නගරයේ පුළුල් කලාපයක් ඉලක්ක කර සිදුකර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති ඩෙන්මාර්ක් ජාතිකයා ජාතිවාදියකු බව දැනට සිදුකර ඇති ප‍්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇතැයි පවසන නොර්වේ පොලිසිය මොහු කිසියම් ත‍්‍රස්ත කණ්ඩායමක් හෝ සංවිධානයක් සමග එක්ව සිටින්නේදැයි විමර්ශනය කරන බව ද පවසයි. පොලිසිය දැනට විශ්වාසය පළ කරන්නේ ඔහු තනිව ප‍්‍රහාර එල්ල කර ඇති බවය. ඊට සාධක ලෙස අනුමාන කරන්නේ ඊතල ප‍්‍රහාර එල්ල වී තිබුණේ ස්ථාන කිහිපයකදී වීමය.

මීට පෙර 2011 වසරේ දී පුද්ගලයකු විසින් සිදුකරන ලද බෝම්බ සහ වෙඩි ප‍්‍රහාරයකින් පුද්ගලයෝ 77දෙනෙක් මරණයට පත්වූහ. ඊට පසු 2019 වසරේදී ඕස්ලෝ නුවර පල්ලියකදී ගිනිඅවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම සිද්ධීන් සමග නෝර්වේ හි ත‍්‍රස්තවාදය හිස ඔසවමින් පවතින බවට ජනතාව අතර බියක් හටගෙන ඇත.

අගමැති එර්නා සෝල්බර්ග් මහත්මිය මේ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙය සුළු කොට නොතකන බවත් පුළුල් විමර්ශනයක් සිදුකරන බවත්ය. මේ අතර පවතින ආරක්ෂක අවදානම සලකා රට පුරා අවිගත් පොලිස් නිලධාරීන් යෙදවීමට රජය පියවර ගෙන තිබේ.

නෝර්වේ රාජ්‍යයේ සාමාන්‍යයෙන් රාජකාරිවල නිරතවන්නේ අවි නොගත් පොලිස් නිලධාරීන්ය.

උපාලි ද සේරම් සහ ඒමත්ති මාරඹේ

advertistmentadvertistment