දුප්පත්කම ඩබල් වෙලා – ලෝක බැංකුව කියයි

326

කුසගිනි නිවා ගන්නත් ණය වෙන්න වෙලා

පිට පිට අවුරුදු 4ක් දරිද්‍රතාව ඉහළට

රස්සා දොරවල් වැහිලා

භාණ්ඩ මිලෙන් ජනතාව පීඩා විඳිනවා

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව එක දිගට වසර හතරක් වැඩිවූ බවත් ඒ අනුව ගිය වර්ෂයේ (2023) දී සියයට 25.9ක් දක්වා දරිද්‍රතාව වැඩිවී ඇති බවත් ලෝක බැංකුවේ නේවාසික ප්‍රධාන ආර්ථික විද්‍යාඥ රිචර්ඩ් වෝකර් මහතා ඊයේ (02දා) පැවසීය. වර්ෂ 2012 දී පැවැති දරිද්‍රතා මට්ටම සියයට 13.1 ක් විය.

දුප්පත්කම ඩබල් වෙලා - ලෝක බැංකුව කියයි

මේ අනුව රට තුළ තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, ආදායම් අසමානතාවන් නිසා ශ්‍රම වෙළෙඳපොළ ගැටලු පවතින බවත් ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ කොළඹ ලෝක බැංකු කාර්යාලයේදී ‘ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම’ නම් වාර්තාව නිල වශයෙන් නිකුත් කිරීම නිමිත්තෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායේ අඩුවීමක් පෙන්නුම් කරනා අතර විශේෂයෙන් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වසාදැමීම නිසා කාන්තාවන් හා නාගරික ප්‍රදේශවල ජනතාව අතර ශ්‍රම බළකායට සහභාගිවීමේ අඩුවක් දක්නට ලැබුණු බව ද රිචඩ් වෝකර් මහතා සඳහන් කළේය.

ලෝක බැංකුව විසින් ඊයේ නිකුත් කළ ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම නම් නවතම වාර්තාවේ මෙසේ සඳහන් වේ. ‘භාණ්ඩවල ඉහළ මිල, ආදායම් තත්ත්වය අඩුවීම සහ අඩු ආදායම් සහිත රැකියා පැවතීම වැනි විවිධ ප්‍රශ්නවලින් ජනයා පීඩාවට පත්වී සිටිති. මේ හේතුව නිසා ජනතාවට ආහාර අවශ්‍යතා සපුරාගැනීම සඳහා ද ණය ගැනීමට සිදුව ඇත.

මෙම මාධ්‍ය හමුවට ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ (දකුණු ආසියානු කලාපය) ෆ්‍රැන්සිස්කා ඔන්සෝගේ සහ ශ්‍රී ලංකාව, මාලදිවයින සහ නේපාලය සඳහා ලෝක බැංකුවේ නේවාසික කළමනාකරු චියෝ කන්ඩා යන මහත්මීහුද සහභාගිවී සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment