දුප්පත්කම, පොහොසත්කම කියන්නේ හේතුඵල ධර්මයක්

67

අද උදෑසන පිණ්ඩපාතය බෙදන්න දුප්පත් පවුලක් පැමිණියා. එම පිංවතුන්ලාගේ සෑම ඉරියව්වකින්ම භික්ෂුව දැක්කේ දුප්පත්කම. ඕනෑම සමාජයක ධර්මානුකූලව සංස්කාර විෂමතාවයන් තිබෙනවා. පෙර ජීවිතයේ දන් පූජා කළ පිංවතුන් ධනවත් වෙනවා, පෙර ජීවිතයේ දානයෙන් දුර්වල පිංවතුන් ආර්ථික අතින් දුර්වලවෙනවා. මේ ආර්ථික විෂමතාවය යම් පමණකට හෝ සමබරකොට, ඇති හැකි අයගෙන්, නැති බැරි අය පෝෂණය කිරීමටයි රටකට නායකයෙක් හෝ රජයක් පත්කොට ගන්නේ. උදෑසන පිණඩපාතයට බතකුයි පලා මැල්ලූමකුයි පූජා කරන අහිංසක අම්මා කෙනෙක් දැක්කම, භික්ෂුවට සිහිපත් වෙන්නේ ඒ අහිංසක අම්මාගේ දුප්පත්කම නොවේ, ඒ අහිංසක අම්මාගේ ප‍්‍රතිලාභයන් මහ දවල් සොරකම් කරන, දේශපාලන සහ නිලධාරී පංතියේ ඒවා සිදු කරන මහ සොරුන්වයි. දුප්පතුන්ගේ සැපය සොරකම් කොට, අහිංසකයින්ගේ දුක් කඳුළු වලින් ඉදිවෙන සතුටු සිනා මන්දිර, පටිච්චසමුප්පන්න අනාගත භව ගමනේ, දුකේම සොහොන් කොත් බව, කරුණාවෙන් සටහන් තබනවා, පිංවත් ඔබට නිවැරදිවීම උදෙසාම.

මෙය සටහන් තබන භික්ෂුව, භික්ෂුවගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස සහ මේවාට අරමුණු වන බාහිර රූපයන් මගේ කොටගන්නේ නැහැ. මේවා අයිති අවිද්‍යාවට. අවිද්‍යාවට අයිති දෙය, භික්ෂුව, සොර සිතින් මගේ යැයි ගන්නේ නැහැ. භික්ෂුව දන්නවා සොරකමේ ආදීනවයන්. අවිද්‍යාවට අයිති ඇස, මගේ යැයි සොර සිතින් අයිතිකොට ගත්තොත්, පටිච්චසමුප්පන්නව ආයෙමත් ඇසක්, දුකක් උපදිනවා. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ සොරකම පිළිකුල් කරනවා. ඒ නිසාම උන්වහන්සේලා සොරකම ලෝකය තුළ තිබෙන්නට හැරලා, ලෝකයෙන් නිදහස් වෙලා යනවා. උතුම් සම්මා දිට්ඨිය දුර්වල මනුෂ්‍යයෝ, අතීත බුදුරජාණන්වහන්සේගේ ශ‍්‍රාවකයින් ලෝකය තුළ හැරදමා ගිය සොරකම, දේවත්වයෙන් ජීවිතයට එකතුකොටගෙන, අනාගත භව ගමනේ තමාගේම සැපය, තමාම සොරකම් කොටගන්නවා. වර්තමාන රටේ පිංවත් රාජ්‍ය නායකතුමා ඉදිරියේ බලවත් වගකීමක් තිබෙනවා, සොරකම රටේ රජකිරීමට ඉඩ නොතබා, තමා රටේ රජු යැයි ඔප්පුකොට පෙන්වීමට. සම්පත් බහුල රටක, දුප්පත්කම දුප්පතුන්ට අයිති දෙයක් නොව, සොරුන් විසින් බලෙන් ඇතිකළා වූ දෙයක්මයි. කර්මයට අභියෝගකොට දුප්පත් ජනතාවට සතුටක් ලබාදීමට, ඔබට නොහැකි නම්, එය තවත් බලාපොරොත්තු නොවිය යුත්තක්මය.

වස්සානය ගෙවීයන්න කැලැන්ඩරයේ තව දින දෙක තුනයි තිබෙන්නේ. මේ ලිපිය පළවෙනකොට වස්සානය අහවරවෙලත් ඇති. සුන්දර වස්සානය, ඔබ ගෙවී ගියා, භික්ෂුව ළඟ මුකුත්ම ඉතිරි නොකර. භික්ෂුව කාට නම් ඉතිරිකරන්නද. අවිද්‍යාවට, සංස්කාරයන්ට, විඤ්ඤාණයන්ට, මේ කාට නම් ඉතිරි කරන්නද. අවිද්‍යාව මගේ කොටගෙන අපි ඉතිරි කළොත්, ඉතිරි කරන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්මයි. අනේ සාදු සාදු, ඉතිරි කිරීමේ තරඟකාරිත්වයෙන් පෙළෙන හැමෝටම ඉහත ඇත්ත වැටහේවා.

දුප්පත්කම, පොහොසත්කම කියන්නේ හේතුඵල ධර්මයක්

උදාවුණ භික්ෂුවගේ දහහතර වැනි වස්සානය හරිම ලස්සන වස්සානයක්. ඒ වස්සානය ලස්සන කොට දුන්නේ, ජීවමාන ශාස්තෘන්වහන්සේ වන උතුම් ධර්ම විනය විසින්. ජීවමාන ශාස්තෘන්වහන්සේ ඇසුරේ ගතකරපු වස්සානයක්. ජීවමාන ශාස්තෘන්වහන්සේගෙන් අවවාද අනුශාසනා ලබපු වස්සානයක්. ජීවමාන ශාස්තෘන් වහන්සේට ගෞරවයෙන් උපස්ථාන කරපු වස්සානයක්. ජීවමාන ශාස්තෘන්වහන්සේත්, සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දැකපු වස්සානයක්. ලෞකික ප‍්‍රඥාවේ ඇස් ඇත්තෝ දකිත්වා, සද්ධර්මය මේ නිමේෂයේදිත් ඒහිපස්සිකව බබළනවා. පිංවත් අපේ කෙලෙස් තුනීකොට ගන්න, හෙට වෙනකම් බලා සිටින්න අවශ්‍ය නැහැ. මධ්‍යස්ථ වීර්යයෙන් රූපය දෙස බලන්න, ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ලෝකය දෙස සිහිනුවණින් බලන්න. එවිට ඔබට පසක්වේවි මේ සියල්ලේම සැඟවුණ හිමිකරුවා, චතුරාර්යසත්‍යය නොදැනීම යැයි කියන අවිද්‍යාවමයි කියලා.

දුප්පත්කම, පොහොසත්කම කියන්නේ හේතුඵල ධර්මයක්. පොහොසතුන්ගේ බදු මුදලින්, දුප්පතුන් පෝෂණය කිරීම, මනුෂ්‍ය ධර්මයක්. මේ සියල්ල සොරකම් කිරීමට, ගසාකෑමට, මනුෂ්‍යයෙක් තුළ සකස්වන සිතුවිල්ල, අමනුෂ්‍ය ධර්මයක්මයි. පංචඋපාදානස්කන්ධ ලෝකය ජවාධිකව ගලාගෙන යනවා. පිංවත, අවිද්‍යාවෙන් උපන්, තෘෂ්ණාවෙන්ම පෝෂණය වන ලෝකය ගැන පරිස්සමෙන්. බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුවක් හික්මවීමට විනය කාරණා දෙසිය විස්සක් සහ අධිකරණයන් හතක් පැනවූවා සේම, රටක් පාලනය කිරීමට ශක්තිමත් විනයක්, අධිකරණයක් අවශ්‍යමයි. එය එසේ නොවුණොත්, සමස්ත ජනතාවම අකුසලයෙන්, අකුසලයටම ඇදීගොස්, උතුම් ශාසන අර්ථයන් අවිද්‍යාව විසින්ම ගිලගන්නවා ඒකාන්තයි. භික්ෂුව මේ තබන සටහන් දේශපාලනය උදෙසා නොව, සම්මා සම්බුද්ධ ශාසනයේ හෙට දවස උදෙසාමයි. අද තෘෂ්ණාව සමඟ යහන්ගතවන සමාජයකට, හෙට අයිතිවෙන්නේ සිහින පමණක්මය.

මනෝ සම්ඵස්සයෙන් උපද්දවා දෙන සිහින දකින්න අවිද්‍යාව හරිම ප‍්‍රියමනාපයි. අවධියෙන් සිටින විට සිහින දකිනවා වගේම, නින්දේදීත් සිහින දකින්න අපි කැමති වෙන්නේ, පංචඋපාදානස්කන්ධයන් කෙරෙහි තිබෙන අසීමිත තෘෂ්ණාව නිසාමයි. පසුගිය දිනයක පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමින්වහන්ස, මම සෝවාන්ඵලයට පත්වෙනවා සිහිනෙන් දැක්කාය කියලා. භික්ෂුව එම මහත්මයාට දැනුම් දුන්නේ මහත්තයෝ, කරුණාකරලා උතුම් ධම්මානුපස්සනාව උපයෝගී කොටගෙන, අධිගම තෘෂ්ණාව ජීවිතයෙන් බැහරකොට දමන්නය කියලා.

අධිගම තෘෂ්ණාව ජීවිතය තුළ හොල්මන් කරන පිංවතුන්ලා සිටී නම්, උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන් ශක්තිමත් කොටගත් සම්මා සමාධිමත් සිතෙන්, පටිච්චසමුප්පාද ධර්මයන් තුළ ජීවිතය විසුරුවා දකින්න. ජාති පච්චයා ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් ගොඩක්ය මේ ජීවිතය කියලා. අවිද්‍යාවේ උල්පතින් ගලා එන දුකේ දුක් කඳුළු, සිහින වලින් නොව, අවබෝධයෙන්ම සියුම්කොට ගන්න. එවිට ඔබට තෘෂ්ණා නිරෝධා, උපාදාන නිරෝධෝ කියන ධර්මතාවය ජීවිතය තුළින් අත්දකින්න පුළුවන් වේවි. සමාජයේ ජීවත්වන සමහරක් පිංවතුන්ලා මන්තරයක් සේ උතුම් සෝවාන්ඵල අවබෝධයන් ගැන කතා කළත්, ඒවා තුළ වැඩි වශයෙන්ම තිබෙන්නේ අධිගමයන් කෙරෙහි ආශ්වාදයන් පමණක්මයි. විදර්ශනාමය නුවණ පැත්තෙන් සමාජය පසුවෙන්නේ හුඟාක් පසුගාමී තැනක. අපේ ජීවිත ඉදිරියට පැමිණෙන, බලාපොරොත්තු කඩවීම්, අභියෝග, පරාජයන් ඉදිරියේ අපේ හැසිරීම් අපි සියුම්ව නිරීක්ෂණය කළ යුතුයි. මෙය සටහන් තබන භික්ෂුවගේ ජීවිතය ඉදිරියට, භික්ෂුව අකමැති යම් දෙයක් සිදුවුණොත්, භික්ෂුව එම සිද්ධිය යොමු කරන්නේ පුද්ගල සංඥාවකට නොවේ, උතුම් සම්මාදිට්ඨියට අදාළ කර්මය කර්මඵල විශ්වාසයටයි. ඒත් වර්තමාන සමාජය හුඟාක් කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. තමන් අකමැති දෙයක් සිදුවීමට අදාළ තම අතීත අකුසල්, අවිද්‍යාවේ අසිහියෙන් වසාගෙන, පුද්ගල සංඥාවන් කෙරෙහි ගැටෙමින් බරපතළ අකුසල් ජීවිතවලට එකතුකොට ගන්නවා. ඒ වගේමයි තමන් කැමති දෙයක් සිද්ධවෙද්දී, ඊට අදාළ කුසල් පක්ෂය ගැන නොසිතා, එතැනදිත් පුද්ගල සංඥාවන් කෙරෙහි ඇලෙමින්, මමත්වයේ දැඩිභාවයම ඇතිකොටගන්නවා. පටිච්චසමුප්පන්න විඥාන මායාකරුවා, රූපය නමැති

ගෘහයේ තනාගත් වේදිකාව මත, ඇලීම් සහ ගැටීම්, මෝහයේ සංදර්ශනයන් දිගට හරහට රඟදක්වද්දී බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයින් අපට සිදුවී තිබෙන්නේ, සියළු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිමින් නිහඬව සිටීම පමණක්මයි.

භික්ෂුව, තෘෂ්ණාවට නම් හරිම බයයි. මොකද භික්ෂුව දන්නවා, තෘෂ්ණාව ළඟ දුක තිබෙනවාමයි කියලා. ඒත් බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයකුට අනුනගේ තෘෂ්ණාවත් සමග යායුතු සහ යාහැකි දුරක් තිබෙනවා. ඒ වගේම භික්ෂූත්වයට, අවදානම් තැන්වලදී නැවතීමකුත් තිබෙනවා. මේ සියල්ල තීරණය වෙන්නේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ හෙට ගැන සිතා මිස, භික්ෂුවකගේ, අද දවස ගැන සිතා නම් නොවේ. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක් යනු පොදු දේපළක් මිස, සීමිත පිරිසක් පමණක් පරිහරණය කරන පෞද්ගලික දේපළක් නම් නොවිය යුතුයි. මේ සෑම දෙයක්ම අපිට නිරවුල් කොට දෙන්නේ උතුම් සම්මාදිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ ශක්තියමයි.

පිංවත් ඔබට, මෙය සටහන් තබන භික්ෂුව කෙරෙහි පුංචි හෝ කේන්තියක් ඇතිවුණොත් ඔබ මොකද කරන්නේ. පිංවත් ඔබ කළයුත්තේ භික්ෂුව කියන පුද්ගල සංඥාවෙන් මොහොතක් බැහැරවෙලා, භික්ෂුවගේ රූපය අට්ඨික සංඥාවෙන්ම දකින්න. එවිට කේන්තිය බැහැර වෙලා ජීවිතය විවේකිව ඵස්සය ළඟ නවතීවි. පිංවත් ඔබේ උදරය ආහාර වලට ප‍්‍රිය නැහැ. ආහාර කෙරෙහි ඔබ ඇතිකොටගන්නා තෘෂ්ණාවයි, ඔබව ආහාරයේ සිරකරුවෙක් බවට පත්කරන්නේ. ද්වේශය, කේන්තිය කියන්නෙත් පිංවත් ඔබට අයිති දෙයක් නොවේ, එය උතුම් මනුෂ්‍ය ධර්මයකුත් නොවේ, ද්වේශය, කේන්තිය අයිති තෘෂ්ණාවේම සශ්‍රීක පොහොරක් වන මමත්වයේ දැඩිභාවයටයි. පිංවත් ඔබ ද්වේශයට, කේන්තියට අකමැතිනම් කරුණාකර, ඔබේ ඵස්සය අසලින් තෘෂ්ණාව ගලවා ඉවත් කරන්න. එතෙක් ඔබේ ඵස්සයට තෘෂ්ණාවේ රසායනික පොහොර නොයොදා, අවම වශයෙන් තෘෂ්ණාවේ වස විස අඩු, කොම්පොස්ට පොහොරින් ඵස්සය තෙත් කරන්න දක්ෂ වෙන්න. අපි උතුම් සෝවාන්ඵල අවබෝධය ලබද්දිත් අපායගාමී නොවන කේන්තිය අපි තුළ තිබෙන අතර, කේන්තිය සහ ද්වේශය පරිපූර්ණව නිරෝධය කරන්නේ උතුම් අනාගාමී ඵල අවබෝධයේදීමය. හැබැයි ඉතින් අනාගාමී උග්ග ගෘහපතිතුමාත්, තමාගේ සිත් රිදවා, තම කුටියෙන් බැහැරව ගිය ස්වාමින් වහන්සේ නමකට, සමාව නොදුන්නේ කේන්තිය නිසා නොව, උතුම් ශාසන පූර්වාදර්ශයන් උදෙසා මෛත‍්‍රී සිතින්මය. උතුම් කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ තම මව් භික්ෂුණියගේ දරු තෘෂ්ණාව දැක, දැඩි වචන වලින් ඇයට චෝදනා කොට, තම මවගේ දරු තෘෂ්ණාව සිඳ දමන්නේ, කේන්තිය නිසා නොව, මාතෘත්වය කෙරෙහි විදර්ශනාමය මෛත‍්‍රියෙන්මය. දෑස් අන්ධ චක්ඛුපාල මහ රහතන් වහන්සේ මහ කැලය මැද්දේ දර කඩන ස්ත‍්‍රියක් සමග කාමයේ වරදවා හැසිරුණු තම ඥාති අතවැසි භික්ෂුවට, වහාම පිටවී යන්න යැයි බැහැර කරන්නේ, උන්වහන්සේගේ කේන්තිය නිසා නොව, උන්වහන්සේ සතු විදර්ශනාමය ශීල පාරිශුද්ධිය කෙරෙහි ඇති, මෛත‍්‍රිය නිසාමය. අපි තුළ සකස්වන ද්වේශය, කේන්තිය අවමකොට ගැනීමට, නිරෝධය කොට ගැනීමට නම් අපි මුලින්ම උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් භාවනාවක් සේ ජීවිතයට එකතු කොටගත යුතුය. බුදුරජාණන් වහන්සේට අකීකරු වීමමයි, කර්මය කර්මඵල විශ්වාසයට අදාළව තම ලැබීම් සහ නොලැබීම් විග‍්‍රහකොට නොගැනීමමයි, ගැටෙන සිතට මුල්වෙන්නේ. උතුම් සම්මාදිට්ඨියේ අර්ථයන් නොපුහුණුකොට අපි වඩන මෛත‍්‍රිය, ද්වේශයේ රබර් බෝලය වතුරේ ඔබාගෙන සිටීමක්ම වනු ඇත. දැන් වේලාව පාන්දර තුනහමාරයි. තවත් පැය දෙකකින් හිරු උදාවේවි. ඒ හිරු ඔබටවත් මටවත් අයිති දෙයක් නොවේ. අනිත්‍ය වූ සතර මහා ධාතුවකි, අනිත්‍ය වූ සංස්කාරයකි. යමක් අනිත්‍යද එතැන ඇත්තේ දුකයි. පිංවත පරිස්සමින්, තවත් හෝරා දෙකකින් උදාවෙන්නේ ජරා, ව්‍යාධි, ශෝක, පරිදේවයන්ට අයිති තව දවසක්මය. භික්ෂුව ඒ අභියෝගයට සූදානම්ය. පිංවත් ඔබත් ධර්මානුකූලව ඒ අභියෝගයට සූදානම් වෙන්න

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment