දුප්පතුන් සිටි රටක් ලෝක බලවතෙකු වූ හැටි

1536

ලංකාවේ හැත්තෑ වසරක සාපය හා චීනයේ දශක හතරක මහා පරිවර්තනය

ලංකාවේ බොහෝ දෙනා හැත්තෑ වසරක සාපයක් ගැන නිතර කතා කරති. මා දැන් කියන්නට යන්නේ වසර හතළිස් හයකට පෙර ලංකාවට වඩා දරුණු ලෙස දුප්පත්කමින් බැට කෑ, සාගතවලින් මිලියන ගණන් ජනතාව මියගිය රටක් වූ චීනය ගැනය. එහෙත් අද ඒ රට වසර හතළිස් හයක් තුළ ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියමින් මිලියන 800කට වැඩි ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ගත් කළ චීනයේ අත්දැකීම ලංකාවට වැදගත් නොවන්නේද? එහෙත් ප්‍රශ්නය වන්නේ ලංකාවේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරන බොහෝ දෙනා තවමත් යටත්විජිත කොල්ලයෙන් ධනවත් වූ බටහිර රාජ්‍යයන් වන්දනා කරනු විනා ස්වශක්තියෙන් නැඟී සිටි චීනය වැනි රටවල් ගැන වැඩි යමක් කතා නොකිරීමය. නැතහොත් චීනය පිළිබඳ අපේ අවබෝධය ඉතා අල්ප මට්ටමක තිබීමය. නැතහොත් බටහිර ලෝකය විසින් තනා දුන් කණ්ණාඩි ඔස්සේ චීනය දෙස බැලීම විනා එහි සැබෑ තතු අධ්‍යයනයට අප උත්සුක නොවීමය. එවන් පසුබිමක් තුළ චීනය පිළිබඳ මේ සටහන ලිවීමට මට සිත් වූයේ හැත්තෑ වසරක සාපය ගැන නිතර කතා කරන කාලයක චීනයේ දශක හතරක මහා පරිවර්තනයේ කතාව ලංකාවට බෙහෙවින් වැදගත් යැයි සිතුණ නිසාය.

චීන කොමියුනිස්ට් පක්ෂය බිහිවූයේ 1921දීය. චීන විප්ලවය සිදුවූයේ ඉන් වසර 28කට පසු 1949දීය. ඒ වෙනුවෙන් දෙස් විදෙස් ප්‍රතිවාදීන් සමග කළ සටනේදී කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ මිලිනය ගණනක් සිය ජීවිත පරිත්‍යාග කළහ. එහෙත් එතැනින් සියල්ල අවසාන වී සමාජවාදය නමැති මැජික් ඔසුවෙන් රටේ ප්‍රශ්න සියල්ල කෙළවර වූයේ නැත. ධනපතියන් මැඬලීමෙන් හෝ දේපළ අත්පත් කරගැනීමෙන් පමණක් දුප්පතුන්ට සමෘද්ධිය උදා කළ හැකි නොවීය. එතැන් සිට ඔවුන්ට ගමන් කිරීමට සිදුවූයේ බොහෝ බාධක, අභියෝග, අත්හදා බැලීම්, වරදවා ගැනීම් හා ඒ වෙනුවෙන් කළ අසීමිත වන්දි ගෙවීම් සහිත ඉතා දුෂ්කර මඟකය. විප්ලවයෙන් වසර තිහක් ගතවූ පසුවත් චීන ජනගහනයෙන් සියයට 87%ක ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වූහ. ඔවුන්ගේ දිනක ආදායම ඩොලර් දෙකකට අඩු මට්ටමක තිබිණි. ඇත්තෙන්ම චීනයේ දැවැන්ත ආර්ථික විපර්යාසය ආරම්භ වූයේ 1978න් පසු හඳුන්වා දුන් නව ප්‍රතිසංස්කරණවලින් පසුවය. ඊට පෙර මාඕ සේතුංගේ පාලන සමයේ ගත් ඇතැම් ක්‍රියාමාර්ග මේ දැවැන්ත පරිවර්තනයට යම් පසුබිමක් සැකසූවා විය හැකි වුවද තීරණාත්මක පරිවර්තනය ආරම්භ වූයේ 1978න් පසුවය. චීන විප්ලවය සිදුවී දැන් වසර 75කි. ලංකාවට නිදහස ලැබී ගතවී ඇති කාලයද ඊට සමානය. ලංකාව තවම 74 වසරක සාපයක් ගැන කතා කරයි. එහෙත් චීනය ගැන කිවතොත් අපට කතා කරන්නට සිදුවන්නේ 74 වසරක මහා ආශ්චර්යයක් ගැනය. වඩාත් නිවැරදිව කිවතොත් වසර 46ක ආශ්චර්යයක් ගැනය. ඒ චීනයේ යෝධ පරිවර්තනය සැබවින්ම ආරම්භ වූයේ වසර 46කට පෙරාතුව නිසාය. දැන් මා කියන්නට යන්නේ මේ කෙටි කාලය තුළ චීනය අත්කරගත් පරිවර්තනයේ තරම පෙන්වන දත්ත සංඛ්‍යා අතළොස්සක් ගැනය.

1978 දී චීනයේ දළ ජාතික නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් බිලියන 218.50ක් වූ අතර, 2023දී මේ අගය ඩොලර් බිලියන 17663ක් හෙවත් ඩොලර් ටි්‍රලියන 17.66කි. ඒ අනුව චීනය අද ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර, මේ වසර 46 තුළ චීනය තම ජාතික නිෂ්පාදනය 81 ගුණයකින් ඉහළ නංවා ගැනීමට සමත් වී තිබේ.

1978 දී චීනයේ දළ ජාතික නිෂ්පාදනය ලෝකයේ සමස්ත නිෂ්පාදනයෙන් 2.32%ක ප්‍රතිශතයක් වූ අතර, 2023 දී එය සමස්ත ලෝක නිෂ්පාදනයේ 19%ක පංගුවකට හිමිකම් කීමට සමත්ව තිබේ. 2023 වසරේ ලංකාවට හිමි ලෝක නිෂ්පාදනයේ පංගුව 0.2%කි.

2023 වසරේ ලෝකයේ ඉහළම සමාගම් 500 ලැයිස්තුව (Fortune Global 500) අතර, චීන සමාගම් 135ක් වූ අතර, ඒ සමාගම්වලින් 71%ම චීන රජයට අයත් සමාගම් වීමද විශේෂිත කරුණකි. ඒ වසරේ එම ලැයිස්තුවේ ඇමෙරිකාවට හිමිව තිබූ සමාගම් ප්‍රමාණය 136කි.

අද වන විට විද්‍යාව තාක්ෂණය ඔස්සේ දැවැන්ත ජයග්‍රහණ කන්දරාවක් අත් කරගෙන සිටින චීනය 2024 වසරේදී අභ්‍යාවකාශ පර්යේෂණ සඳහා ඩොලර් බිලියන 12ක මුදලක් වැය කළේය. අද ලෝකයේ දෙවැනි වැඩිම කෘත්‍රිම චන්ද්‍රිකා ප්‍රමාණය කක්ෂගත කර ඇත්තේද චීනය විසිනි.

1980 දී චීනයේ ඒක පුද්ගල උපයෝජන ආදායම රෙන්මින්බි 171ක් වුවද අද එම අගය 32189කි. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 10000 ඉක්මවූ ඒක පුද්ගල දළ ජාතික ආදායමකට හිමිකම් කියන චීනය ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් බවට පත්ව ඇත. නාගරික ග්‍රාමීය ආදායම් පරතරය වේගයෙන් අඩු වෙමින් පවතින අතර, ගතවූ වසර 46 තුළ මිලියන 400ක් වූ චීනයේ මැදි ආදායම් ලබන පිරිස ලොව විශාලතම මැදි ආදායම් ලබන පිරිස බවට පත්ව තිබේ.

චීනයේ මේ මහා ආර්ථික පෙරළියේ වැදගත්ම ලක්ෂණය වන්නේ එය හුදු ධනය ගොඩගැසීමකින් නොනැවතී එහි ප්‍රතිලාභ එරට ජනයා අතරද බෙදාදීමට චීනය සමත් වීමය. මේ බව තහවුරු කෙරෙන නිර්ණායක ගණනාවකි.

1950 දී චීනයේ ආයු අපේක්ෂාව වසර 43.45ක් වූ අතර, 2024 එම අගය 77.64කි. 1950 දී එරට උසස් අධ්‍යාපනයට බඳවා ගත් ප්‍රතිශතය 0.22% ක් වූ අතර, අද එම අගය 54.4%කි. 1950 දී පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමේ ප්‍රතිශතය 20%ක් වූ අතර, අද එම අගය 99.96කි. 1982 දී චීනයේ සාක්ෂරතාව 65.5ක් වූ අතර, අද එම අගය 97%කි. 1950 දී දහසකට දෙසීයක් වූ ළදරු මරණ අනුපාතය අද වන විට 5.4 කි. ලංකාවේ මෙන් නිදහස ලැබුණු කාලයේ සිට නොමිලේ ක්‍රියාත්මක වූ සෞඛ්‍ය සේවයක් චීනයේ නොතිබුණද අද වන විට ඔවුන් ලබා ඇති ආර්ථික ජයග්‍රහණවලට සමගාමීව එරට ජනගහනයෙන් 95%කට වැඩි පිරිසකට මූලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් සැපයීමට චීනය සමත්ව තිබේ.

මේ සියලු ජයග්‍රහණ අතර වඩාත්ම පුදුම සහගත හා ආස්වාදනීය කාරණය වන්නේ දුප්පත්කම තුරන් කිරීම සඳහා චීනය අනුගමනය කළ ක්‍රියාමාර්ගයයි. 1980 වන විට චීනයේ ජනගහනය මිලියන 981.2කි. ඒ අතරින් මිලියන 870ක් එනම් ජනගහනයෙන් සියයට 87%ක ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වූහ. ඔවුන්ගේ දිනක ආදායම ඩොලර් දෙකකට අඩු මට්ටමක තිබිණි. එහෙත් චීනයේ ආර්ථික වර්ධනය හා දරිද්‍රතාව මැඬලීම සඳහා එරට රජය අනුගමනය කළ වැඩපිළිවෙළ හමුවේ 2015 වන විට දරිද්‍රතා රේඛාවෙන් පහළ ජනගහනය මිලියන 10කට සීමා කිරීමට චීනය සමත් වූ අතර, අද වන විට එය තවත් සැලකිය යුතු අගයකින් පහත වැටී තිබේ. මෙහි සරල අදහස නම් පසුගිය වසර 46ක කෙටි කාලය තුළ මිලියන 877ක අතිවිශාල ජනගහනයක්, එනම් ලංකාවේ ජනගහනය මෙන් 40 ගුණයක ජනගහනයක් දුප්පත්කමින් මුදා ගැනීමට චීනය සමත් වී ඇති බවය. මෙය මානව ඉතිහාසයේ දැවැන්තම දුප්පත්කම මැඬලීමේ වැඩසටහන වන අතර, එය සමස්ත ලෝකයේ දරිද්‍රතාව 70% පමණ ප්‍රතිශතයකින් පහත දැමීමට හේතු වූ බව අද ලෝක බැංකුව වැනි ආයතන පවා පිළිගන්නා කරුණකි. මේ මහා ජයග්‍රහණය අත් කරගන්නා ලද්දේ වසර 46ක කෙටි කාලයක් තුළ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ස්වශක්තියෙන් නැඟී සිටි රාජ්‍යයක් විසිනි. ලෝකය පුරා ඇති සම්පත් හා රාජ්‍යයන් කොල්ල කමින් ධනය ගොඩගසා ගනිමින් සංවර්ධිත යැයි කියන තත්ත්වයට පත් කිසිදු රටකට පවා සිය පොදු ජනයා වෙනුවෙන් මෙවැනි මෙහෙවරක් කිරීමට හැකි වී නැති බව අප මෙහිදී විශේෂයෙන් සිහියට ගත යුතුව තිබේ. එය පුදුම සහගත පරිවර්තනයක් වන්නේ ඒ නිසාය.

චීනය මේ ජයග්‍රහණය අත්කර ගත් ආකාරය, ඔවුන් ඒ සඳහා කළ අපරිමිත කැපකිරීම්, චීන ජනයාගේ උසස් ආකල්ප, දේශපාලන නායකත්වය, අත්හදා බැලීම්, වරද්දා ගැනීම්, පාඩම් ඉගෙන ගැනීම් ආදිය ගැන තව සංවාදයට ලක් කළ හැකි කාරණා කන්දරාවකි. ඒ සියල්ල ඒ ආශ්‍රිත අතුරු කතා මොහොතකට පසෙක තබා චීනය අත්කරගත් මේ වර්ධනයේ මා නිරීක්ෂණය කරන පොදු වැදගත්කම් තුනක් අවධාරණය කළ යුතු යැයි සිතමි.

පළමු වැන්න නම් චීනය යටත්විජිත කොල්ලයකින් තොරව, ඉතා කෙටි කාලයක් තුළ ස්වශක්තියෙන් මේ ආර්ථික වර්ධනය අත්කර ගැනීමය. දෙවැනි කරුණ ආර්ථික වර්ධනයෙන් නොනැවතී සිය සමාජවාදී චින්තනය මත පදනම් වෙමින් එහි ප්‍රතිලාභ පොදු ජනයා අතර සාමූහිකව බෙදා දීමට චීනය සමත් වීමය. අනෙක චීනයේ ගෝලීය භූමිකාව හෙවත් ඔවුන් අත්කර ගත් ආර්ථික හා දේශපාලන බලය, බටහිර බලය මෙන් ලෝකයේ විනාශයට නොව මානව සංහතියේ යහපතට හේතු වන එකක් වීමය. මා මේ සඳහන් කළ කාරණා තුන ගැන බොහෝ වාද විවාද තිබෙන බව දනිමි. එහෙත් කාලයක් තිස්සේ චීනය පිළිබඳ හදාරන්නෙකු ලෙස මා මේ කාරණා සඳහන් කරනුයේ ඒවා හුදු හැඟීම්බර හිතලු ලෙස නොව වාස්තවික කරුණු ඇසුරින් සනාථ කළ හැකි දේ යැයි මා විශ්වාස කරන නිසාය.

ඉසුරු ප්‍රසංග

advertistmentadvertistment
advertistmentadvertistment