දුම්රිය වර්ජනයෙන් මගීහු අනාථයි

37

දෙවන පෙළ උසස්වීම් ලබාදීම ප්‍රමාදවීම, 2018 සිට බඳවා ගැනීම් ප්‍රමාදවීම ඇතුළු ගැටලු කීපයක් මුල් කර ගනිමින් ලොකොමොටිව් ඔපරේටිව් ඉංජිනේරු සංගමය පෙරේදා (06දා) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් ඊයේ (07දා) උදේ හා සවස කාර්යාල සේවකයන්, පාසල් සිසු දරුවන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි අපහසුතාවයන්ට මුහුණ පෑහ.

මෙම දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් ඊයේ උදේ හා සවස දුම්රිය ගමන් වාර 80ක් පමණ අත්හිටුවීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොළගේ මහතා “දිවයින” ට පැවැසීය.

අදාළ ගැටලුවලට විසඳුම් ලබාදෙනතුරු දුම්රිය වැඩවර්ජනය අඛණ්ඩව සිදුකර ගෙන යන බව ලොකොමොටිව් ඔපරේටිව් ඉංජිනේරු සංගමයේ සභාපති චන්දන ලාල් මහතා “දිවයින” ට පැවැසීය.

දුම්රිය ධාවනාගාර 5න් 2ක දුම්රිය රියදුරන් 84 දෙනකු වර්ජනයට එකතුවී සිටින බවද හෙතෙම කියා සිටියේය.

ඒ අනුව බලවේග කට්ටල දුම්රියන් ධාවනය නොවන බවද හෙතෙම කියා සිටියේය.

වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රියවලට වැඩි බලපෑමක් එල්ල නොවුනද දුම්රිය අවලංගු වීම් රැසක් සිදුවූ බවත්, මෙම තත්ත්වයට දුම්රිය බලධාරීන් වගකිවයුතු බවත් හෙතෙම කීය.

ඊයේ මෙම වැඩවර්ජනය සිදුවන මොහොතේ රජයේ බලධාරීන් යාපනයේ උත්සවයකට සහභාගි වීමට ගොස් සිටි බවත්, ඔවුන් මෙම ගැටලු විසඳීම ගැන සාකච්ඡා කිරීමටවත් කතා නොකළ බවත් හෙතෙම කීය.

මෙම ගැටලුවලට විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අඛණ්ඩවම සිදු කරන බවත් ඒ මහතා කියා සිටියේය. 2018 ඉඳන් මේ වනතුරු දුම්රිය රියැදුරන් බඳවාගෙන නැහැ. දැන් මේ අවුරුද්දේ දුම්රිය රියැදුරන් 130ක් විතර විශ්‍රාම යන්නත් ඉන්නවා යැයිද හෙතෙම කීය.

දුම්රිය වර්ජනය නිසා මගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව මෙම වර්ජනයට සාප කළහ.

“හැමදාම මුන් ස්ට්‍රයික්. කොච්චර පඩි වැඩි කළත් මුන්ට මදි. මේ අයට රැකියාව කරන්න බැරි නම් පුද්ගලික සමාගමකට දීලා හරි මේ සේවාව පවත්වාගෙන යන්න” යැයි ඔවුහු පැවැසූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment