දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක්

137

මුත්‍රා, ලේ සාම්පල සහ ශරීරයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත

ශරීර අභ්‍යන්තරයේ හෝ පිටත සැක සහිත තුවාල කිසිවක් නෑ

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි හේරත් මුදියන්සේලාගේ කටුපොල් ලන්දේ ගෙදර වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙරේදා (23 දා) විවෘත තීන්දුවක් නිකුත් කළේය.

එම පශ්චාත් මරණ පරීක්ෂණයේදී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ මුත්‍රා හා ලේ සාම්පල මෙන්ම අක්මාව, ආමාශය ඇතුළු ශරීරයේ කොටස් කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා අදාළ පරීක්ෂණවලින් පසු එම මරණයට හේතුව නිශ්චිතවම දැන ගැනීමට හැකි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.

ශරීරයේ අභ්‍යන්තර හෝ මතුපිට සැක කටයුතු තුවාල කිසිවක් දක්නට නොමැති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව හෙතෙම සඳහන් කළේය. ජීවිතක්ෂයට පත් වූ දුම්රිය සාමාන්‍යාධිකාරී බණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. ඒ. සී. ගුණතිලක මහතා විසින් සිදු කිරීමෙන් අනතුරුව දේහය, බිරිඳ ඇතුළු ඥාතීන්හට අවසන් කටයුතු සිදු කිරීම සඳහා භාර දුන්නේය. දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා, විශේෂ රාජකාරී කටයුතු කිහිපයක් සඳහා ඉකුත් 22දා අනුරාධපුරයට පැමිණ දුම්රිය ඉංජිනේරුවරුන් තිදෙනකු සමග අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි දුම්රිය සංචාරක බංගලාව තුළ කාමරයක නවාතැන්ගෙන සිටියදී පෙරේදා (23දා) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණි. දුම්රිය සංචාරක බංගලාවේ ඇති කාමර දෙකක ඉංජිනේරවරුන් තිදෙනකු නවාතැන් ගෙන සිටි බවත්, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එක් කාමරයක නවාතැන් ගෙන සිටි බවත්, දුම්රිය මාර්ග ප්‍රධාන ඉංජිනේරු ඊ. එම්. එස්. ටී. කේ. ප්‍රියන්ත දීගන මහතා ලබාදුන් ප්‍රකාශ වල සටහන්ව ඇතැයි මෙහිදී පොලිසිය සඳහන් කළේය.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු එම පිරිස රාත්‍රී නින්දට ගොස් ඇති අතර පසුදා (23 දා) උදෑසන 6.30ට පමණ සංචාරක බංගලා සේවකයකු උදෑසන තේ පානය සඳහා සාමාන්‍යාධිකාරිවරයා සිටි කාමරයේ දොරට තට්ටු කර ඇති බව පොලිසිය කියයි. ඒ මහතාට නින්ද ගොස් ඇති බවට සැක සිතූ දුම්රිය ඉංජිනේරුවරුන් පිරිස පැය භාගයකින් පසු යළිත් වරක් උදෑසන හතට පමණ යළි කාමරයේ දොරට තට්ටු කර, ජංගම දුරකථනයට ඇමතුම් කිහිපයක් ගෙන ඒවාට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් කාමරයේ දොර කඩා විවෘත කර බැලීමේදී සාමාන්‍යාධිකාරීවරයා කාමරයේ ඇඳ අසල මුනින් අතට වැටී සිටි බවත්, මුහුණ ප්‍රදේශයෙන් ලේ වහනය වී තිබූ බවත් ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගන මහතා ලබාදුන් ප්‍රකාශවල සටහන් වේ. එම සංචාරක බංගලාව ආසන්නයේ ඇති දුම්රිය නිල නිවාසයක සිටි අයගේද උදව් ඇතිව පරීක්ෂා කර බලා, 1990 ගිලන් රථයක් මාර්ගයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය බවත් එම ප්‍රකාශවල වැඩිදුරටත් සඳහන් වේ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment